2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

සැබෑ අර්බුදයට විසඳුම් සොයමු

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

කොරේ පිටට මරේ කිව්වාක් මෙන් රටේ තිබෙන ප්‍රශ්න මදිවාට ක්‍රිකට් මරාලයක්ද ජනතාවගේ ප්‍රශ්න මතට කඩා වැටී තිබේ. රටේ තිබෙන සියලු ප්‍රශ්න සහ ගැටලු පසෙකින් තබා මුළු පාර්ලිමේන්තුවම ක්‍රිකට් ගැන කතා කිරීමට දවස් දෙකක්ම ගත කළේය. අවසානයේ විපක්ෂ නායකයා විසින් ඉදිරිපත් කරන ලද ක්‍රිකට් ආයතනය ශුද්ධ කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කරගනු ලැබීය.

එහෙත් එතැනින් ප්‍රශ්නය ඉවර වී නැත. මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසෙන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. බරපතළම ගැටලුව ප්‍රශ්නයේම අතුරු ඵලයක් හැටියට අධිකරණය ද පාර්ලිමේන්තු විවාදයට ඈඳාගනු ලැබීමය. ආණ්ඩුව ද තවත් පැත්තකින් මෙයට විසඳුම් ඉදිරිපත් කරමින් සිටියි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ කටයුතු පැටළුණු නූල් බෝලයක් බවට පත්ව තිබේ. ඒ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම ද පරාජයේ අමිහිරි වේදනාව වැළඳ ගනිමින් සිටී. ඒ වේදනාව මොන තරම් ප්‍රශ්න තිබුණත් ඒ අතුරින් පොදු මහජනතාවගේ හද පතුලටම කිඳා බසිමින් තිබේ.

ඒ අතර ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමද ලබන 13 වැනිදාට යෙදී තිබේ. අයවැය පිළිබඳ කලින් තිබුණා තරම් කුතුහලයක් හෝ ආකර්ශනයක් හෝ ජනතාව තුළ ඇති බවක් පෙනෙන්නට නැත. එයට හේතුව නහයට උඩින් වතුර ගියාට පසු කළ හැකි දෙයක් නැති මිනිසුන්ගේ තත්ත්වයට මේ රටේ මහජනතාවද පත්ව සිටීමය. මෙතරම් පීඩනයක් මැද ජීවත්වීමට සිදුවෙද්දී අයවැයෙන් තමන්ගේ ජීවිත වෙනස් කෙරෙන යෝජනා ඉදිරිපත් නොවන බවට හැඟීමක් ජනතාව තුළ තිබේ. ඔවුන්ගේ අදහසට අනුව මෙවර ඉදිරිපත් කෙරෙන්නේ තමන්ගේ ගැටලු විසඳන අයවැයකට වඩා ආණ්ඩුව සහ අයි.එම්.එෆ්. එක අතර එකඟතා සපුරණ අයවැයකි. එයින් සිදුවනු ඇත්තේ තවදුරටත් තමන්ගේ ආර්ථික සහ සමාජ ප්‍රශ්න උග්‍රවීම පමණක් බවට ඔවුහු කල්පනා කරති.

මේ තත්ත්වය යටතේ එක අතකින් ආණ්ඩුවේ පාර්ශ්වයට ක්‍රිකට් අර්බුදය දිග්ගැස්සීමද වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත්ව තිබෙන බවත් කිව හැකිය. රටේ උග්‍රවෙමින් පවතින ගැටලු සහ අර්බුදවලින් ජනතාවගේ අවධානය ක්‍රිකට් වෙත යොමුවීම තමන්ගේ පීඩනය මඳක් අඩුවනු ඇති බවට ආණ්ඩුව කල්පනා කරනු ඇත. නමුත් රටේ බරපතළ ගැටලු අතරට ක්‍රිකට් අර්බුදය ද පැටලීම ජනතාව තවදුරටත් පීඩනයට පත් කරවීමක් බවටද පත්විය හැකිය.

