2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

බල කණු ගැටුම

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 87

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය රට කරවන ප්‍රධානම ආයතන තුන වෙයි. මේ ආයතන එකිනෙකට ස්වාධීනව කටයුතු කිරීම රටේ යහ පැවැත්මට අවශ්‍යය. මේ ආයතන අතර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම ඕනෑම ආණ්ඩුවක ප්‍රධානම වගකීමකි.

රටේ විධායකය දැන් පවතින්නේ මහජන වරමකින් පත්වූ මන්ත්‍රීවරුන් 134 දෙනකු විසින් ව්‍යවස්ථානුකූලව තෝරා පත්කරගත් ජනාධිපතිවරයකු අතේය. ඔහු තම රජයේ අඛණ්ඩ පැවැත්ම සහතික කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකයේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගත යුතුය. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 134ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණත් ඒ සංඛ්‍යාව ඉන්පසුව එකදිගට රුඳී සිටින බවත් පෙනෙන්නේ නැත. එසේ වුවත් ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සරල බහුතරය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සමත්ව සිටී.

ඒ බහුතරය මේ වර අයවැය දෙවැනි වර කියවා සම්මත කර ගැනීමේදී ද තිබිණි. ඒ සඳහා මන්ත්‍රීවරුන් 122කගේ සහාය ජනාධිපතිවරයාට ලැබී තිබිණි. මේ ඡන්ද සංඛ්‍යාව ලබාදීමේ ප්‍රධානම ''ස්විචය'' වශයෙන් ක්‍රියා කරන්නේ හිටපු ජනපති මහින්ද බව රහසක් නොවේ. ඔහු අයවැය සම්මත කර ගැනීමට තම මන්ත්‍රීවරුන් මෙහෙයවූවා පමණක් නොව අයවැයට ලොකු සහතිකයක්ද ලබාදුන්නේය. නාමල් මේ අයවැයට ඡන්දය ලබාදීමට ආවේත් නැත. අයවැයෙන් ජනතාවට සහන නැතිවීම එයට හේතුව බව ඔහු කියා තිබිණි.

''මේ අයවැය යෝජනාවල හොඳ නරක දෙකම තිබෙනවා. සමහර යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකියි. 2023 අයවැයට ඉදිරිපත් කළ යෝජනාම මෙහි ඇතුළත් කර තිබෙනවා.'' යැයි නාමල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

නාමල් එහෙම කියද්දී මහින්ද කියා තිබුණේ එයට වඩා හාත්පසින්ම වෙනස් කතාවකි. අයවැයට ඡන්දය විමසන අවස්ථාව වනවිට රාජපක්ෂවරුන් රටේ ආර්ථිකය බංකොළොත් කිරීම සම්බන්ධ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබිණි. මහින්ද පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී ආර්ථිකය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය. එහෙම කරමින් අයවැය ගැනද කතා කළේය.

''රටේ ආර්ථිකය සුබවාදීව ඉදිරියට ගෙන යාමට මේ අයවැය හොඳ අවස්ථාවක්. මේ අයවැය යෝජනාවලියට අපි අපේ උපරිම සහාය දෙනවා. අපි විශ්වාස කරනවා ජනතාව සමඟ මේ රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් නැගිටින්න ඕනෑ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ අයවැය අනාගතවාදී අයවැයක්. ඒ වගේ මේ අයවැය තුළ දැඩි මූල්‍ය විනයක් පේන්න තිබෙනවා. ඒක රටකට අත්‍යාවශ්‍ය දෙයක්. විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසක ජීවන වියදමක් ලබාදීම, අස්වැසුමට වෙන්කරන මුදල තුන් ගුණයකින් වැඩි කිරීම, කුලී නිවැසියන්ගේ නිවාස අයිතිය තහවුරු කිරීම, මේවා අපි මේ මොහොතේ අගය කළ යුතුයි.''

