ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි විමර්ශන කණ්ඩායම 2024 මාර්තු මාසය වන විට මෙරටට පැමිණීමට නියමිතය. නව වසර උදාව නිමිති කරගෙන රට පුරා පවතින ප්‍රබෝධය කෙසේ වෙතත් අමිහිරි සිද්ධි අලුත් වටයකින් පැන නැගෙනු ඇති බව පෙනෙන්නට තිබේ. ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක ණය මුදලක් වසර හතරක් තුළ වාරික වශයෙන් සහන පොලී අනුපාතයක් යටතේ සපයන ඔවුන් සමඟ එකඟ වූ කොන්දේසි නිසි පරිදි අනුගමනය කෙරේ ද යන්න වරින් වර සලකා බලයි. එම නිරීක්ෂණය සඳහා විශේෂඥ කණ්ඩායමක් දෙවැනි වතාවට ලබන මාර්තු මාසය වන විට රටට පැමිණෙන අතර ඔවුන් ඉදිරිපත් කරන වාර්තා පදනම් කරගෙන ණය මුදලේ තුන්වැනි වාරිකය නිදහස් කරනු ඇත.
සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව වැනි රටවල් සමඟ කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යොදවන බවක් අනාවරණය නොවේ. රට එන කණ්ඩායම සිය පරිණතභාවය දැක්වීම සඳහා කොන්දේසිවල සියලු පැති තදින් නිරීක්ෂණය කරන අතර එය දරැණු බලපෑමක් ඇති කරයි. දේශපාලන හා සමාජ වාතාවරණය ගැන සලකා මධ්‍යස්ථව ක්‍රියා කළ හැකි විශේෂඥයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධ අභ්‍යන්තරය වටහා ගත හැකිය. වටපිටාව තේරැම්ගත හැකි පිරිසක් සමඟ ගනුදෙනු කරන්නට ශ්‍රී ලංකාවේ නිලධාරීන් ද උනන්දු නොවීම රටට පැන නැගී ඇති ආර්ථික ප්‍රශ්න උපායශීලීව විසඳා ගැනීමේ දී අමතර බාධාවක් වී තිබේ.
► අභ්‍යන්තර වටපිටාව නොදන්නා විශේෂඥයෝ
ශ්‍රී ලංකාව පසුගිය දශකය ඇතුළත, පහළ ආර්ථිකයක සිට මැදි ආදායම් තැනකට පත් වූ අතර උද්ගත වූ හදිසි තත්ත්ව හේතු කොටගෙන විදේශ ණය ගෙවාගත නොහැකි විය. අයවැය පියවාගත නොහැකිවීමේ විපාක වශයෙන් අභ්‍යන්තර ණය ගැනීමට හා ඒවා තාවකාලිකව පියවන පියවරක් වශයෙන්, සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම කරගෙන ගියේය. එම පියවර ආර්ථිකය බෙලහීන කළේය. අධික උද්ධමන අනුපාතිකය, පොලී අනුපාත ඉහළ යෑම සහ රැපියලේ අගය වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම මෙහි ප්‍රතිඵලයක් විය. මේවායේ විපාක මහජනතාට තදින් දැනුණු අතර ආනයන සඳහා ඇති වූ බාධා හේතු කොටගෙන මහජනතාව නොසන්සුන් තත්ත්වයකට පත් වූ බව ද සඳහන් කළ යුතුය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පළමු වටයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය බෙලහීන කරන ලද අතර දෙවැනි වරට තදබල ප්‍රහාරයක් එල්ලවූයේ කොවිඩ් හේතු කොටගෙනය. ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම ලොක්ඩවුන් වන අතරවාරයේ බව මතක් කළ යුතුය. කොවිඩ් හේතු කොටගෙන ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් 168 කට ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට ආසන්න හදිසි සහන ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාව ණය පාලනය කරන ස්ථාවරයක සිටි අතර එවකට සිටි ආණ්ඩුව නැවත ණය නොගෙන ආර්ථිකය හදාගැනීමට උත්සාහ කළේය. එය බිඳ වැටිණ. ජනාධිපතිවරයාට පමණක් නොව, ආණ්ඩුවට ද ඉල්ලා අස්වෙන්නට සිදුවිය.
ශ්‍රී ලංකාව නැගෙමින් තිබුණු ඉහළ ආර්ථික මට්ටම ගැන නොදන්නා මූල්‍ය අරමුදලේ ආධුනික විශේෂඥයෝ ඔවුන් දන්නා සියලුම සමීකරණ එකතු කර මෙරට ආර්ථිකය හදන්නට උත්සාහ කරමින් සිටිති. රට නැවත යථා තත්ත්වයට පත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ සමත්භාවයක් නොව ඔවුන්ගේ හපන්කමක් බව පෙන්වන්නට උත්සුක වීම මෙහි අවාසිය බව ද සඳහන් කළ යුතු වේ.
► රටට හරියන සැලැස්මක්?
