අපේ රටේ පවතින විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ පවතින ජනාධිපති සතු බලතලවල හයිය හේතුවෙන් තම තනතුරු වරප්‍රසාදවලට ආදරේ ඇති මොනම ඇමැතිවරයකුවත් ජනාධිපතිවරයෙක් එක්ක හැප්පෙන්න යන්නේ නැත. එහෙම හැප්පිලා ජාම බේරාගත් ඇමැතිවරු ඉතිහාසයේ සිටියේත් නැත.
මේකට හොඳම උදාහරණය ජේ.ආර්.ගේ හිතවත්ම දේශපාලන මිතුරකු වූ එම්.ඩී.එච්. ජයවර්ධනට වෙච්ච දේය. ජේ.ආර්. 1977 ඡන්දය දිනා හැදූ කැබිනට් එකේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වුණේ එම්.ඩී.එච්. ජයවර්ධනය. යූ.එන්.පී.යට 1947 දී එකතු වූ එම්.ඩී.එච්. 1977 දක්වා වූ යූ.එන්.පී. ආණ්ඩුවල ඇමැති ධුර ඇතුළු විවිධ තනතුරු දැරුවේය. ඔහු 1977 වනවිට ජේ.ආර්.ගේ විශ්වාසය දිනාගෙන සිටි සමීප මිතුරෙක් වී සිටියේය. කඩුවෙල ආසනයෙන් '77 දී පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ඒ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විය. හැබැයි ඔහුට ඒ තනතුරට 1979 දී ආයුබෝවන් කීමට සිදුවිය. ඒකට හේතුවුණේ ඔහු යූ.එන්.පී. ආණ්ඩුවේ අයවැය ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමය. ජේ.ආර්. ඒ වෙනකොට විධායක ජනාධිපති නොවුණත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සූදානම් වෙමින් සිටි කාලයයි.
ජේ.ආර්. තම මිතුරකු වුණත් එම්.ඩී.එච්. ජයවර්ධනට කිව්වේ ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩකළ බවය. මේ නිසා තවදුරටත් ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීමට අයිතියක් නැති බව කිව්වේය. එම්.ඩී.එච්. අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. 1954 සිට 1956 දක්වා යූ.එන්.පී. ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය පවා හෙබැවූ එම්.ඩී.එච්. ජයවර්ධන ආණ්ඩුවේ නායකයා සමඟ හැප්පෙන්න ගියේ නැත.
ඊටපස්සේ ජේ.ආර්. ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති වීමෙන් පසුව තවත් ඔහුගේ සමීප අමාත්‍යවරයකු වූ සිරිල් මැතිව්ද මේ ඉරණමට මුහුණ දුන්නේය.
සිරිල් මැතිව් ජේ.ආර්.ගේ ^77 කැබිනට්ටුවේ කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යවරයා විය. කැලණිය ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණි සිරිල් මැතිව් දැඩි මතධාරී දේශපාලකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. සිංහල, බෞද්ධ අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි දේශපාලනඥයෙක් වූ ඔහුගේ දේශපාලනය ඇවිලෙමින් තිබූ ද්‍රවිඩ දැඩි මතධාරි දේශපාලනයත් සමඟ ඍජුවම ගැටුණේය. 1983 සිදුවූ කළු ජූලිය වශයෙන් හැඳින්වුණු ජාතිවාදී ගැටුම් පසුපස සිරිල් මැතිව්ගේ හස්තය ක්‍රියාත්මක වූ බවට පසුව දැඩි චෝදනා එල්ල විය.
මේ චෝදනා පිළිබඳ සිදුකෙරුණු විවිධ විමර්ශන අවසානයේ ජේ.ආර්.ට තීන්දුවක් ගැනීමට සිදුවිය. එයට ප්‍රධාන හේතුව වූයේ 1984 දී ජේ.ආර්. දමිළ සුළු ජාතිකයන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමුළුවක් සංවිධානය කළ අවස්ථාවේ සිරිල් මැතිව් එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමය. ජේ.ආර්. තමන්ට සමීප දේශපාලන සගයකු වුණත් සිරිල් මැතිව් කැබිනට් මණ්ඩලයෙන් පමණක් නොව පක්ෂ සාමාජිකත්වයෙන්ද නෙරපා හරිනු ලැබීය.