මහින්දත් නාමලුත් මේ කරන්නේ දේශපාලන ගේම් එකක් බවට මතයක්ද පළවෙමින් තිබේ. ඉදිරි වසරේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ ගැන සැලකිල්ලෙන් මෙසේ නාමල් ජනතාව වෙනුවෙන් කතා කිරීමත් මහින්ද ජනාධිපතිවරයා අගය කරමින් කතා කිරීමත් සිදුකර ඇති බවත් මෙය රාජපක්ෂවරුන්ගේ දේශපාලන නාට්‍යයක ජවනිකාවක් පමණක් බවත් ඒ මතය උළුප්පා දක්වන පිරිසගේ අදහසය. ඒ කොහොම වුණත් රනිල් ජනාධිපතිවරයා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහාය ලැබෙන බවට යළිත් වරක් රටත් ලෝකයක් ඉදිරියේ තහවුරු කර පෙන්වීමට සමත් වූ බව යථාර්ථයයි.

හැබැයි මේ සරල බහුතරය රුක ගැනීම පමණක් රටත් ආණ්ඩුවත් මුහුණදී සිටින සියලු ගැටලුවලට විසඳුක්ද?

ඒ ගැන අදහසක් ගන්නට නම් පසුගිය සති දෙක තුන තුළ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර කටයුතු සිදුවූ ආකාරය ගැන විමසිල්ලෙන් බැලිය යුතුය.

ව්‍යවස්ථාදායකය ඇතුළේ අධිකරණයට එරෙහිව දේශපාලන බෝම්බයක් පුපුරුවා හැරියේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහය. මාතෘකාව ක්‍රිකට් වුණත් ඒ පුපුරුවා යාමේ කම්පනය අධිකරණයටද තදින්ම දැනී තිබිණි. මෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිසේත් බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවන බවට පැහැදිලි සංඥාවක්ද ලැබුණි. ඔහු රටේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධව පාර්ලිමේන්තුව අමතා සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය සිදු කිරීමෙන් වැළකුණේය. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුගේ නම පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීම ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර ගැටුමකට මුල පුරණ බව වැඩිදෙනකුගේ මතය වී තිබිණි. ඒ හේතුවෙන් මතුවූ තත්ත්වය පිළිබඳව මනා වැටහීමකින් ක්‍රියාකළ ජනාධිපතිවරයා එය සමථයකට පත්කර ගැනීමට තම දේශාලන කෘතහස්තභාවය හැකි තරම් ප්‍රයෝජනයට ගත් බවද පැහැදිලිය.

ක්‍රිකට් සම්බන්ධ විවාදය පැවැති අවස්ථාවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශය එයට හොඳම උදාහරණයයි. අමාත්‍යවරයා කළ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මතය අනුව යමින් කළ එකක් බව පැහැදිලිය. අධිකරණය සමඟ ගැටුමකට නොයා යුතු බව සඳහන් කරමින් ඔහු විනිසුරුවරයකුගේ නම සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් ගලවා ගැනීමට අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ගයද ඔහු පෙන්වා දුන්නේය. මේ ආකාරයට ගියොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අයි.සී.සී. තහනමකට ලක්විය හැකි බවද සඳහන් කළේය.

දැන් සියල්ල සිදුවී අවසානය. ක්‍රිකට් සම්බන්ධ ගැටලුව පැත්තකින් තැබුවත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ජනාධිපතිටද අභියෝග කරමින් තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලනය කළඹන චරිතයක් බවට පත්වී සිටියි. ඔහුට සහාය දක්වන විපක්ෂනායක සජිත් ප්‍රේමදාසද මේ ක්‍රිකට් බොරදියේ මාළු බෑමක් සිදුකරන බවද පෙනී යයි. රටේ ජනතාවට බලපාන බරපතළ ගැටලු තිබියදී ක්‍රිකට් ගැන කතා කිරීමට ඔහු විශාල කාලයක් වැයකරන බවද පෙනෙන්නට තිබේ. මෙහි ඇති දේශපාලන වාසි සහ අවාසි ගැන ඔහු හොඳින් ගණන් බලා තිබිය යුතුය. මෙහි අවසානය තීරණය වන්නේ රටේ බහුතර ජනතාවගේ මතය උඩ බව සියලු දේශපාලනඥයන් සිහි තබාගත යුතුය.

