2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ආණ්ඩුවේ තුන්වැනි යාමය

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

තව සති 04කින් මේ වසර අවසන්ය. වසරේ අවසන් දේශපාලන ''ටෙස්ට් එක'' වන අයවැය ගොඩ දා ගැනීම රජයේ මූලික අවශ්‍යතාව වෙයි. ඒ ගැන කිසිදු ගැටලුවක් නැත. එහෙම ගැටලුවක් තිබුණා නම් මේ අල්ල පනල්ල අස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දූත පිරිසක් මන්ත්‍රීවරුන්ද ඇතුළුව අරගෙන ඩුබායි යන්නේ නැත. අයවැයේ එක් එක් අමාත්‍යංශවල වැය ශීර්ෂ පරද්දන බවට පුරසාරම් දෙඩූ පොහොට්ටුවේ මන්ත්‍රී සෙට් එකද දැන් ඉන්නේ සද්ද වහගෙනය. අයවැය තුන්වැනි වර කියවා ඡන්දය විමසීම ආණ්ඩුවට තවත් එක පනතක් සම්මත කර ගැනීමේ වෑයමක් තරමට තුනී වී ගොසින්ය.

එහෙම වුණාට රටේ දේශපාලනය නම් එහෙම නැත. මතුපිටින් නිහඬ බවක් පෙනුණත් ඇතුළත තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. පොහොට්ටු කට්ටිය ඉල්ලූ ඇමැතිකම් තවම ලැබී නැත. එහෙම වුණා කියා ඇමැතිකම් බලාගෙන සිටි කවුරුත් එළියේ සද්ද දැම්මේත් නැත. රනිල්ගේ දේශපාලන ඉව ගැන දන්නා බොහෝදෙනා ඔහු අයවැය තමන්ට අවශ්‍ය ආකාරයට සම්මත කරගන්නා තුරු ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු නොකරන බව හොඳින්ම දැන සිටී. ඉදිරිය ගැන බලාපොරොත්තු ඉහළින්ම රඳවා තබා ගැනීම ඇමැතිකම් බලාපොරොත්තු වන අයට හොඳ දේශපාලන ගුණ්ඩුවකි.

හැබැයි රොෂාන් රණසිංහගෙන් ගැලවූ ඇමැති පට්ටම් දෙකෙන් එකක් යූ.එන්.පී.යේ හරීන්ට ගිය එක ගැන ඔවුන්ට පරහක් තිබේ. නමුත් මේ වෙලාවේ හැටියට කළ හැකි දෙයක්ද නැත. හරීන්ට ක්‍රීඩා ඇමැතිකම ලබාදීම තාවකාලික පිළියමක් බවත් ඔහු හරහා අයි.සී.සී. තහනම ඉවත් කරවාගෙන පසුව සිදු කිරීමට නියමිත අමාත්‍ය මණඩල සංශෝධනයේදී ඒ ඇමැති ධුරය පොහොට්ටුවට ලබාදෙනු ඇති බවටත් අදහසක් පොහොට්ටුව තුළ තිබේ. එහෙත් මේ අමාත්‍ය ධුරයට ඇහැ ගහගෙන සිටි එස්.බී. නම් මේ තීන්දුවත් සමඟ දැඩි ලෙස කේන්තියට පත්ව සිටින බවත් ඔහු දැන්ටම සජබ ජ්‍යෙෂ්ඨයන් සමඟ තමන්ගේ ඉදිරි දේශපාලනය ගැන කතා කරමින් සිටින බවත් ආරංචි මාර්ග පවසයි. එහි ප්‍රතිඵලය කුමක් වේදැයි කියන්න තවම කල් වැඩිය.

