පහුගිය දවස්වල දිගින් දිගටම ප්‍රකාශ කෙරුණේ ලබන වසර මැතිවරණ වසරක් වන බවය. ඒක එහෙම නොවෙන බව කවුරුත් කිව්වේ නැත. හැබැයි පාර්ලිමේන්තුවේ වැඩ සිදුවෙන ආකාරයට අනුව විපක්ෂය කොහොම වෙතත් ආණ්ඩු පක්ෂය නම් වැඩ කරන්නේ ඡන්දයක් ලබන වසරේ තබා තව වසර කිහිපයකටවත් නොමැති ගාණටය.
මේ ඉරිදා (10) පාර්ලිමේන්තුවේදී සභා සම්මත වීමට නියමිත නව වැට් බදු සංශෝධන පනතට අනුව රටේ වැට් බදු නොවදින කිසිම ක්ෂේත්‍රයක් තිබෙන බවත් පෙනෙන්නේ නැත. ඡන්දයකට සූදානම් වන ආණ්ඩුවක් කවදාවත් නොකරන කවදාවත් නොගත් තීරණ ගැනීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරගෙන යයි. මේ වසරේ මුලසිටම විදුලිය ගාස්තුව වැඩි කළේ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයකටය. එය රතු බිල පමණක් නොව ජනතාවගේ රතු කට්ට පවා පනින තරමට ඉහළ ගියේය. රතු බිල් හේතුවෙන් පාරිභෝගිකයන් ලක්ෂ 05කට අධික සංඛ්‍යාවක් වරින් වර විදුලිය විසන්ධි වීම් වලට ගොදුරු වීමට සිදුවිය. විදුලිය විසන්ධි කෙරුණු ස්ථාන අතර විහාරස්ථාන පවා තිබිණි. දේශපාලන වශයෙන් ඉතා බලසම්පන්න විහාරස්ථානයක් වශයෙන් සැලකෙන නාරාහේන්පිට අභයාරාමයේද වරක් විදුලිය විසන්ධි කෙරිණි. නිසි දැනුම්දීමකින් තොරව සිදුකෙරුණු මේ ක්‍රියාවට එරෙහිව කටයුතු කරන බවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශයක්ද කළහ.
ඒ කාලයේ ඡන්දයකට හත් ගව්වක් තබා රටේ තිබුණේ ඡන්ද සූදානමකිනි. බජට් එකෙන් වැටුප් වැඩි කළා පමණක් නොව බදු අඩු කිරීම්ද සිදුවිය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදා හැරීමට පියවර ගනු ලැබීය. විශේෂයෙන් ගොවි ජනතාවට බලපාන පොහොර, වතුර සහ වී මිලදී ගැනීම වැනි කටයුතුවලට මුල් තැනක් දීමට කටයුතු යෙදිණි. රුපියල් 350ට පොහොර මිටියක් ලබාදීම එවැනි එක් ජනප්‍රිය ඡන්ද ගුණ්ඩුවක් විය. විදුලිය බිලට අත තිබ්බේ කලාතුරකිනි. එහෙම කළත් නොකරම බැරි තැනට වැටීමෙන් පසුය. ඒ වගේම ජනතාවට බොහෝදේ නොමිලේ ලබාදෙන ව්‍යාපෘතිද ක්‍රියාත්මක විය. ටකරං තහඩු, වතුර මෝටර් පවා ගොවීන්ට බෙදාදෙනු ලැබිණි.
අද ඒ වෙනුවට සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. බජට් එකෙන් රජයේ සේවකයන්ට වැටුප රුපියල් දහදාහකින් වැඩි කළත් එහි වටිනාකම වැට් බදු හේතුවෙන් හොඳටම බාල්දු වී තිබේ. පෞද්ගලික අංශ සේවකයන් ඉන්නේ වැටුප ලැබේද ආයතනය වැසේද තරමේ අසහනයකිනි. ඇඟලුම් කර්මාන්තයේ පමණක් මේ වනවිට 40%ක පමණ ආදායමක් අඩුවී ඇති බවත් ආයතන සංඛ්‍යාවෙන් පහෙන් එකක් වැසී ගොස් හෝ වැසීයාමට ඉතා ආසන්න තත්ත්වයක පවතින බවත් සඳහන් වෙයි. එවැනි තත්ත්වයක් පවතිද්දී ඊළඟ වැට් බදු වැඩිවීම හරහා තවත් වටයකින් විදුලි බිල වැඩිවීමට නියමිතව තිබියදී පෞද්ගලික අංශයෙන්ද තම සේවකයන්ට වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා සිටීම කොතරම්දුරට පල දරයිද යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
ඒ කාලේ තිබුණේ ඡන්ද කෙරුවාවකි. ඒක මේ කාලේ ඡන්ද කයිවාරුවක් පමණක් වෙයිද? 2015ට පෙර මහින්දගේ කාලේත් චන්ද්‍රිකාගේ කාලේත් වසර දෙක තුනකට වරක් ඡන්දයක් තිබුණි. පළාත් පාලන, පළාත් සභා ඡන්ද තමන්ට වාසි වෙලාවේදී පැවැත්වීම මේ බොහොමයක් නායකයන්ගේ දේශපාලන උප්පර වැට්ටියක් විය. මහින්දගේ කාලයේ විශේෂයෙන් පළාත් පාලන ඡන්ද එක් වරකට තිබුණත් පළාත් සභා ඡන්දය නම් තැබුවේ කෑලි කෑලි හැටියටය. එයින් යූ.එන්.පී.යට වැලේ වැල් නැතුව ගියේය. කඩින් කඩ ඡන්දය තියන්න එපා කීම ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසක් බව කියා මහින්ද පෙරළා තමන්ට දමා ගසන බවද යූ.එන්.පී.ය දැන සිටියේය. හැම ඡන්දයකටම ඉදිරිපත් වී පරාජය විඳිනවා හැර වෙනත් පියවරක් ගැනීමට යූ.එන්.පී.යට අවස්ථාවක් නොතිබිණි.