ජේ.ආර්.ගෙන් පසු බලයට පත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සමඟ හැප්පෙන්න ගිය ලලිත් - ගාමිණී ඇතුළු මැති ඇමැතින් 08 දෙනකුටද සිදුවූයේ සියලු තනතුරු අහෝසි කර ගැනීමට සිදුවීමයි. ඔවුන් උසාවියට ගොස් ප්‍රශ්නය බේරා ගැනීමට උත්සාහ කළත් පළක් නොවීය. ජේ.ආර්.ගේ කාලයේ වගේ නොව ඒ වෙලාවේදී ගත් තීරණය හේතුවෙන් යූ.එන්.පී.යද දෙකඩ විය.
චන්ද්‍රිකාගෙ කාලයේත් ගැටුම් ඇතිකරගත් හකීම්ලා හදිසියේම අමාත්‍ය ධුරවලින් නෙරපීමත් සමඟ ඒ ආණ්ඩුවට ඉදිරියට යාමට බැරිවිය. චන්ද්‍රිකා අස්කළ හකීම්ලා රනිල් වික්‍රමසිංහට එකතු වී 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී ජයගත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍යවරු බවට පත්වූහ.
මහින්ද ජනාධිපති වීමෙන් පස්සේ මුලින්ම ගැටුම් ඇතිකර ගත්තේ ඔහු බලයට ගෙනඒමට විශාල වැඩ කොටසක් ඉටුකළ මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියාරච්චිය. මේ දෙන්නා මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වූ අතර මේ ගැටුම අවසන් වුණේ මංගලට අමාත්‍ය ධුරය අහිමි කරමින් සහ ශ්‍රීපති හිරේ යාමෙනි. එල්.ටී.ටී.ඊ. සමඟ එකඟතා ගිවිසුමකට එළඹීමට විරෝධය පෑම හේතුවෙන් මහින්ද සමඟ ශ්‍රීපති ගැටුමට ගියේය. මංගල තමන්ගේ අමාත්‍යංශයට සිදුවෙමින් පැවැති බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද සමඟ ගැටුණේය. ඔහුට අමාත්‍ය ධුරයෙන් යාමට සිදුවිය.
ඊටපසුව ජනාධිපතිවරයකු වශයෙන් ලොකුම ගැටුම ඇතිකර ගත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. ඔහු තමන් බලයට ගෙන ඒමට වේදිකාව සකස් කළ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති බරපතළ මත ගැටුම් හේතුවෙන් 2018 දී අගමැති පුමුඛ ආණ්ඩුව බලයෙන් පහ කළේය. එම ගැටුම නිරාකරණය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව හේතුවෙන් රනිල් යළිත් අගමැති වීමෙනි.
මේ ගැටුම්වලින් හැමවිටම සිදුවුණේ ජනාධිපති සමඟ හැප්පුණ පුද්ගලයාට හෝ පුද්ගලයන්ට තමන් දැරෑ තනතුරු අහිමිවීම ය. හැබැයි ඒ එක්කම ආණ්ඩුව ඇතුළේ ඒ සිදුවීම් හේතුවෙන් පිපිරීම් සහ දෙදරීම් ඇතිවිය. ජේ.ආර්.ගේ ආණ්ඩුවට අවසානයේ විධායක බලතල අතැතිව පාරට බැසිය නොහැකි තත්ත්වයක් උදාවිය. ප්‍රේමදාසගේ ආණ්ඩුව ඝාතනත් සමඟ ටික කලකින්ම අවසන් විය. චන්ද්‍රිකා ගැටුම් ඇතිකර ගත්තත් තම ධුර කාල දෙකම ගෙවා අවසන් කළාය. එහෙත් ඒ අවසාන කාලය මහින්ද ඇතුළු කිහිපදෙනකු සමඟම ප්‍රබල විරසකයක් තිබිණි.
