මෙරට අයවැය කතාව පසුගිය දශක කිහිපය තිස්සේම ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව සිදුකෙරුණු කතාවකට වඩා දේශපාලන ප්‍රතිපත්ති මත පදනම්ව සැකසෙන කතාවක් බවට පත්ව තිබිණි. ඒ අර්ථයෙන් ගත් කල මෙවර අයවැය කතාවද එයින් වෙනස් නොවන බව බැලූ බැල්මට පෙනී යයි. මෙය ජනතාවට සහනය සලසන යෝජනා ඇතුළත් අයවැයක් බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහන් කරන අතර විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේම ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේද ප්‍රබල විවේචනයට අයවැය හසුවෙමින් තිබේ.
අයවැය යෝජනාවකින් රජයේ සේවකයන්ගේ වැටුපට රුපියල් 10,000ක දීමනාවක් එකතු කර තිබේ. විශ්‍රාමිකයන්ට සහ ආබාධිත පුද්ගලයන්ටද වැඩිහිටියන්ටද සෙසු ආධාර ලැබිය යුතු සමාජයේ පිරිසකටද ගෙවන දීමනා ඉහළ දමා තිබේ. වැටුප් වැඩි කළ යුතු බවට දිගින් දිගටම සිදුකෙරුණු ඉල්ලීම් හමුවේ මේ වැඩි කිරීම සිදුකර තිබෙන බව පැහැදිලිය.
වැටුප් වැඩි කිරීම්වලට අප විරුද්ධ වන්නේ නැත. එහෙත් රජයේ ආදායම වර්ධනය කර ගැනීම ජනතාවගෙන් ලබාගන්නා බදු මත ප්‍රබල ලෙස රැඳී තිබෙන ආර්ථිකයක් ඇති රටක් වශයෙන් එවැනි වැඩි කිරීමකින් සිදුවන්නේ රටේ ආර්ථික ගැටලු තවත් උග්‍රවීම පමණක් බව පෙන්වා දිය යුතුය. එය අතීසාරයට අමුඩය ගැසීමක් වීම වළක්වාගත නොහැකිය. රජයේ සේවකයන් හැරුණුවිට පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ද ස්වයං රැකියාවල නියුතු වන්නෝද මිලියන ගණනක් මේ රටේ වෙසෙති. ඔවුන්ගේ ආදායම ඉහළ නොයන තත්ත්වයක් තුළ බදු වැඩිවීම එක අතකින් ඔවුන්ගේ ආදායම හෝ වැටුප තවදුරටත් කපා හැරීමකි. එය බරපතළ සමාජ අසාධාරණයකට පවා යොමුවිය හැකි තත්ත්වයක් බවද පෙන්වා දිය යුතුය.
මේ අයවැයේ යෝජනා සියල්ල අයහපත් සේ අපි නොදකිමු. රටේ ආර්ථික වර්ධනයට හේතු විය හැකි යෝජනාද මෙහි ඇතුළත්ය. පවුල් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම, නාගරික අඩු ආදායම් නිවාස කුලිය ඉවත් කිරීම, සුරක්ෂා සිසු රක්ෂණය නැවත ඇරඹීම එවැනි යෝජනා කිහිපයකි. එහෙත් යෝජනා ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික තත්ත්වයේ යෝජනාද වීම අවශ්‍යය. නැත්නම් සිදුවන්නේ එම යෝජනා රජයේ අයවැය ප්‍රකාශනයේ ලියකියැවිලිවලට පමණක් සීමාවීම පමණි. නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළිත් ඇරඹීමද ආදායම් අධිකාරියක් පිහිටුවීමද එවැනි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසු යෝජනා දෙකකි. මෙවැනි යෝජනා ගණනාවක් මෙහි ඇතුළත්ය.
ආදායම වැඩිකර ගැනීම සඳහා යෝජනා කරන උපක්‍රම මොනවාද යන්න පැහැදිලි කිරීමක් අයවැයේ සඳහන්ව නැත. ලැබෙතැයි විශ්වාස කෙරෙන අරමුදල් මත පමණක් රුඳී සිටිමින් රටේ ආර්ථිකය මෙහෙයැවීමට ගන්නා උත්සාහයන් එතරම් සාර්ථක නොවේ. මෙවැනි යෝජනා විශාල සංඛ්‍යාවක් පසුගිය වසරේ අයවැය යෝජනාවලද සඳහන් විය. එහෙත් එම යෝජනා අතුරින් ක්‍රියාත්මක කෙරුණේ සීමිත සංඛ්‍යාවක් පමණි. විපක්ෂය චෝදනා කරන්නේ පසුගිය වසරේ තිබූ යෝජනා 75ක් අතුරින් ක්‍රියාත්මක කෙරුණේ 69ක් පමණක් බවය. එය එසේ වී නම් යහපත් තත්ත්වයක් නොවන බව සඳහන් කළ යුතුය.
මෙහිදී වඩාත් කල්පනාවට ගත යුත්තේ රජය බලාපොරොත්තු වන ආදායම් උපයා ගැනීම සැලසුම් කරන්නේ කුමන ආකාරයටද යන්නයි. ඒ සැලසුම් අතර වැට් බදු තවත් 3% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව අයවැය ඉදිරිපත් කිරීමට කලින්ම ප්‍රකාශයට පත් විය. ඒ සමඟ මෙතෙක් කාලයක් වැට් බදුවලට හසු නොවූ පෙට්රල් සහ ඩීසල් සඳහා ද වැට් බදු පැනවීමට සූදානමක් තිබෙන බවද කියති. එසේ වුවහොත් පෙට්රල් සහ ඩීසල් මිල 18% කින් ඉහළ යාම නියතයකි. එය රටේ පොදු මහජනතාවට දැරිය නොහැකි පීඩනයක් වනු ඇත. විදුලි බිල පවා අමාරුවෙන් ගෙවන තත්ත්වයක් තුළ තෙල් මිල ඉහළ යාමක් ජනතාව සිහිනෙන්වත් බලාපොරොත්තු වන්නේ නැත.
අයවැය තුළින් සුබසාධන යෝජනා ඉදිරිපත් කිරීම පමණක් පළක් නැත. ජනතාව මේ තරම් සහන බලාපොරොත්තු වන්නේ ඔවුන් මේ වන විටද දැඩි ආර්ථික පීඩනයකින් වෙලී සිටින බැවිනි. ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් පවතින්නේද මෙවැනිම තත්ත්වයකි. ඔවුන්ගේ නිෂ්පාදන සහ කාර්යාලයීය වියදම් අධික වීම ආදායමට දැඩිව බලපා තිබේ. ඒ බලපෑම් පොදුවේ පෞද්ගලික අංශය ප්‍රබල හැකිලීමකට තල්ලු කර තිබේ. ආර්ථිකය ප්‍රසාරණය වීමකින් තොරව එවැනි ප්‍රශ්නවලට සරල පිළිතුරක් නැත. මෙවර අයවැය ඒ සඳහා පිළිතුරක් සපයා තිබේද යන්න ගැටලුවකි.
රටේ ජනතාවගේ බලාපොරොත්තුව වන්නේ අද දවසේ ගෙවන ජීවිතයට වඩා හොඳ හෙට දවසකි. එම බලාපොරොත්තු යම් පමණකට හෝ ඉටුකරගත හැකි මට්ටමකට අයවැයේ යෝජනා ක්‍රියාත්මක කරගත හැකි වුවොත් රටත් ආණ්ඩුවත් දෙකම ගොඩ යනු ඇත.