2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රට අපායක් කරපු අයට ඒක ගොඩගන්න බෑ

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජන බලවේගය

  • පෞද්ගලීකරණයයි කුණු කොල්ලෙට විකිණීමයි දෙකක්
  • පාලකයන් ඉස්සෙල්ලම තමන්ගෙ සහන කපාගන්න ඕනෑ
  • ඡන්දයක් ගන්න ජනතාවට අරගලයක් කරන්නම වෙනවා

Q ඔබ ආර්ථිකය ගැන අවබෝධයක් ඇති කෙනෙක් හැටියට මේ පාර අය වැය ගැන මොකක්ද හිතන්නේ?

මම මෑතක බලපු අය-වැය වලින් කිසිම තේරුමක් නැති, වැදගම්මක් නැති, දැක්මක් නැති ජනතාවගේ ප්‍රශ්න කල්දාපු අය වැයක්.

Q ඇයි ඔබ වැදගම්මක් නෑ. තේරුමක් නෑ කියලා මේ අය වැය අර්ථ ගන්වන්නේ?

ඒකට හේතුව හරි පරස්පරයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියනවා වැටුප් වැඩි කරන්න වුණොත් සල්ලි අච්චු ගහන්න වෙනවා, බදු වැඩිකරන්න වෙනවා, ණය ගන්න වෙනවා කියලා. හැබැයි අනික් පැත්තෙන් යෝජනා කරලා තියෙන්නෙත් ඒ ටිකම තමයි. අයවැය හිඟය තරම්ම ණය ගන්න යෝජනාව වැඩිකරලා තියෙනවා. පඩි වැඩිකිරීම අප්‍රේල්වලට කල්දාලා වැට් වැඩි කරනවා ජනවාරි ඉඳලම. බිලියන 1083 ක් ගිය අවුරුද්දට වඩා අලුතින් භාණ්ඩ හා සේවා මත බදු සහ ආදායම් බදු වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ බදු වැඩි කරන්නේ ජනතාවගෙන් ගන්නනේ. ජනතාවට සහනයක් දෙන්න අදහසක් නෑ. ජනතාව පිට බර පටෝනවා. ඒකයි රනිල් වික්‍රමසිංහ කියන කාරණයම පරස්පරයි කිව්වේ. ඉතිං මොකටද මේ අයවැය ජනතාවට.

Q එතුමා කිව්වේ රට අපායක් වෙලා තියෙනවා ඒකෙන් ගොඩගන්න හදන්නේ කියලා?

ඒක එයාගේ දුක් ගැනවිල්ලක් නේ. අපායක් කළේ ගමේ සියදෝරිස්ලා, ගුණපාලලා, ඥානවතීලා, ගුණවතීලා නෙමේනේ. ඒ අයම මේ රට අපායක් කරලා ඒ ගොල්ලොම ගොඩගන්න කතා කරනවා. රට අපායක් කරපු අයට මේක ගොඩගන්න බෑනේ.

Q ආර්ථිකය සම්බන්ධයෙන් පුංචි හරි අවබෝධයක් තිබෙන අය දන්නවා ජනතාවට දැන් සහන දෙන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරන්න බෑ කියලා?

බෑ බෑ... අන්න හරි. ඒක මමත් පිළිගන්නවා.

Q එහෙනම් සහන නොදී ජනතාව මේ අවුලෙන් ලෙහෙන්න ක්‍රමයක් තියෙනවද?

තියෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕන ජනතාවගේ සහන කපන්නේ නැතුව පාලකයින්ගේ සහන කපාගන්න එක. ඔය ජනතාවට සහන දෙන්න බෑ කිව්වට පාලකයෝ සහන නොගෙන ඉන්නේ නෑනේ. ඒ අය විශ්‍රාම වැටුප් ගෙවා ගන්නවා, ලයිට් බිල් ගෙවා ගන්නවා, වැටුප් ගන්නවා, තෙල් ටික ගන්නවා, ආරක්ෂාව ලබා ගන්නවා. සියල්ල කරනවා. වැඩිම වැයශීර්ෂය වෙන්කරලා තියෙන්නේ ආරක්ෂාවට. කාගේ ආරක්ෂාවටද? එයාලගේ ආරක්ෂාවට. දැන් ආණ්ඩුවට වඩා ජනතාවට ප්‍රශ්න අඩුද? මේක මාර ප්‍රශ්නයක් නේ. ජනතාව කන්නේ අමාරුවෙන්, හැබැයි ඒ ජනතාව ආණ්ඩුවේ සියලු බර දරන්න ඕන. එයාලගේ ලයිට් බිල්. ටෙලිෆෝන් බිල්, වතුර බිල්, තෙල් ඒ සියල්ල දරන්න එපැයි ජනතාව.