ආණ්ඩුව පැත්තෙන් මෙය අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඔවුන්ට රොෂාන් රණසිංහගේ සහාය අහිමි විය. තමන් තවමත් පොහොට්ටුවේ සාමාජිකයකු බවත් ඉදිරිය ගැන කිසිම දේශපාලන තීන්දුවකට එළඹී නැති බවත් රොෂාන් කියා තිබිණි. එහෙත් ''අපි ඊළඟ ජනාධිපතිවරණයේදී බලාගමු'' කියා කෙළින්ම ජනාධිපති රනිල්ට කළ අභියෝගයේ යටින් ඇත්තේ ඔහු තවදුරටත් ආණ්ඩුව සමඟ දේශපාලනය නොකරන බවය. කොටින්ම රනිල්ටත් ඔහුට සහාය දක්වන පොහොට්ටුවේ පිරිසටත් එරෙහිව ඔහු තම ඉදිරි දේශපාලනය මෙහෙයවන බවට එය ප්‍රබල සංඥාවකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයටත් ඒ හරහා ජනාධිපති රනිල්ගේ සමීපතම දේශපාලන සගයකු වන සාගල රත්නායකට ඍජුවම පහර එල්ල කිරීමත් සමඟ රොෂාන් රණසිංහ මෙරට දේශපාලනය තුළ තරුවක් බවට පත්විය. ක්‍රිකට් ප්‍රශ්නයේදී රටේ ජනතාව ඉන්නේ රොෂාන්ගේ මතය සමඟ බවට ජනාධිපතිවරයාට හිතවත් දේශපාලන සගයන් පෙන්වා දී තිබුණත් ඔහු රොෂාන්ගේ ඇමැති පට්ටම ගලවා දැමුවේ එයට මුහුණදීම සඳහා කිසියම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අදහසින් විය යුතුය. එහෙත් ආණ්ඩුවේ ජනප්‍රිය බවේ වත්මන් තත්ත්වය මත ඒ ගන්නා පියවර තුළින් සිදුවිය හැකි දේශපාලන වාසිය සහ අවාසිය තීරණය වනු ඇත.

හොඳට තිබුණ ආණ්ඩු ජාතික මැතිවරණයක් පිළිබඳ සලකුණු පහළ වනවිට කඩාවැටීම් සිදුවීම මේ රටේ දේශපාලනය තුළ අමුත්තක් නොවේ. යූ.එන්.පී.ය දෙකට කැඩී ගියේ ප්‍රේමදාස ජනාධිපති කාලයේ ලලිත්, ගාමිණීලා එළවීමත් සමගිනි. ඊටපස්සේ කවදාවත් යූ.එන්.පී.යට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවූයේ නැත. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසුව බණ්ඩාරනායක පවුලේ දූ පුතුන් අතරද කැරළි ගැසීම් සිදුවිය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රීලනිපය කඩා වැටීමය.  චන්ද්‍රිකා පොදු පෙරමුණෙන් ජනාධිපති වී සිටියත් 2001 මහ මැතිවරණය පැරදුණේ ඇමැති පිරිසක් දොට්ට දැමූ සිද්ධිය හේතුවෙනි. ඒ දොට්ට දැමූ පිරිස අතරේ හකීම්ලා සිටියහ. ඊටපස්සේ එස්.බී. - බන්දුල ගුණවර්ධනලාත් ආණ්ඩුවෙන් ගියහ. 2001 රනිල් එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව පිහිටුවන විට මේ අය ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු බවට පත්වූහ. ලංකාවේ දේශපාලනයේ හැටි ඔහොමය.

