2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

හරි විදිහට රැඩිකල් වෙමු

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

මෙරට ආර්ථිකයේ තිරසර භාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ පසුගිය වසරක කාලයේදී ආණ්ඩුව සිදුකළ රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් මෙරට ආර්ථිකයේ යම් ප්‍රගතියක් අත්කර දීමට සමත් වූ බවය.

ලෝකයේ බොහෝ විෂයන්වල ප්‍රවණතා වර්තමානයේ විශාල වෙනස්කම්වලට භාජනය වී තිබේ. ආර්ථිකයටද එයින් වෙනස්වීමට පුළුවන්කමක් නැත. එසේ වෙනස්වීම්වලට අනුගත වීම අතහැර දැමුවහොත් හෝ ප්‍රමාද කළහොත් ලොවේ අනෙකුත් රටවල් අප පසුකර ශීඝ්‍රයෙන් ඉදිරියට යනු ඇත. එය දැනුදු සිදුවෙමින් තිබේ. ජනාධිපතිවරයා රට හමුවේ ප්‍රකාශ කරන්නේ අප රටක් වශයෙන් දැන් හෝ රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණවලට නොගියහොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නොහැකිවනු ඇති බවය. රටක් වශයෙන් අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙය බවත් මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කිරීමෙන් එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත හැකි බවත් ඔහු සඳහන් කර තිබිණි.

දැන් ක්‍රීඩාව ගත්තත් එහි අතීතය සහ වර්තමානය ගලපාගත් විට විශාල වෙනස්කම් සිදුව තිබේ. ක්‍රිකට් වර්තමානයේ ක්‍රීඩා කෙරෙන්නේ මීට වසර තිහ හතළිහකට පෙර ක්‍රීඩා කළ ආකාරයට නොවේ. මෑතකදී ලෝක පූජිත ශ්‍රී ලාංකික පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් කියා තිබුණේ අද ක්‍රිකට් පිටියේ පිට දඟපන්දු යවන්නන්ට තැනක් නොමැති බවය. මේ නිසා පිට දඟ පන්දු යැවීමෙන් පලක් නැති බවය. මුරලිදරන් ක්‍රිකට් පිටිය දිනුවේ පිට දඟපන්දුවෙනි. එහෙත් ඔහු ලෝකය දිනූ ක්‍රීඩකයකු බවට පත්වුණේ එම පිට දඟපන්දුවට දුස්රා වැනි විවිධ අලුත් ශෛලීන් එකතු කිරීම තුළිනි.

මේ යථාර්ථය අවබෝධ කර නොගෙන පරණ හණමිටි අදහස්වලම එල්ලීගෙන කටයුතු කරනවාද නැත්නම් එයින් වැළකී රැඩිකල් ආර්ථික ප්‍රතිපත්තිවලට යනවාද යන්න තීරණය කළයුතු අවස්ථාවකට රට තල්ලු වී තිබෙන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් උගත යුතු පාඩමය. මේ පාඩම අමිහිරි තිත්ත පාඩමක් බවද සඳහන් කළ යුතුය. එහෙත් අද රට පත්ව සිටින්නේ රසවෑහෙන පාඩම් අනුව කටයුතු කළයුතු තත්ත්වයක නොවේ. සෑම දෙයටම විරුද්ධවීමේ න්‍යාය පසෙකට දමා රටේ අනාගතය වෙනුවෙන් තම ප්‍රතිපත්ති වෙනස්කර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීම අවශ්‍ය බව සෑම දේශපාලන පක්ෂයකම නායකයන් සිතට ගතයුතු වෙයි. තමන් කවදා හෝ බලයට පත්වුවහොත් මේ කටුක යථාර්ථයටම මුහුණදීමට සිදුවන බව ඔවුන් තේරැම් ගත යුතුය. ලොවේ ප්‍රවණතා අනුව යමින් අපේ ආර්ථික ප්‍රතිපත්තිවල අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමත් එම ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ඒවා බවට පත්කර ගැනීමත් අවශ්‍ය බවද පෙන්වා දිය යුතුය.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වීමට නම් අනිවාර්ය සාධකය වනුයේ අපනයනය වර්ධනය කර ගැනීමය. ඒ සඳහා තරගකාරී ලෙස කටයුතු කළ යුතු බවත් එයට අකැමැති වීම රටේ ඉදිරි ගමනට බාධාවක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. ලොවේ සෙසු රටවල් සමඟ තරගකාරී ලෙස කටයුතු කිරීම මෙහිදී වැදගත් සාධකයකි. එම රටවල් සමඟ ඇති කරගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අනුගතව කටයුතු කිරීමත් රජය විසින් ආරම්භ කරන ලද රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමත් වැදගත් බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.  එය අනාගත දැක්මක් බව තේරැම් ගැනීම දුෂ්කර නැත.

අප රටට හැමදාමත් බංකොලොත් තත්ත්වයේ රැඳී සිටීමට නොහැක. මෙයින් මිදී ලෝකයට පිළිගත හැකි මට්ටමක ආර්ථිකයක් ඇතිකර ගැනීමට අධිෂ්ඨාන කරගත යුතුය. මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නම් අප වෙනස් විය යුතුය. ජනාධිපතිවරයා පෙන්වා දෙන පරිදි අපේ රටේ ඇතිකරගෙන යමින් තිබෙන රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට හැකියාවක් නැත. එම ක්‍රියාවලියේ යහපත් සහ අයහපත් අංශ පිළිබඳව හොඳින් හදාරමින් අවශ්‍ය තැන්වලදී ඒ ප්‍රතිපත්තිවලට සහාය දීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් වෙයි.

එසේම රජයද මේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී ගජමිතුරන්ට රජයේ ආයතන පවරාදෙන ප්‍රතිපත්තියෙන් මිදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විනිවිදභාවයකින් කටයුතු කිරීමද ඉතා වැදගත්ය. විපක්ෂයේ විශ්වාසය දිනාගත හැක්කේ එලෙස කටයුතු කිරීමෙන් පමණි.