එහෙම කෑලි කඩ කඩා කරපු ඡන්ද කෙරුවාවේ ප්‍රධාන අරමුණ වුණේ පහසුවෙන් ජය ලබාගෙන ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමය. හැබැයි මේ කෙරුවාවේ තවත් යටි අරමුණක්ද මහින්දට තිබුණි. එහෙම ඡන්ද දිනන කොට විපක්ෂය කෑලිවලට කැඩෙන බව ඔහු දැන සිටියේය. සාමාන්‍යයෙන් අවුරුදු 06කට වරක් ජනාධිපතිවරණයක් අවුරුදු 05කට වරක් මහ මැතිවරණයක් තබන විට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙනි. එහෙත් අවුරුදු දෙකකට වරක් කුමක් හෝ ඡන්දයක් තබන විට ඒ හැම වෙලාවෙම සැලුන් දොර ඇරෙන වැහෙන බවද මහින්ද හොඳටම වටහාගෙන තිබුණි. මහින්දගේ දේශපාලන කෙරුවාව අතරේ යූ.එන්.පී.ය දියවුණේ එහෙමය.
එහෙත් මේ වැඩේ හැමදාම කළ නොහැකි විය. පිටින් එන කට්ටිය වැඩිවීම මහින්ද නායකත්වය දුන් එජනිස කට්ටිය අතරේ දැඩි අසහනයක් ඇති කළේය. මේ බව මහින්දට දැනුණත් ඔහු ඒ වගක් එච්චර ගණන් ගත්තේ නැත්තේ ආණ්ඩුව ශක්තිමත්ව පවතින තාක් කවුරුවත් ආණ්ඩුව අතහැර නොයන බව ඔහුගේ තෙම්පරාදු මොළයට හොඳට වැටහී තිබුණ බැවිනි.
හැබැයි දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතිවාක් මෙන්ම &සැලුන් දොර න්‍යායද* සදාකාලික නැති බව මහින්ද තේරුම් ගත්තේ නැත. ඒ බව තේරුම් ගන්නා විට පොහොට්ටුවේ මහා ලේකම් මෛත්‍රීපාල තම පක්ෂය හැරගොස් විරුද්ධ පක්ෂයේ ජනාධිපති සටනේ පොදු අපේක්ෂකයාද වී සිටියේය. ඇතුළේ සිටි සමහර පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දොස් ඇසීමටද මහින්ද සිදුවිය. මහින්ද සමඟ රුඳුණු සමහර ජ්‍යෙෂ්ඨයන් එහෙම හිටියේ මහින්දට තිබූ ආදරය නිසා නොව ඔවුන්ට යූ.එන්.පී. ඇතුළු විපක්ෂයේ පිළිගැනීමක් නොලැබීම හේතුවෙනි. අපායට ගියත් මුලින් යා යුතු න්‍යාය අනුගමනය කළ පිරිස ගොඩගිය අතර සෙසු පිරිසට සිදුවුණේ මහින්දගේ පැත්තට හමන සුළඟක් එනතුරු බලා සිටීමය. ඒ සුළඟ එන්නත් කලින්ම මෛත්‍රීපාල - රනිල් ආණ්ඩුව බිඳී වෙන්වූ අතර ඊළඟ ජනාධිපතිවරණය තුළ සැලුන් දොරකට පවා ඉඩක් නොතිබිණි. තිබුණේ ඒ තරම් තනි අශ්වයාගේ තරගයකි. මේ හැම පසුබිමකම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉටුකළේ ප්‍රේක්ෂකයාගේ චරිතයයි.