ජනතාව සිටින්නේ කොතැනකින් හෝ සහන ලබාගැනීමේ දැඩි අපේක්ෂාවකිනි. අඩු තරමින් තමන්ට විශාල වැටුප් වර්ධකයක් හෝ ලබා දෙන්නැයි කියමින් රජයේ සේවකයන් දැඩිව උද්ඝෝෂණය කරන්නේ එම අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම සඳහාය. එහෙත් දැනටම ප්‍රකාශයට පත්කර ඇති වැට් බදු 15% සිට 18% දක්වා ඉහළ නැංවීමේ යෝජනාව හේතුවෙන් වැටුප් වැඩි කිරීමෙන් අපේක්ෂිත සහනය ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ තමන් මුහුණ දෙමින් සිටින ගැටලු තවදුරටත් උග්‍ර තත්ත්වයට හැරීමක් පමණි. රජයේ සේවකයන්ට යෝජිත වැටුප් වැඩි කිරීම හරහා ඉහළ යන රජයේ වියදම පාලනය කර ගැනීම සඳහා විවිධ ආකාරයෙන් තම ආදායම වැඩිකර ගැනීමට රජය අනිවාර්යයෙන් පියවර ගත යුතු වෙයි. වැට් බදු 3% කින් වැඩි කිරීම යනු එයින් එක් පියවරක් පමණි. සෙසු පියවර මොනවා විය හැකිදැයි කල්පනා කිරීම පවා එකම හිසරදයකි.

ජ්‍යෙතිෂයට අපේ රටේ දැන් පවතින තත්ත්වය සම්බන්ධ කළහොත් අපට කිව හැකි වන්නේ මේ ගතවෙමින් තිබෙන්නේ මහත් අපල ගෙන දෙන ''ඒරාෂ්ඨක කාලයක්'' බවය. ඒරාෂ්ඨක කාලයක් වුවද පවතින සීමිත කාලසීමාවක් ඇත. එහෙත් අපේ රට මේ වන විට මුහුණ දී සිටින උග්‍ර ගැටලු පිළිබඳ සැලකූ විට මේ ''අපලය'' ගෙවෙන කාලයක් ගැන හිතන්නත් අමාරුය. මෙවර අයවැය මේ අපලයේ දොස් දුරු කරන මන්ත්‍රයක් වනු ඇතැයි සිතන ජනතාවක් මේ රටේ සිටිනවා නම් ඒ ඉතාම අතළොස්සක් බව නම් සහතිකය.

පසුගිය දිනවලදී සෞඛ්‍ය සේවය, තැපැල් සේවය ඇතුළු රජයේ විවිධ අංශ උද්ඝෝෂණ සහ වැඩවර්ජන සිදු කරනු දැකගත හැකි විය. මේ වෘත්තීය ක්‍රියාමාර්ග මෙහෙයවන වෘත්තීය සමිති තමන්ගේ සාමාජිකයන් අතින් රටේ ආර්ථික වර්ධනයට එක් කරන දායකත්වය ඉහළ දැමීමට පියවර ගැනීමද අවශ්‍යය. රජය අත්තනෝමතිකව ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව සටන් කිරීමට තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකර තිබීමද අවශ්‍යය. රට මුහුණ දී සිටින්නේ ක්‍රිකට් අර්බුදයකට පමණක් නොවන බවත් ඊට වඩා බරපතළ ආර්ථික අර්බුදයකට රටම මුහුණ දී සිටින බවත් රටේ ජනතාව පමණක් නොව ආණ්ඩුවත් විපක්ෂයත් නිතරම සිහිපත් කළ යුතුය. සියලු දෙනා මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ තමන්ගේ වගකීම පිළිබඳ දැඩි අවබෝධයකිනි. සැබෑ අර්බුදයට මුහුණ දිය හැක්කේ ඒ මාර්ගයේ යාමෙන් පමණි.