2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මොන බෝලෙ දැම්මත් අපි ගේම ගහනවා

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

තුෂාර ඉඳුනිල් - සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී

  • මේක දුප්පතාගෙන් ඇරියස් කවර් කළ අයවැයක්
  • ආර්ථිකය හදන්න පුළුවන් හොඳම තුන්දෙනා ඉන්නෙ අපිත් එක්ක
  • ක්‍රිකට් වැඩෙන් ගොඩක් අයගේ රෙදි ගැලවුණා

Q මේ වෙද්දි ආණ්ඩුව විසින් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ධනාත්මක දේ වගේම විවේචනත් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මොකක්ද ඒ ගැන දරන මතය?

සාම්ප්‍රදායක් වශයෙන් අයවැයක් වාර්ෂිකව ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ වගේම ඒ අයවැය මුදල් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නත් ඕනෑ. මේක අන්න ඒ තාක්ෂණික කටයුතු සඳහා ඉදිරිපත් කරලා තියෙන අයවැයක් නිසා ජනතාවගේ සුබසාධනය, ආර්ථික ධනාත්මකතාවය වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයක් නොවන බව පැහැදිලිව පේනවා. මේ එකිනෙකා අතර යැපුම් ආර්ථික ක්‍රමයක් හැරෙන්න නිෂ්පාදන ආර්ථික අයවැයක් නෙවෙයි. මේ ආර්ථිකය විනාශ කිරීමේ චෝදනාවට ලක්වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ රාජපක්ෂවරැත් මහ බැංකුවේ හිටිය ඔය ලොක්කොත් කරපු දේට ඇරියස් අල්ලලා තියෙන්නෙ අහිංසක රාජ්‍ය සේවකයන්ගෙනුත් දුප්පත් මිනිස්සුන්ගෙනුත් විතරයි. 

Q එතකොට මොකක්ද මේ අයවැය?

මේක ඇත්තටම සැරදියෙල් න්‍යායේ අයවැයක් නෙවෙයි. මේ අයවැය ඇති හැකි අයගේ ඇරියස් කවර් කරන්න නැති බැරි අයගෙන් හූරන් කාපු අයවැයක්.

Q ඔබලා ආණ්ඩුවක් පිහිටෙව්වා නම් ජනතාවට සහන දෙන අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

කතාවට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට හොඳ මොළයක් තියෙනවා කියලා. හැබැයි එතුමට හොඳ මොළයක් තිබුණට හොඳ හදවතක් නෑ. සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ මොළයක් වගේම හොඳ හදවතක් තියෙන ආර්ථික ප්‍රතිපත්තියක්. එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහිලා ආපු කණ්ඩායමක් විදිහට එජාපයේ හිටිය හොඳම ආර්ථික ඔස්තාර්ලා තුන්දෙනා ඉන්නෙ අපිත් එක්ක. ඒ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න. ඔවුන් තුන්දෙනා තමයි අපිට ඉන්න හොඳම ඔස්තාර්ලා. ඒ නිසයි මම කිව්වෙ ඔලුවයි පපුවයි එකට අරන් යන ආර්ථික ප්‍රතිපත්තියක් අපිට තියෙන්නෙ කියලා. 

Q අපි දැක්කා පහුගිය දවස් ටිකේ විපක්ෂය ක්‍රිකට් වෙනුවෙන් විශාල සටනක් කළා. ඒත් ගොඩක් අය නම් කියන්නෙ රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඇයි මේ ක්‍රිකට් වෙනුවෙන් මෙච්චර දඟලන්නෙ කියලා. ඇත්තටම ප්‍රශ්න විසඳුණෙත් නෑ. ඇමැතිවරයාට විතරයි යන්න වුණේ?

අපි නම් කිසිම විදිහකින් ඒ ගැන එහෙම හිතන්නෙ නෑ. මොකද මේ සිදුවීමෙන් ගොඩක් දෙනෙක්ගෙ රෙදි ගැලවුණා. හොරැ අල්ලනවා කිව්ව අය අන්තිමේ හොරැ වෙනුවෙන් පෙනී ඉන්න තැනට පත් වුණා. දැන් වෙලා තියෙන්නෙ පණිවිඩකරැවට තමයි දඬුවම් දෙන්නෙ. වර්තමාන ජනාධිපතිතුමයි කැකිල්ලේ රජ්ජුරැවයි අතර කිසිම වෙනසක් නෑ. මොකද කැකිල්ලෙ රජ්ජුරැවොත් නඩුව අහල අහලා දඬුවම් දෙන්නෙ වෙනම කෙනකුට. ක්‍රිකට් ආයතනයේ වෙච්ච හොරකම් දූෂණ යට ගියා. අන්තිමේ පැමිණිල්ල කරපු මිනිහා ගෙදර ගියා. ඒ නිසා අපි මේක පුස් වෙඩිල්ලක් හැටියට දකින්නෙ නෑ. මේ පාලකයන් විසින් තමන්ගේ රෙදි තමන් විසින්ම ගලවගත්තා. 

Q රොෂාන් රණසිංහ මහත්තයා උපදෙස් ගත්තෙ විපක්ෂයෙන් කියලා තමයි චෝදනා කරන්නෙ. දැන් රොෂාන් මන්ත්‍රීතුමා විපක්ෂය සමඟ එකතුවෙලා?

ඒක ගැන කියන්න නම් අපි දන්නෙ නෑ. එතුමා ඉදිරියේදි දේශපාලනය කරනවා නම් එතුමා කා සමඟ දේශපාලනය කළ යුතුද කියන එක එතුමා විසින් තීරණය කරයි. විපක්ෂයත් එක්ක කටයුතු කළා කියන චෝදනාව නම් මම ප්‍රතික්ෂේප කරනවා. මොකද සරණක් අවැසි මොහොතක අර ගඟේ ගහගෙන යන මිනිහා පිදුරැ ගහෙත් එල්ලෙනවා වගේ වැඩක් වුණේ. පේනවනෙ යහපාලන ආණ්ඩුවට විරැද්ධව කටයුතු කරපු රොෂාන් රණසිංහ මහත්තයා වෙනුවෙන් රාජපක්ෂ කඳවුරේ කවුරැත් පෙනී හිටියෙ නෑනෙ. ඒ විතරක් නෙවෙයි හොරැ අල්ලන්න කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ හිටියෙත් නෑ.

Q දැන් ඊළඟට එන්නෙ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද කියන එක ගැන කතාවක් තියෙනවා. ඔබලගේ සූදානම මොකක්ද?

ඇත්තටම අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. මොන බෝලේ දැම්මත් අපි ක්‍රීඩා කරන්න සූදානම්. අපි කියන්නෙ මැතිවරණ කල් දාන්නෙ නැතුව ඉක්මනින් හරියට මැතිවරණය තියන්න කියලා.

I ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00