මේ අතර කථානායකවරයා සභාපති ධුරය දරණ ව්‍යවස්ථාදායක සභාවද ජනාධිපතිවරයා සමඟ මතභේදයකට මුහුණ දී සිටී. අළුයට ගිනි මෙන් තිබූ මේ මතභේදකාරී තත්ත්වය ගිනිදලු බවට පත්වුණේ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ පුරප්පාඩු සඳහා යවන ලද නම් වලට අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීමත් සමඟය. ශ්‍රේෂ්ඨාධිකණයේත් අභියාචනාධිකරණයේත් ඇතිවන පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නම් ඉදිරිපත් කර තිබිණි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ බුවනෙක අලුවිහාරේ විනිසුරුගේ විශ්‍රාම යාමත් සමඟ ඇතිවන පුරප්පාඩුවට නම්කර තිබිණි. එසේම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණයේ හිස්වන සභාපති ධුරයට නම්කර තිබිණි.

මේ තනතුරු සඳහා පත් කිරීම් ප්‍රමාද වෙමින් තිබියදී ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට යොමුකළ ලිපිය හේතුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේදී එම විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පරීක්ෂා කළ යුතු බව එම ලිපියෙන් දැනුම් දී තිබිණි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන යෝජනා අනුව සිදුවන පත්කිරීම්වලට අදාළව එම ලිපිය යොමුකර ඇතැයිද සඳහන්ය. එම ලිපිය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නව පත් කිරීම් ලබන විනිසුරුවරුන් පසුගිය වසර කිහිපය ඇතුළත දුන් විනිශ්චයන් සංඛ්‍යාව සහ අදාළ විනිසුරුවරයාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවය.

මේ පසුබිමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කළ ප්‍රකාශයේදී ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කළේය. ''ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තුවේ කොටසක් නොව විධායකයේ කොටසක්. ජනාධිපති පත්වීම් දෙනවිට එයට ආධාර කරන්නත් පත්කරන නම් සුදුසුද නැද්ද කියා ජනපතිට යෝජනා කිරීමත් එහි වගකීමක්. මේ නිසා ඔවුන් කරන ඕනම දේකට මූලික අයිතිවාසිකම් නඩුවක් ගන්න පුළුවන්. එය දැනගෙන ක්‍රියාකළ යුතුයි. මෙහෙම ව්‍යවස්ථාදායක සභාව ගෙනියන්න බෑ. මම යෝජනා කරන්නේ තේරීම් කාරක සභාවක් දමා මේක ගෙනයන්නේ කොහොමදැයි කතාකර ගනිමු. මේක නිසා මුළු අධිකරණයම හිරවෙලා. අභියාචනාධිකරණය හිරවෙලා. 2003 ඉඳන් ව්‍යවස්ථාදායක සභාවල මෙහෙම තත්ත්වයක් ඇතිවුණේ නැහැ.'' යැයිද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

ජනාධිපති ඡන්දය මෙන්ම පාර්ලිමේන්තු ඡන්දය යන දෙකම ලබන අවුරුද්දේ පවත්වන බවද එකක්වත් කල් නොදමන බවද ඊටපසු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අයවැය සරල බහුතරයෙන් සම්මත වූ පමණින් සියලු ගැටලු නොවිසඳෙන බවට මීටත් වඩා උදාහරණ අවශ්‍ය නැත. ආර්ථිකය ගොඩගැනීමට ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපතිවරයා නිතරම ප්‍රකාශ කරන අතර ලබන වසරේ ජාතික මැතිවරණ දෙකම පවත්වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ප්‍රථම වතාවටය. එහෙත් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතිරිව තිබෙන ඉදිරි මාස 08 තුළදී මේ ආර්ථිකය මේ තිබෙන තැනින් විශාල ලෙස ඉහළ යාමක් ගැන බලාපොරොත්තු තැබිය නොහැක. එසේම අයවැයේ යෝජනා වශයෙන් ලබන ජනවාරියේ සිට හැම පැත්තකින්ම වැට් බදු නැග, බොහෝ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා බදු ලිපිගොනු ඇරිය යුතු තත්ත්වයක් උදාවන පසුබිමක ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේ මහා වියවුල් රුසක් මැද බව පෙනී යයි. ඒ අතරට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මතභේදාත්මක තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ. මේ වාතාවරණය මැද මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී ලබාදීමට නියමිත නඩු තීන්දු ගැන රටේම අවධානය යොමුවනු ඇත. ජනතාවට කළ හැකි වන්නේ වෙන්නේ මොනවාදැයි බලාසිටීම පමණි.

I ශශීන්ද්‍ර