2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ඒ බදුත් මේ බදුත් හැර තවත් බදු තිබේද?

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

අධ්‍යාපන අමාත්‍යවරයකු වැට් බදු ගැන පාර්ලිමේන්තුවේදී කතා කිරීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයකි. මේ අසාමාන්‍ය කටයුත්ත පසුගියදා අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සිදුකෙරිණි. එයද සිදුවූයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේ නව වැට් බදු සංශෝධනයත් සමඟ සියලුම භාණ්ඩ වැට් බද්දට යටත් කෙරෙනු ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බවය. පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා කියා තිබිණි.

මේ රටේ වැට් බදු ප්‍රශ්නයේ බරපතළකම අඩු තරමින් එක අමාත්‍යවරයකු හෝ තේරුම් ගෙන සිටීම ගැන අපි සතුටු වෙමු. ඔහුට දැනෙන්නේ පාසල් දරුවන් තවදුරටත් වැට් බදු හරහා පීඩනයට පත් නොවිය යුතු බවය. මේ වනවිටද සපත්තුවේ මේස් දෙකේ සිට කරේ එල්ලාගෙන යන පාසල් බෑගය ඇතුළේ තිබෙන පොත්පත් සහ පාසල් උපකරණ දක්වා සියලු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබියදී ඒ මතට තවත් වැට් බද්දක් අතහැරියොත් ළමයාගේ අධ්‍යාපනය එතැනින් හමාර වන්නටත් ඉඩ තිබෙන බවට අමාත්‍යවරයාට නොදැනුණා නම් ඒ ගැන පුදුම විය යුතුය.

ගහන ගහන හැම වැට් බද්දෙන්ම පීඩා විඳින මවුපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපන වැඩට තවත් බද්දක් ගැසීම යනු පාසල් යන වයසේ දරුවන් සිටින සෑම පවුලක්ම අසීමිත පීඩනයකට ඇද දැමීමකි. එය ගෙදර දොරේ පරිසරය පමණක් නොව පාසලේ පරිසරය පවා දරුවන්ගේ මනසින් ඈත් කිරීම දක්වා දිව යා හැකි බව හැරෙන හැරෙන පැත්තට බදු ගැසීමෙන් තොරව අනාගතයක් නැතැයි සිතන දේශපාලන නායකයන් තේරුම් ගත යුතුය. කොතරම් බදු ගැසුවත් ඒවා ගෙවා ගැනීමට තරම් ආදායමක් නොමැති පිරිස දිනෙන් දින වර්ධනය වන තත්ත්වයත් තුළ තවදුරටත් වැට් බදු ප්‍රතිශතය ඉහළ දැමීම යනු එයින් අපේක්ෂිත ආදායම් ඉලක්ක පවා පීලි පැනීමට උඩ ගෙඩි දීමකි. මෙය තේරුම් ගැනීමට විශාරද ආර්ථික දැනුමක් අවශ්‍ය නැත.

වැට් බදු අලුත් සංශෝධනය සම්බන්ධ විවාදය මේ ඉරිදා (10) පවත්වන බවත් එහිදී පාසල් දරුවන්ගේ පොතපතට උපකරණයට බදු වැටෙන්නේදැයි සැකහැර දැනගත හැකිවනු බවත් අමාත්‍යවරයාගේ පිළිතුරේ සඳහන් විය. මෙතෙක් කාලයක් පාසල් දරුවන්ගේ පොත්පත්වලට වැට් බද්ද පැනවීමක් සිදුවී නොතිබිණි. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ වැට් බද්ද පළමු වතාවට පාසල් දරුවන්ගේ පොත්පත්වලට ආදේශ කිරීමට යන බවත් දැන ගැනීමට ඇති බවය. එවැන්නක් සිදුවුවහොත් එය අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ අවදානමකට ලක් කිරීමක් බව නිසැකය. එය එසේ සිදු නොවනු ඇතැයි අපිදු ප්‍රාර්ථනා කරමු.

බදු අය කිරීම සහ අයකරන බදු වැඩිකිරීම පිළිබඳ පොදු මහජනතාව තුළද කිසියම් අවබෝධයක් තිබෙන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. මේ බොහෝ දෙනා රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් බදු කිරීම පිළිබඳ දැඩි විරෝධයක් පළ නොකරති. එහෙත් මෙහි සීමාවක් තිබීම අවශ්‍යය. අසීමිත ලෙස බදු වැඩි කිරීම ජනතාව අසීමිත ලෙස පීඩනයට පත් කිරීමකි. මේ පීඩනය දරාගත නොහැකි මට්ටමකට පත්වීම යනු ඉතා අහිතකර ප්‍රතිඵල ඇති කිරීමට දොරහැර දීමකි. ආර්ථිකය හදා ගැනීමට බදු වැඩි කිරීම හැර වෙනත් කළ හැකි දෙයක් නොමැතිය යන අදහස පෙරදැරි කරගෙන කටයුතු කිරීමෙන් සියලු ගැටලු විසඳා ගැනීමට හැකියාවක් නැති බව ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් හෝ නොදන්නා අයකු වුවද දැන සිටී. එසේ නම් ආර්ථිකය ගැන විශාරද දැනුමැති ප්‍රතිපත්ති තීරකයන්ට ඒ බව අවබෝධ කර ගැනීමට දුෂ්කර විය නොහැක.

මේ රටේ ආර්ථික අර්බුදය හමුවේ උද්ධමනය ඉහළම මට්ටමකට පැමිණියේය. පසුව එය ඍණ අගයකට පත්විය. මෙය මතභේදාත්මක වුවද එහිදී ප්‍රකාශ වූයේ මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් උපරිම ලෙස වැඩි වී ඇති බැවින් තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යාමකට අවස්ථාවක් නැති බවය. මේ හේතුවෙන් බඩු මිල දිගටම වැඩිවීම ඍණ අගයකට මාරු විය. නමුත් එයින් ප්‍රකාශ වන්නේ රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් පැරණි තත්ත්වයට පැමිණ ඇතැයි නොවන බව වටහාගත යුතුය.
වැට් බදු තව තවත් ඉහළ දැමීමෙන්ද සිදුවන්නේ පොදු මහජනතාවගේ එකී මිලදී ගැනීමේ ශක්තිය තවදුරටත් පහළ වැටීමය. වැට් බදු වැඩි කිරීම හරහා බලාපොරොත්තු වන ආදායම් වර්ධනයක් එයින් ඇතිවන්නේ යැයි සිතීම මුළාවකි.