මහින්දට පක්ෂය ඇතුළේ මංගලලාගෙන් පස්සේ ගැටුම් ඇතිවුණේ නැත. ගැටුම් ඇතිකර ගැනීමට කවුරුත් උත්සාහ කළේත් නැත. හැබැයි දෙවැනි ධුර කාලය මැද වනවිට පක්ෂය ඇතුළේ මත ගැටුම් හැල හැප්පීම් වැඩි වී සන්ධානය ඇතුළේ අර්බුද මතුවිය. 2015 ජනාධිපතිවරණය පරාජය වීමට ඒ තත්ත්වය ලොකු බලපෑමක් ඇති කළේය. කොටින්ම පොදු අපේක්ෂකයා වශයෙන් ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් ධුරය දැරෑ මෛත්‍රීපාල සිරිසේන ආවේ මහින්දලාගේ සන්ධානයෙන් කැඩීබිඳී වෙන්වෙලාය.
ජනාධිපති සමඟ ගැටුම් ඇතිකර ගැනීම ඕනෑම ඇමැතිවරයකුගේ අන්තිම තුරුම්පුව බව මේ අනුව පෙනී යයි. බොහෝදුරට පෙනී යන්නේ කිසියම් ඇමැතිවරයෙක් ආණ්ඩුවේ නායකයා සමඟ ගැටුමකට යන්නේ නිකම් නොවන බවය. ඒ සඳහා ඔහු පොළඹවන හේතුවක් හෝ හේතු ගණනාවක් තිබිය හැකිය. පක්ෂ මාරුවකට සූදානම් වීම හේතුවක් බවට පත්වෙන්නේ තරමක් මෑත කාලයේ සිට බව පෙනෙන්නට තිබේ. අතීතයේ එම්.ඩී.එච්. ජයවර්ධන, සිරිල් මැතිව් වැනි අමාත්‍යවරුන් තම නායකයන් සමඟ ගැටුම්වලට ගියේ ප්‍රතිපත්තිමය කාරණා මත පදනම් වෙමිනි. ඒ හේතුවෙන් තමන්ගේ පට්ටම් ගහලා ගියත් ඔවුන් පක්ෂ මාරු කරන්න ගියේ නැත. නමුත් පසුකාලවලදී ඒ තත්ත්වය වෙනස් විය. ආණ්ඩුවේ නායකයා සමඟ ඇතිකර ගන්නා ගැටුම අවසන් වෙන්නේ පක්ෂ මාරුවකිනි. නැතහොත් ජනාධිපති ධුර අපේක්ෂකත්වයකිනි.
රොෂාන් රණසිංහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ නාමාවලියේ අලුත්ම පුරුක වී ඉන්නේ ඉහත කියන පසුබිමේය. රොෂාන් රණසිංහ දේශපාලනයට පිවිසෙන්නේ මහින්දගේ ආශීර්වාදයෙනි. ඔහු පොළොන්නරුවට යවන්නේත් මහින්දය. එහෙම රොෂාන්ව පොළොන්නරුවට යැව්වේ පොළොන්නරුව ශ්‍රීලනිප බලවතා වූ මෛත්‍රීපාල සිරිසේනගේ තටු සිඳින්න යැයි ඒ කාලේ කතාවක් තිබුණි. එහෙත් රොෂාන් ගිය ගමන් මෛත්‍රීපාල සමඟ හැප්පෙන්න ගියේ නැත. ඔහු හොඳට අතදිගහැර වියදම් කරමින් 2010 මහ මැතිවරණයේදී පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්විය.
රොෂාන් රණසිංහට කැබිනට් ධුරයක් හිමිවෙන්නේ 2022 මැයි මාසයේදීය. ඒ දවස්වල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. අගමැති රනිල් වික්‍රමසිංහය. පසුගිය අවුරුද්දේ අරගලයත් සමඟ ඇතිවූ අලුත් ආණ්ඩුවේ කැබිනට් ධුරයක් ලබන රොෂාන් රණසිංහ ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ඔහුගේ කැබිනට්ටුවේ සාමාජිකයෙක් බවට පත්විය. ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන රොෂාන් රණසිංහ තරමක කාලයක් ගෙවෙන විට තම දේශපාලන අනාගතය පිළිබඳව වැඩිදුර කල්පනා කරන බවක් පෙනුණේය. අරගලය කාලයේ රටේ තරුණ පිරිස කියූ &සිස්ටම් චේන්ජ්* කතාවට ඔහු ලොකු බරක් තබා තිබුණි. ඒ වගේම විවිධ කලකිරීම් හේතුවෙන් ගෝඨාභයගේ කාලයේ රොෂාන් විදෙස්ගතව සෑහෙන කාලයක්ද සිටියේය.
