2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක්: නාමයෝජනා තුනක් ජනපතිට

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 93


අභියාචනාධිකරණයේ හිස් වී ඇති විනිශ්චයකාර ධූර දෙකක් සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

අගවිනිසුරුජයන්ත ජයසූරිය මහතා විසින් ධූර සඳහා සලකා බැලීමට මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨම විනිසුරුවරුන් දෙදෙනකු වන ගිහාන් කුලතුංග සහ දමිත් තොටවත්ත මහත්වරුන්ගේ නම් යෝජනා කර ඇති අතර නීතිපති සංජය රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතාගේ නම සලකා බැලීම සඳහා යෝජනා කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ තිදෙනා අතුරින් දෙදෙනකුගේ නම් අනුමැතිය සඳහා ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගේ විශ්‍රාම ගැනීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරයක්ද පුරප්පාඩුවක් ඇතිවීමට නියමිතව තිබේ.

ජනපති අපේක්ෂක: පොහොට්ටුව ඇතුළේ කතාබහක්

මේ අතර ලබන වසරේ ජනාධිපතිවරණයත් ඉන්පසුව මහ මැතිවරණයත් පැවැත්වෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයත් සමඟ පොහොට්ටුව අභ්‍යන්තරයේ ඒ පිළිබඳ සාකච්ඡා ගණනාවක් ඇතිවී තිබේ. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ සති කිහිපයකට උඩදී පැවති යූ.එන්.පී. 73 වැනි සමුළුවේදීය.

ප්‍රසිද්ධියේ සිදු නොවුණද එවැනි තත්ත්වයකදී තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවුද යන්න පිළිබඳව පොහොට්ටුවේ ප්‍රධානීන් අතර කතාබහක් ඇතිවී තිබේ. එසේම එහිදී තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කර ඇත.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ විය යුතු බවට පක්ෂයේ පිරිසක් සාකච්ඡා කර ඇති නමුත් එය සිදුවිය නොහැකි බව තවත් පිරිසක් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේද පුරවැසියකු වන බැසිල් එය ඉවත් කර ගැනීම සඳහා තවම කිසිදු පියවරක් ගෙන නැත. එසේම පසුගිය මාස කිහිපය තුළදී බැසිල්ට සහාය දක්වන පොහොට්ටුවේ මන්ත්‍රී සංඛ්‍යාවද අඩුවී තිබේ. දැනට පොහොට්ටුවේ මන්ත්‍රීන් අතුරින් ඔහුට සහාය දක්වන පිරිස 21කට වඩා නොවැඩි බවද සඳහන් වෙයි.
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි යන්න පසුගිය සති කිහිපය තිස්සේම පොහොට්ටුවේ ප්‍රධානීන් අතර කතාබහට ලක්වී ඇති බවත් එහෙත් කිසිදු නිගමනයකට එළඹී නැති බවත් දැනගන්නට තිබේ.

I සන්ඩේ ටයිම්ස්