Q මොකක්ද ඔබ හිතන විදිහට මේ අයවැය එතකොට?

සරලවම ෆේස් බුක් එකේ තිබ්බ දෙයක් කියන්නම්. උන්ට වැයකරන්න අපෙන් අය කරගන්න හැටි කියාදෙන ලියවිල්ල. එහෙම එකක් මොකටද? මේකට හොඳම උදාහරණය මේ ළඟදී දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව. 2019 ඉඳලා 2023 දක්වා රටේ ආර්ථිකය කඩා වැටීමට සෘජු වශයෙන් දායක වුණේ රාජපක්ෂ පවුලයි, ඒ පවුලේ නිලධාරි ටිකයිනේ. පී.බී. ජයසුන්දරලා, කබ්රාල්ලනේ. ඉතින් ඇයි ඒ මිනිස්සු රුකගන්න ජනතාව සල්ලි ගෙවන්නේ.

Q ජනාධිපතිවරයා අයවැය කතාවේ නුවරඑළිය තැපැල් කන්තෝරුව පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් උදාහරණ දීලා මේ රජයේ ආයතන පෞද්ගලීකරණය තුළින් රටේ ආර්ථිකය හදන හැටි කිව්වා. ඒත් ඔබලා විරුද්ධයි. මොකක්ද ප්‍රශ්නය?

අවුල තියෙන්නේ මොනවත් නෙමේ. මට කියන්න විකුණලා ගොඩගිය එකක්. '77 ඉඳලම රාජ්‍ය ආයතන වික්කනේ. දැන් ඒ විකුණලද අපි මේ ගොඩ ගිහින් තියෙන්නේ. ඔය මිලදී ගත්ත හැමෝම කරලා තියෙන්නේ මොනවද දන්නවද? ඒ ගොල්ලො පෝසත් වෙච්ච එක. ඒ අය මේ දේපළ බැංකු ලෝන්වලට දීලා ඒ අය පෝසත් වුණා. ජනතාවට මොනවද හම්බුණේ. කන්තලේ, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වික්කා. දැන් සීනි අඩුමිලට හම්බ වෙනවද? පොහොර, වානේ, ටයර් සංස්ථා වික්කා. දැන් අපිට ඒවා අඩුවෙන් ලැබෙනවද? නෑනේ.

Q නූතන රාජ්‍ය සංකල්පය යටතේ රජය ව්‍යාපාර කරන්න ඕන නෑනේ?

නෑ නෑ ඕක වැරදියි. ඇමරිකාවේ ඉඳලා අනෙකුත් ප්‍රධාන රටවල් හිතන දෙයක් තමයි ආර්ථිකය ජාතිකකරණය කරන එක.

Q ඒත් මේකයි ඒකයි දෙකක් නේද?

ඔව් මේක විකුණන එකක්නේ. මේ කරන්නේ රජයේ නිලධාරීන් ටිකක් දාලා පාඩුකරලා, එයාලගෙම හිතවතුන්ට පස්සෙ විකුණනවා. දැන් තැපැල් කන්තෝරුත් විකුණන තැනට පත්වෙලා තියෙනවා. එයාලා සම්පූර්ණයෙන් විනාස කරලා තියෙන්නේ. අපි කියන්නේ කාර්යක්ෂමව මේවා හසුරුවන එක. ඒක පෞද්ගලිකද, රාජ්‍යද අදාළ නෑ.

Q පෞද්ගලීකරණය කරන එක වැරදිද?

නෑ. පෞද්ගලීකරණය කරන එකයි, කුණු කොල්ලෙට රජයේ දේවල් විකුණන එකයි, දෙකක්. මම එක දෙයක් කියන්නම්. මේ තමයි රනිල් රාජපක්ෂලගේ අන්තිම අයවැය. ලබන අවුරුද්දේ අපේ අයවැය එහෙම එකක් වෙන්නේ නෑ.

Q අවසන් වශයෙන් අහන්නේ මේ අයවැය ඡන්දයක් බලාපොරොත්තුවෙන් ගෙනාවේ කියලා කියනවා විපක්ෂයේ අය. ඒක ඔබත් පිළිගන්නවද?

නෑ. මතක තියාගන්න ඡන්දයක් තියන්නේ නෑ. මේ අයවැය ගෙනාවේ දැන් තියෙන අවුල වහගන්න. ඡන්දයක් තියන්නේ නෑ කිසිම වෙලාවක. ඒ ඡන්දය ගන්න ජනතාවට අරගලයක් කරන්නම වෙනවා.

I ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00