තව සති හතරකින් එළඹෙන 2024 දේශපාලන පසුබිම ගැන අප බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි. ලබන වසර මැතිවරණ වසරක් හැටියට ජනාධිපති රනිල් විසින්ම ප්‍රකාශ කර තිබේ. පුංචි ඡන්දය කල්දැමූ ආකාරයට ජාතික මැතිවරණ කල්දැමීමට හැකියාවක් නැතිවීම නිසා රටේ සියලු දේශපාලන පක්ෂ ලබන වසරේ තිබෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට හෝ මුහුණදීමට සූදානම් වන බවක්ද පෙනෙන්නට තිබේ. ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය නම් තවමත් ඉන්නේ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ ජනාධිපතිවරයාගෙන් ලබාගැනීමට නම් සටනක් කිරීමට සිදුවනු ඇතැයි යන අදහසේය. එහෙත් රටේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ගණනාවක්ම පෙන්වා දී ඇත්තේ ජාතික මැතිවරණයක් කල්දැමිය නොහැකි බවය. එය ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පැවැත්වීමට සිදුවන බවය. දැනට ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපතිවරණය ලබන වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී හෝ ඊට පෙර හෝ පැවැත්විය යුතුය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 අගෝස්තු මාසයේදීය. නැතහොත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යා හැකිය.

කෙසේ වුවද ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජාතික මැතිවරණයක් නොපැවැත්වීමට කටයුතු සිදුවුණොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයකට ලක් කිරීමට නියමිත බවය. එවැනි තැනකට ආණ්ඩුව තල්ලු වනු ඇතැයි දැනට තිබෙන දේශපාලන වටපිටාව අනුව පෙනී යන්නේ නැත. එසේ අවසන් තීන්දුව ඇත්තේ ජනාධිපතිවරයා අතේ බවත් ඔහුට සහාය දක්වන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් මගින් එම තීන්දුවට බලපෑම් ඇති කළ හැකි බවත් පැහැදිලිය. ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ පැවැති සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කරනු ලැබූ විමසීම්වලදී පැහැදිලිවම කියා තිබුණේ තමන් ප්‍රමුඛතාව ලබා දෙන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ කටයුතුවලට බවය. එසේම ජනාධිපතිවරයාට සමීප වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාද නිරතුරුව ප්‍රකාශ කරන්නේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව කල්පනා කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩගැනීමෙන් පසුව බවය. මේ සංඥා කිසිදු බාධාවකින් තොරව ජාතික මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට පවතින අදහස අධෛර්යවත් කරන බව පැහැදිලිය.

මේ රටේ ජාතික මැතිවරණ ඉතිහාසය ගැන විමසිලිමත් වීමේදී පෙනී යන්නේ අවස්ථා දෙකකදී හැර සෙසු මැතිවරණ ප්‍රමාදයකින් තොරව පවත්වා ඇති බවය. කොටින්ම කොවිඩ් වසංගතයෙන් තදින්ම බැට කා සිටියදීත් අවසන් වරට 2020දී පැවැති මහා මැතිවරණය බාධාවකින් තොරව පැවැත්වීමට එදා පොහොට්ටුවේ නායකයන්ට තිබූ බලවත් උවමනාව රහසක් නොවීය. ඒ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම කොවිඩ් වසංගතයට අයහපත් ලෙස බලපානු ඇති බවට පැවති උපකල්පන සියල්ල වැරදි බව පසුව පෙනී ගියේය. එයට ප්‍රධාන හේතුවක් වූයේ මැතිවරණ පවත්වා ගැනීම පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන අවස්ථාවක් වී තිබීමය. එම අරමුණු ජයගැනීම රජයේ ඉහළම ප්‍රමුඛතාව බවට පත්වීමෙන් මැතිවරණය සාර්ථකව පැවැත්වීමට හැකි විය. එය පොහොට්ටුවේ අතිවිශාල ජයකටද හේතු විය. ඉන්පසුව සිදුවූ දේ ඉතිහාසයට එක්වී හමාරය.

