වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදුකරන ‘රට හිතන හැටි’ දීපව්‍යාප්ත ජනමත විමසුමේ නවතම සමීක්ෂණය අනුව 2023 ජූනි මාසයේදී 21%ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී තිබේ.
2023 පෙබරවාරි මාසයේ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පැවතියේ 10%ක් ලෙසිනි. 2023 ජූනි මාසය වන විට එය 21% දක්වා ඉහළ ගොස් තිබුණද පසුගිය ඔක්තෝබරය වන විට 9% දක්වා පහත වැටී ඇත. රට පිළිබඳව ජනතාව තුළ පැවැති තෘප්තිමත්භාවය 2023 ජූනි මාසයේදී 12%ක් වූ අතර ඔක්තෝබරයේ එය 6% දක්වා පහත වැටී ඇති බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින විශ්වාසය ජූනි මාසයේ සෘණ (-)44ක්ව පැවති අතර එය ඔක්තෝබරය වනවිට සෘණ (-) 62 දක්වා පහත වැටී ඇත.
වෙරිටේ රිසර්ච් ආයතනය ‘රට හිතන හැටි’ දීප ජනමත විමසුම සැලසුම් කර ඇත්තේ ආණ්ඩුව, රට සහ ආර්ථිකය කෙරෙහි ජනතාවගේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කිරීම සඳහාය. ‘රට හිතන හැටි’ මත විමසුම වසරකට තුන් වතාවක් පවත්වනු ලබන අතර, එය දීපව්‍යාප්තව ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වේ. සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි සීමාව 3%ට වඩා අඩු මට්ටමක පැවතෙන පරිදිය. ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,029 දෙනකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීපව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කර ගනිමින් 2023 ඔක්තෝබර් 21 සිට 29 දක්වා මෙම ජනමත විමසුම පවත්වා ඇත.
• ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය
“වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවාද නැද්ද?” යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා ඇති 9% ප්‍රමාණයක්, එය අනුමත කරන බව පවසා ඇත. තවද, 7%ක් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට ඒ පිළිබඳ මතයක් නොමැති බවයි. මෙම වත්මන් අගය 2022 ජනවාරි සහ ඔක්තෝබර් මාසවල මෙන්ම 2023 පෙබරවාරි මාසයේ පැවති 10% අගයට ආසන්න අගයක් පිළිබිඹු කරයි.
• රට පිළිබඳ තෘප්තිමත්භාවය
''පොදුවේ ගත් විට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදුවෙන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්වනවාද? නැතිද?” යන ප්‍රශ්නයට, සෑහීමකට පත්වන බව පවසා ඇත්තේ 6%ක් පමණි. මෙම අගය 2023 පෙබරවාරි මාසයේදී 4%ක් තරම් අඩු මට්ටමක පැවතිණ.
• ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය
ආර්ථිකය පිළිබඳ ජනතා විශ්වාසය ජූනි මාසයේ පැවති සෘණ (-)44 සිට ඔක්තෝබර් මාසයේදී සෘණ (-)62 දක්වා පහත වැටී ඇත. කෙසේ වෙතත්, 2022 වර්ෂයේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය සම්බන්ධයෙන් සෘණ (-)96 සහ සෘණ (-)78 අතර පැවති අගයන් සලකන විට මෙය තරමක් යහපත් තත්ත්වයක් ලෙස සමීක්ෂණ වාර්තාව සඳහන් කර තිබේ.
I ඩේලි එෆ්.ටී.
''වෙරිටේ රිසර්ච්'' කියන්නෙ බොරු: එජාප මහ ලේකම් කියයි
මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වෙරිටේ රිසර්ච් ආයතනයේ ජනමත විමසුමට පිළිතුරක් ලබා දී තිබිණි. එහි මෙසේ සඳහන් විය.
''වෙරිටේ රිසර්ච් ආයතනය වර්තමානයේ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට තිබෙන ප්‍රසාදය 9% දක්වා අඩුවෙලා කියලා ප්‍රකාශ කරනවා. කලින් ජනාධිපතිතුමාට තිබුණු 34%ක ජනප්‍රියතාව එක සතියෙන් 9%ට අඩුවෙලා තිබෙනවා. මේක විශ්වාස කරන්න කියලද අපට කියන්නේ. වෙරිටේ රිසර්ච් ආයතනයේ නිශාන් ද මෙල් කියන මහත්මයා ආර්ථික ස්ථායීකරණ කමිටුවේ තනතුරක් බලාපොරොත්තුවෙන් හිටියා. ඔහුට තනතුරක් ලබාදුන්නා නම් මේ ආයතනය මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ නෑ. ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන කමිටුවක් පත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළා. ඒ කමිටුවේ සාමාජිකයකු වෙන්න ඔහුට අවශ්‍යතාවක් තිබුණා. එයත් ඉෂ්ඨ වුණේ නැහැ. ඊටපස්සේ ඔහු සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ජාතික ජන බලවේගයට සහාය දෙමින් රජයේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රසාදය අඩු වී ඇතැයි කියා අසත්‍ය විවිධ ප්‍රකාශ සිදු කරනවා. පහුගිය කාලෙ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. පොලී අඩු කරනවයි කියලා උසිගැන්නුවේ මේ මහත්මයම තමයි.''