2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

යුද්ධය දිනවපු මහින්ද මහත්තයාට නඩු තීන්දුවක් නිසා ගහන්න ඉඩ දෙන්න බෑ

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

තිස්ස කුට්ටිආරච්චි - පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • විපක්ෂ නායකයාව රකින්න සජබ මන්ත්‍රීලා එදා අටක්වත් හිටියෙ නෑ
  • අපිත් යන්නේ හරිම අමාරුවෙන්: ජනතාවටත් කියන්නේ තව ටිකක් ඉවසමු කියලයි
  • අවුරුදු එකහමාරකට කලින් රටේ තිබුණු තත්ත්වය මතකද?

Q අපිට පේන හැටියට ආණ්ඩුවෙ මන්ත්‍රීවරු ආයේ ටිකක් චණ්ඩි වෙලා නේද? කෑගහගෙන, කොළ උදුරගෙන මොකද කට්ටිය දඟලන්නෙ?

ඇත්තම කියනවා නම් ජනතාව අමතක නොකළ යුතු දෙයක් තමයි තිස් වසරක යුද්ධය නිමා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුත්, ඇතැම් නිලධාරීනුත් මේ යුද ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. මේ අයට විරුද්ධව තමයි විපක්ෂ නායකවරයා චෝදනා එල්ල කරගෙන ගියේ. යුද ජයග්‍රහණය ලබා දීලා රට සාමයෙන් පිරෙව්ව නායකයට දේශපාලන වාසි අරමුණු කරගෙන මඩ ගහන්න හොඳ නෑ. 

Q ඒ කියන්නෙ අධිකරණ තීන්දුව පිළිගන්නෙ නැද්ද ඔබලා?

අපි අධිකරණ තීන්දුව හිස නමා පිළිගන්නවා. මේ රටේ අධිකරණය ස්වාධීනයි කියන එක අපේ හදවත්වල තාමත් තියෙනවා. එම නඩු තීන්දුව මූලික කරගෙන සජබය හෝ ජාතික ජන බලවේගය හෝ මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධ කණ්ඩායමක් හෝ පහර දෙන්න උත්සාහ කරනවා නම් අපිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් හැටියට ඒකට දේශපාලන ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ප්‍රචණ්ඩ ක්‍රියාවක් නෙවෙයි.

Q ඒ කියන්නෙ මහින්ද මහත්තයට මොනවත් කියන්න බැරිද අපිට?

අපි විපක්ෂයට කියනවා දේශපාලන වාසි ගන්න උත්සාහ කළොත් අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ දේශපාලන අනාගතයට මොන දේ වුණත් අපි ඒ දේ කරනවා. මේ රටේ යුද්ධය ජයග්‍රහණය කරපු නායකයට ගහන්න පුළුවන් උපරිම ගහලා ඉවරයි. හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් අපි ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක කතා කරනවා. 

Q අපි දැක්කා ඔබ, සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වගේ අය තමයි ලොකුවට කෑගැහුවෙ. මිනිස්සු කියන්නෙ මේ වගේ අය පාර්ලිමේන්තු ගෙනියන්න එපා කියලා?

මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ඒ වෙලාවෙ අපි විතරක් නෙවෙයි, මැති ඇමැතිවරු පවා රෙඩ් කාපට් එක උඩට ආවා. අපි මේ කතාව ගැන ආරංචිවෙලා පණිවිඩ පිට පණිවිඩ යැව්වා දේශපාලනය කරන්න, ඔය මඩ වැඩ නම් කරන්න එපා කියලා. මහින්ද මහත්තයා පවා සානුකම්පිත හැඟීමෙන් ජනාධිපතිවරයකුගේ දරුවෝ නේද කියලා සමාව දුන්න අවස්ථා තියෙනවා. සජිත් මහත්තයා හම්බන්තොටින් දේශපාලනය පටන් ගන්නකොට උදව් කළේ මහින්ද මහත්තයා. 

Q යූඑන්පියෙන් ඡන්දෙ ඉල්ලුව සජිත්ට මහින්ද මහත්තයා උදව් කළා කියලා කොහොමද දන්නෙ?

මම ඒක දන්නෙ මගේ බාප්පා එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටිය ඇමැතිවරයෙක්. ඒ නිසා අපි පණිවිඩ පිට පණිවිඩ ඇරියා මේ වැඩේ කරන්න එපා කියලා. අපිට ප්‍රශ්නයක් තියෙනවා රට විනාශයට තල්ලු කරන්නද විපක්ෂ නායකවරයා උත්සාහ කරන්නෙ කියලා. එදා ඔබ ඔහොම කිව්වට මිනිස්සු නොදැක්ක දෙයක් තියෙනවා. සජබයේ මන්ත්‍රීවරු අට දෙනෙක් හිටියේ නෑ විපක්ෂ නායකවරයා ආරක්ෂා කර ගන්න. 

Q මේ අයවැයත් එක්ක පුළුවන්ද ජනතා දේශපාලනඥයන්ට ජනතාව ඉදිරියට ගිහිල්ලා ආයේ ඡන්දයක් ඉල්ලන්න?

ඇත්තටම අපේ රට මීට අවුරුදු එකහමාරකට කලින් තිබුණු තත්ත්වය ගැන ජනතාවට අමතක වීම සම්බන්ධයෙන් මම පුදුම වෙන්නෙ නෑ. මොකද යුද්දෙ ඉවර කරපු නායකයව 2015 ඡන්දයෙන් පරාද කරලා ගෙදර ඇරියා. ඒ නිසා මීට අවුරුදු එකහමාරක කාලය අමතක කරපු එක ගැන මම පුදුම වෙන්නෙ නෑ. රට කඩා වැටිලා තිබුණු වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි වෙනුවෙන් රට බාරගෙන මේ රට කරගෙන යන මොහොතේ එතුමා මේ තරමින් හරි දේවල් ලබාගැනීම ගැන මම නම් සතුටු වෙනවා. මොකද එකපාර ප්‍රාතිහාර්ය පාන්න බෑ. බඩු වෙනුවට පෝලිම් තිබුණු යුගයක් තිබුණෙ. මතක තියාගන්න, ජනාධිපතිවරණය පෙනි පෙනී එතුමාට බඩු මිල අඩු කරන්න පුළුවන් නම් එතුමා බඩු මිල අඩු කරන්නෙ නැතුව ඉන්නෙ නෑ. 

Q ජනතාවට දරන්න බෑනෙ?

ජනතාවට විතරක් නෙවෙයි අපිටත් අමාරුයි. බිල් එනකොට අපිත් ගෙවන්න ඕනෑ. 

Q පඩිය වැඩිකර ගන්න ට්‍රයි එකක් දැම්මෙ නැද්ද?

අනේ නෑ. අපිවත් ජනාධිපතිතුමාවත් එහෙම යෝජනාවක් ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා අපිත් යන්නෙ හරිම අමාරුවෙන්. ඒ නිසා ජනතාවට මම කියනවා තව ටිකක් අපි ඉවසමු කියලා.

I ගයාන් ගාල්ලගේ 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00