ක්‍රිකට් ක්‍රීඩාව රොෂාන්ගේ විෂයකි. ඒ විෂයට රටේ ජනතාව තුළ තිබෙන සංවේදීකම තේරුම් ගැනීමට රොෂාන්ට ඉතා පහසුය. රටේ ජනතාවගේ හද පතුලට කතා කිරීමට ආගම, ජාතිය හැරුණු කොට ඊළඟට තිබෙන හොඳම මාතෘකාවක් වන්නේ ක්‍රිකට් බව ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔහු ඉක්මණින් තේරුම් ගන්න ඇත. ඊළඟට පැමිණෙන පළමු ජාතික මැතිවරණය වන ජනාධිපතිවරණය ඔහුට තවත් සිත්ගත් මාතෘකාවක් වීම ගැන පුදුම විය යුතු නැත. රාජපක්ෂලාගේ ආශීර්වාදයෙන් දේශපාලනයේ අතපොත් තබා දැන් අමාත්‍යවරයකු වී සිටින රොෂාන් රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් අමාත්‍ය ධුරයට සමුදීමට වුවද සූදානම් බව කියන්නේ නිකම්ම වෙන්නත් බැරිය. ඔහු ක්‍රිකට් ආයතනයට එරෙහිව පහර පිට පහර ගසමින් ජනාධිපතිවරයාට කියා සිටියේ තමන් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට හිස නොනමන බවත් තමන්ගේ තීරණය වෙනස් නොකරන බවත් තමාව අමාත්‍ය ධුරයේ ඉවත්කර ඒ ගැන තීන්දුවක් ගත හැකි බවත්ය.
මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට රොෂාන් රණසිංහගේ සූදානමක් තිබෙන බව දැන් රහසක් නොවේ. අනෙක් අතට ක්‍රිකට් ආයතනයට එරෙහිව සිදුකළ මහා ප්‍රහාරයේදී රොෂාන් රණසිංහ කළේ ආණ්ඩුව ඇතුළේද බරපතළ අර්බුදයකට පාර කැපීමය. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද විවේචනය කළේය. උසාවියද විවේචනය කළේය. අන්තිමට කිව්වේ ලංකාවට අයි.සී.සී. එක තහනමක් දැම්මොත් මාස 06ක් 08ක් අර්ජුණට ක්‍රිකට් එක බාරදී ක්‍රිකට් එක හොඳට හදන බවය.
දේශපාලනයට ක්‍රිකට් සම්බන්ධ කිරීමේ හොඳ මෙන්ම නරකද තිබෙන බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා නොදන්නවා විය නොහැක. ඔහු එළියට බැස ක්‍රිකට් ආයතනයේ දූෂණවලට එරෙහිව කරන සටනට රටේ ආශීර්වාදය හිමිවන බව ඇත්තය. හැබැයි මේ රටේ දේශපාලකයන් අතුරින් ටික දෙනකු හැර අන් සියලු දෙනාම රටේ ජනතාවට නම් දූෂිතයෝය. බොරුකාරයෝය. රට බංකොලොත් කර ධනපතියන් බවට පත්වූවෝය.
රොෂාන් රණසිංහ මේ යන්නේ තම දේශපාලනයේ අතුරේ ගමනකි. හැබැයි ක්‍රිකට් හේතුවෙන් ආණ්ඩුවේ නායකයා සමඟ හැප්පීමෙන් ඉවර වෙන්නේ ඔහුද? ක්‍රිකට් ආයතනයද නැත්නම් ආණ්ඩුවද කියන එක නම් දැන්ම කියන්න බැරිය.
I ශශීන්ද්‍ර