එහෙම මැතිවරණවලට නිර්භයව ඉදිරිපත් වූ පොහොට්ටුව මේ වනවිට මැතිවණයක් අවශ්‍ය බවට ඇල්මැරුණු ආකාරයට ප්‍රකාශ කිරීම රටේ අවධානයට ලක් වී තිබේ. අපි ඕනෑම මැතිවරණයකට ඕනෑම වෙලාවට සූදානම් බව කිව්වත් එම ප්‍රකාශයේ වෙනදා තිබූ ජවය නැත. නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණවලට තමන් සූදානම් බව පොහොට්ටුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ විට තමන්ගේ අපේක්ෂකයා එළියට එන බවද වරින්වර ප්‍රකාශ විය. එසේ වුවද හිටපු ජනපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයටත් හිටපු ඇමැතිවරුන් වන බැසිල් සහ චමල්ටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට සහභාගි වූ පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු නිලධාරීන්ටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු ආර්ථිකය බංකොලොත් බවට පත් කිරීමට වගකිවයුතු බවට තීන්දුව පොහොට්ටුවේ ඡන්ද වැඩසටහන තරමක් අවුල්කර තිබේ. එයට සමගාමීව සජිත්ගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුව තුළ මහින්දලාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ගෙන ආ යෝජනාවට පොහොට්ටු මන්ත්‍රීවැන්ගේ දැඩි විරෝධය එල්ල වූයේත් එහි ආදීනව පිළිබඳ හොඳ වැටහීමක් තිබීම හේතුවෙනි. දැන් සජබ එය මහජනතාවගේ අත්සන් ගන්නා ව්‍යාපාරයක් බවට පත්කර තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් හිටපු ජනපති මහින්ද දීර්ඝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රටේ බංකොලොත් භාවයට වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුව බවට ප්‍රබල චෝදනාවක් කර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ''මා 2015 වසරේදී රටට දායාද කර ගියේ ශක්තිමත් ආර්ථිකයක් බව ඉතිහාසයේ සටහන් වී තිබෙනවා. එහෙත් 2015න් පසු 2019 දක්වා කාලයේදී අසල්වැසි රටවල් සියල්ල ජවසම්පන්න ආර්ථික වර්ධනයක් අත්පත් කර ගනිද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වුණා.''
මේ දීර්ඝ නිවේදනය තුළ මේ කාලසීමාව තුළදී රට අත්පත් කරගත් ආර්ථික වර්ධන  වේගයත්, විදෙස් ණය ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන සංඛ්‍යලේඛන සහ දත්තද ගැබ්වී තිබිණි. එහි නඩු තීන්දුව පිළිබඳ කිසිවක් සඳහන් නොවූ අතර ලංකාවේ වත්මන් අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ උණුසුම් සාකච්ඡාවක් මේ දිනවල පවතින බව පමණක් එහි සඳහන් විය. 

දැන් මේ ප්‍රකාශය පොහොට්ටුවේ රනිල් ජනාධිපතිගේ ආණ්ඩුව සම්බන්ධ නිල මතය වශයෙන් පිළිගත හැක. එසේ නම් මේ නිවේදනයෙන් පහර ගසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති 2015-2019 අතර කාලයේ අගමැති වශයෙන් සිටියදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි. එසේම එම නිවේදනය අවසන් කර ඇත්තේ 2015 ජනවාරියේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරුද්දක් ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වනු ඇතැයි කියමිනි. ඒ කියන්නේ යළිත් වතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාවක් නොදිය යුතු බව නොවේද?

සාමාන්‍යයෙන් රාත්‍රියේ දිගු නින්දක සිහින දකින යාමය හඳුන්වන්නේ තුන්වැනි යාමය හැටියටය. එහෙම නම් මේ රටේ ජනතාව දකිමින් සිටින්නේ ආණ්ඩුවේ තුන්වැනි යාමයද? රොෂාන් රණසිංහගේ පට්ටම ගැලවීමත් මහින්දගේ නිවේදනයත් පෙන්වන්නේ මේ සිහිනවල අවසානයේ ආරම්භයද? ඒක හරියටම කියන්න නම් ඊළඟට පවත්වන ජාතික මැතිවරණයට රට සූදානම් වන මොහොත උදාවන තුරු බලා සිටිය යුතුය.

- ශශීන්ද්‍ර

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00