රටක් අර්බුදයකට පත් වූ පසු එහි විපත මහජනතාවටය. ආණ්ඩුව කරගෙන යන ස්ථාවර කරන ක්‍රියාමාර්ගවල වේදනාව ජනතාවට සෑහෙන පීඩනයකි. ඉන්ධන මිල, විදුලිය ගාස්තු, අධික බදු, වැට් බද්ද නැංවීම ඉහිලිය නොහැකි බරක් ඇති කර තිබේ. විපතකට පත් වූ පසු ඇඟිලි දිගු කරමින් චෝදනා කිරීම පහසුය. මහජන නියෝජිතයන් සියලුම දෙනා එකතු වී පියවර ගැනීම අපහසුය. එය ශ්‍රී ලංකාවේ ස්වභාවයයි. ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්ව සම්මුතියකට පැමිණියේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කණ්ඩායම්වල බලපෑම් බාර නොගෙන මෙම අර්බුදය මෙයට වඩා පහසුවෙන් පාලනය කළ හැකිය. නමුත් තිස් අවුරැද්දක් රට විනාශ කළ ත්‍රස්තවාදය පරාජය කරන සැලැස්මකට එකඟ නොවූ දේශපාලන පක්ෂ රට ආර්ථික අර්බුදයකට පත් වූ පසු පොදු විසඳුමකට සූදානම් නොවීම කිසිසේත් අරැමයක් නොවේ.
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විපත ආණ්ඩුවට ඡන්දය දුන් පිරිසට පමණක් නොවේ. සමස්ත රටවැසියන්, ජාති, ආගම් හෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව සංකීර්ණ ගැටලුවලට මුහුණ පා ඇත. බලය ඉල්ලන දේශපාලන පක්ෂවලට ද මෙය අනාගතයේ දී තනිව විසඳිය හැකි තත්ත්වයක් නොවේ. ඇමෙරිකානු ඩොලර් බිලියන තිස් පහක් ණය ගෙවීම, දේශීය ණය වශයෙන් රැපියල් ට්‍රිලියන ගණනක් පියැවීම, නිෂ්පාදනය වැඩි කරන අතර අලුත් ආයෝජන ලබාගැනීම කිසිම ආණ්ඩුවකට තනි අතින් තීරණ ගෙන ක්‍රියාත්මක විය නොහැක. විපක්ෂයේ සහාය ද අවශ්‍ය වේ.
මෙම මොහොතේ නව වසරක, අලුත් බලාපොරොත්තු ඇතිකරන මහජන නියෝජිතයන් වශයෙන් බලයට පත්වන ඡන්ද සටන වෙනුවට තමන් බලයට පැමිණි පසු වගකීම් අඩු කරගත හැකි පියවරක් වශයෙන් හෝ පොදු තීරණවලට පැමිණියහොත් රටට වටිනා අවස්ථා ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තද බලපෑම් ලිහිල් කරගත හැකිය.
► දෙවැනි නිරීක්ෂකයන්ගෙන් බලපෑම්
පළමුවරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂකයන් එන වකවානුව වන විට රටට පනවන ලද කොන්දේසිවලින් හරි අඩකට වඩා ප්‍රමාණයක් කිසිසේත්ම ඉටුකර නොතිබුණි. නියෝජිතයන් එන සූදානම තුළ වහාම දූෂණ විරෝධී පනත සම්මත කර ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධව අභ්‍යන්තර තීරණයක් ද ගත්තේය. දෙවැනි නියෝජිත පිරිස එන විට විදේශීය ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබීම අනිවාර්ය කරැණකි. තවමත් විදේශීය ණය හිමියන්ගේ සාකච්ඡා අවසන් නැත. ණය ආපසු ගෙවීම කළ හැකි දිනයක් ගැන සලකුණක් නොපෙනේ. මෙය ද බටහිර සමාජය හා චීනය අතර පවතින ජාත්‍යන්තර ගැටුමකට ශ්‍රී ලංකාව මැදිහත්වීමේ ප්‍රතිඵලයකි. චීනය තමන්ට ආවේණික රටාවකට ණය ආපසු අය කර ගැනීමේ ක්‍රමයකට සූදානම් අතර ඇමෙරිකාව, ඉන්දියාව හා ජපානය වැනි රටවල ණය සම්බන්ධව වෙනම තීරණයක පසු වේ. කෙසේ වෙතත් මෙම අර්බුදය විසඳාගැනීමට දුරදර්ශී ප්‍රතිපත්ති අවශ්‍ය කෙරේ. සෑම රටක් සමඟම විධිමත්ව සාකච්ඡා කර ඉක්මන් තීරණවලට එළැඹීම, දෙවැනි කණ්ඩායම ණය වාරිකවල ප්‍රගතිය ගැන සොයන්නට කලින් සිදුවිය යුතු වේ.