ඔහු මෛත්‍රීපාලගේ අගමැති වී පසුව විරසක විය. ඊළඟට අගමැතිකමෙන් නෙරපා හරිනු ලැබීය. එය උසාවි නියෝගයකින් ආපසු ලැබුණත් ගෝඨාභය රුල්ලට ඒ ඔක්කොම ගහගෙන ගියේය. යූ.එන්.පී.යට ඉතිරි වුණේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. යූ.එන්.පී.යේ සෙසු ඡන්ද සජිත්ගේ ඔඩොක්කුවට වැටී තිබුණි. එහෙත් රනිල් පසුබැස්සේ නැත. ඔහු කාලයක් පසෙකට වී සිට පසුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරය ලබාගෙන පසුව අගමැති වී ඊළඟට ජනාධිපතිද විය. දැන් රටේ ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවශ්‍ය ආකාරයට ඒ මේ අත හරවමින් සිටියි.
ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබල ආරක්ෂකයකු වශයෙන් රටේ පමණක් නොව මුළු ලෝකයේ පිළිගැනීමට ලක්ව සිටි නායකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් රට පාලනය කිරීමේදී ඇතැම්විට එයින් බැහැරව ප්‍රකාශ සිදු කරන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. පුංචි ඡන්දය කල් දැමීමේදීත් ඉන්පසුව සෙසු ඡන්ද පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේදීත් ව්‍යවස්ථාදායක සභාව, අධිකරණය සහ තමන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීත් මේ බව පැහැදිලි වන බව එම මතය දරන්නෝ ප්‍රකාශ කරති. ටී.එන්.ඒ. මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරන බවය. ඒ බැව් ඔහු අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබිණි.
රටේ ජනාධිපතිකම තමා බාරගත්තේ රටේ කවුරුත් ඒක බාරගන්න සූදානම් නොවූ අවස්ථාවක බව රනිල් වික්‍රමසිංහ මහතා නිරතුරුවම කියයි. ඔහු එයින් පහර ගහන්නේ සජිත්ට බව ප්‍රකට රහසකි. තමා රටේ ආර්ථිකය වැටී තිබූ අවදානමෙන් ගොඩගෙන නිවැරදි මගට යොමුකර ඇති බව දැන් කියමින් සිටියි. පැරණි ක්‍රමවලට අනුව තීරණ ගෙන රට ගොඩගත නොහැකි බවද ඔහු කියයි. පාඩු ලබන ආයතනවල බර රටේ ජනතාව මතට පැටවීම වැරදි බවත් ඒවා ලාබ ලැබිය හැකි ආයතන බවට පත් කරගත නොහැකි නම් පෞද්ගලීකරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා දිගටම ප්‍රකාශ කරයි. ජනතාව පිනවීමට ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් රට මේ තරම් ආර්ථික අර්බුදයකට ලක්වූ බවත් ඒ ආකල්ප වෙනස් කරගත නොහැකි නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් ඔහු කියයි. ඒ අතරම මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ආර්ථිකය ගොඩගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත් විපක්ෂය එයට සහාය දැක්විය යුතු බවත් කියයි.
මේ කතාවල හරය නම් මහින්දලා කොතරම් බලා සිටියත් රටේ ජනතාව පිනවීමටත් ඡන්දයක් බලාගෙනත් තීන්දු තීරණ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැති බවය. ජනාධිපතිට එහෙම ස්ථාවරයක සිටිය හැකි වුණත් මහින්දලාට එහෙම ඉන්න බැරිය. ඔවුන්ගේ දේශපාලනය දුවන්න නම් මොන යම් හෝ මැතිවරණයකින් තමන්ට තිබෙන බලය පෙන්විය යුතුය. රනිල් ජනාධිපතිගේ පාලනය යටතේ තමන්ට කොතරම් රුකවරණයක් තිබුණත් ඉදිරි දේශපාලන ගමනේදී තමන්ගේ උරුමක්කරුවන්ට තිබෙන අයිතිය ආරක්ෂා කර දීම ද මහින්දගේ අරමුණකි. මේ අරමුණත් සමඟ රනිල් ආර්ථිකය පිළිබඳ ගන්නා දැඩි තීරණ එක්ක ගැටෙන්නට සිදුවීම නියතයකි.
මෙහෙම ගැටුමක් ඇතිවෙයිද කියන එක හොඳටම බලාගත හැකි වන්නේ නව වැට් බදු සංශෝධන පනතට මහින්ද නායකත්වය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගන්නා ක්‍රියාමාර්ගය අනුවය. සියලු භාණ්ඩ නව වැට් බදු සමඟ ඉහළ යන බව දැන දැනම ඔවුන් එයට සහාය දෙන්නේ නම් එහි තේරුම ඡන්දයක් තබනවාට වඩා දැනට ඉන්න විදියට බලයේ හැකි තරම් කාලයක් රුඳී සිටීමට ඔවුන්ට අවශ්‍ය බවය. බලාගෙන ගියාම පෙනෙන්නේ ජනාධිපති රනිල්ගේ අදහසක් ඒකම බවය.
I ශශීන්ද්‍ර