පෞද්ගලීකරණය තවත් වැදගත් කඩඉමකි. රජය සතු ව්‍යවසායවල බර අඩු කරන පියවරක් වශයෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කළ යුතු බව මූල්‍ය අරමුදල දක්වා ඇත. මෙය අලුත් යෝජනාවක් නොවේ. පසුගිය දශක හත තුළ දහසය වතාවක්, මූල්‍ය අරමුදලෙන් ණය ගෙන ඇති ශ්‍රී ලංකාව මෙම දහ හත්වැනි වතාවටත් එම කොන්දේසිය ඉදිරියේ අසරණව සිටියි. එක්සත් ජාතික පක්ෂ ජේ.ආර්. ආණ්ඩුව බුහාරි හෝටලයේ සිට පෞද්ගලීකරණය අරඹන්නේ පමණක් නොව ප්‍රේමදාස ආණ්ඩුව ඔබසතුකරණය යනුවෙන් නිර්මාණය කළේ ද, මෙම සැලැස්ම බව සඳහන් කළ යුතුය. චන්ද්‍රිකා ආණ්ඩුව එය මානුෂික ක්‍රමයකට ගෙන යන්නට උත්සාහ කළේය. රාජපක්ෂ ආණ්ඩුව පැරුණි පාඩම්වලින් ඉගෙන නොගෙන පෞද්ගලීකරණය කළ ආයතන පවා ආපසු රජයට පවරා ගත් බව ද මතක් කිරීම අවශ්‍යය. මෙම අඩු වැඩි ක්‍රියාකාරකම්වල අවසාන ප්‍රතිඵලය මහජන වියදමින් නඩත්තු වන රජයේ ව්‍යවසාය බව අවධාරණය කළ යුතු වේ. මේවායේ කාර්යක්ෂමතාව හා දෙස් විදෙස් ආයෝජන ලබාගැනීමේ පදනමක් වශයෙන් පෞද්ගලීකරණය සුදුසු පියවරක් බව දේශපාලන කණ්ඩායම් හා වෘත්තීය සමිති වටහා නොගැනීම අභාග්‍යයකි.
► තවත් ගමන් කළ යුතු දුර
පළමු හා දෙවැනි වාරික වශයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 670 ක් පමණකි. ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් තර කරගත යුතු බව දෙවැනි නිරීක්ෂණ කණ්ඩායම අනතුරැ අඟවන කරැණකි. මිලියන හැත්තෑවක් ලැබීම පමණක් විදේශ සංචිත වැඩි කරන හේතුවක් නොවේ. පසුගිය ඔක්තෝබර් මාසය වන විට අපනයන සියයට දහ හතරක ප්‍රතිශතයකින් පහත වැටිණ. රටට විනිමය උපයන අපනයන අංශ ප්‍රමාණවත් නැත. සංචාරක කර්මාන්තය හා විදේශ රැකියාවල නිරත ලාංකිකයන් එවන විනිමය පමණක් ශක්තිමත් විදේශ වත්කම් නිර්මාණය නොකරන බව සඳහන් කළ යුතු කරැණකි. රටට අවශ්‍ය දේ ආනයනය කිරීම සඳහා විනිමය අවශ්‍ය අතර දැනටත් ආනයන පාලනය කර ආර්ථිකය පවත්වාගෙන යයි. ආනයන පාලනය කිරීම හේතු කොටගෙන රේගු බදු අඩුවන අතර ඒවා පියැවීම සඳහා ලබන 2024 වසරේ සිට වත්කම් බද්දක් ද හඳුන්වා දෙන බව මතක් කළ යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය අනුව රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 18 දක්වා ගෙන ආ යුතු අතර ආදායම් මාර්ග නැතිනම් බදු පනවන්නට සිදුවේ. උපයන විට බදු ගෙවා ලබන ආදායමෙන් ඉඩම මිල දී ගැනීමේ දී බදු ගෙවන ජනතාව එම ඉඩම සඳහා පළාත් පාලන ආයතනවලට අවුරැද්දක් පාසා වරිපනම් බදු ද ගෙවමින් සිටිති. එවැනි පසුබිමක් තුළ නැවත වාරයක් එම දේපළ මත වත්කම් බද්දක් ගෙවන්නට සිදුවීම කොපමණ අපහසුවක්ද? මෙම බලකිරීම මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව වන අතර මේවායෙන් ගැලවෙන්නට රටට දැක්මක් අවශ්‍යය. 2024 වසරේ පවත්වන මැතිවරණ මෙම දැක්ම කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ කොන්දේසි ද වෙනස් කරන අවදානමක් ඇති බව ද මෙහිදී සඳහන් කළ යුතු වේ. රටට එන බාහිර, ආධුනික විශේෂඥයන්ට අනුව රට කරවන තත්ත්වය වෙනස් කිරීමට අප සියලු දෙනාටම වගකීමක් ඇති බව පක්ෂ, විපක්ෂ සියලු දෙනා මැනවින් සිහි තබාගත යුතුය.
I සාරා කන්දෙගොඩ