2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කෘතහස්ත දේශපාලනය

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 159

අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා තේරී පත්වෙන්නේ ජනාධිපතිවරණයකින් නෙවේ. පාර්ලිමේන්තුවට ලැබුණු මහජන වරම භාවිත කර එවකට සිටි අග්‍ර විනිශ්චයකාර නෙවිල් සමරකෝන් මහතා ඉදිරියේ කොළඹ ගාලු මුවදොර පිටියේදී දිවුරුම් දී ජේ.ආර්. පළමු විධායක ජනාධිපති විය. 77 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජේ.ආර්. නායකත්වය දුන් යූ.එන්.පී.යට හයෙන් පහක බලයක් ලැබුණි. ඒත් ප්‍රතිශතයක් හැටියට ජේ.ආර්.ගේ යූ.එන්.පී.යට ලැබී තිබුණේ 51%ක් පමණි.

මේ ගණන් ජේ.ආර්. හොඳට මතකයේ තබා ගැනීමේ ප්‍රතිඵලයක් වුණේ ජනාධිපතිවරණයක් පවත්වා විධායක ජනාධිපතිවරයකු පත්කර ගැනීමට පාර හදා ගැනීමයි. ජේ.ආර්.ගේ ප්‍රතිවාදීන් ඒක හැඳින්වූයේ යූ.එන්.පී.ය හැමදාම බලයේ සිටීමට ජේ.ආර්. ගහපු ගුණ්ඩුවක් හැටියටය. හැබැයි මේ ගුණ්ඩුව වෙනස් කරන්න ඊට පස්සේ බලයට පත්වුණු කිසිම නායකයකුට උවමනා වුණේ නැත. ඒ ඔක්කොම විපක්ෂයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය මුල සිට අගටම පට්ට ගසා මේ ක්‍රමය පැය 24න් වෙනස් කරන බවට ප්‍රතිඥා දුන්නත් විධායක ජනාධිපති පුටුවේ වාඩි වූ පසු ඒ සියල්ල මැජික් බලයෙන් මෙන් අමතක කළහ. හරියට කිව්වොත් අමතක කර දැමූහ. ලලිත් ඇතුලත්මුදලි ඒ කාලයේ කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන නායකයකු සිටී නම් ඔහු හෝ ඇය බලයට පත්වී පැය 48ක් ඇතුළත එය සිදුකළ යුතු බවය. ඊළඟ පැයේ සිට විධායක බලතලවලට ඇතිවන කෑදරකම විසින් සියල්ල අමතක කරනු ලැබීම එයට හේතුවය. ඒ බලතල ඒ තරම් අසීමිතය.

ඒ වුණත් මේ බලතලවලටත් කළ නොහැකි දේ තිබෙන බව අවබෝධ කර ගැනීමට ජේ.ආර්.ටත් වැඩි කාලයක් ගියේ නැත. ^77 බලය ලැබීමෙන් පසුව මෙරට මැතිවරණ සිතියම වසර 10කට අකුලන බවට කියූ ජේ.ආර්. තමන් මුහුණ දුන් පළමු ජනාධිපතිවරණයේ ලක්ෂ 10කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා බලයට පත්වුණත් ඒක කළේ තමන්ට සටනක් දිය හැකි හොඳම ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒ හරහා ශ්‍රීලනිපයද කඩා බිඳ දැමීමෙන් පසුවය. ඒ වෙනුවට ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය පවා හොරෙන් දැමීම දක්වා ඒ මැතිවරණයේ දූෂණ ක්‍රියා ප්‍රබල විය. එහෙමත් කරලා ලබාගත් ජයග්‍රහණයත් එක්කම රටේ උතුරේත් දකුණේත් තරුණ පිරිස් එකිනෙක වෙනස් හේතු දෙකක් මත ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී යුද්ධයකට අවතීර්ණ වීමත් සමඟ ජේ.ආර්.ට තමන්ගේ විධායක බලතලවලට කළ නොහැකි දේ තිබෙන බව අවබෝධ වෙන්නට ඇත. ඒත් ඒ වෙනකොට ඔහු බොහෝ ප්‍රමාද වී සිටියේය.

ජේ.ආර්. වැඩේ අනාගත්තේ තමන් මුහුණ දීපු පළමු ජනාධිපතිවරණයෙන් ජය ලබාගෙන පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් අනුව මහා මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම හේතුවෙනි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඕනෑවුණේ ජේ.ආර්. විධායක ජනාධිපතිව සිටියදී පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයද රුක ගැනීමටය. ඒ වෙලාවේ මහ මැතිවරණයට ගියොත් ජයග්‍රහණය ලැබීම ගැන සැකයක් නොතිබුණත් හයෙන් පහක බලයක් නම් නොලැබෙන බව ඔවුන්ට දැනී තිබුණි.

ජේ.ආර්.ගේ පාලනයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වී ජනතාව අතට මුදල් යහමින් ලැබෙමින් තිබුණත් රටේ ඇතිවෙමින් තිබූ විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහිව පොලීසිය යොදවා සිදුකළ මර්දනයත් අසූවේ වැඩවර්ජනයෙන් රුකියා අහිමි වූ විශාල පිරිසකගේ පවුල්වල බලපෑමත් දකුණේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය කෙරෙහි ජේ.ආර්. ඉතාම අඩුවෙන් අවධානය යොමු කිරීමත් හේතුවෙන් රටපුරා යම් අසහනකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණේය. එසේම රජයේ රුකියා ලබාගැනීමේදී ලොකුම සුදුසුකම යූ.එන්.පී. මන්ත්‍රීගේ ලියුම බවට පත්වීම නාගරික නොවන උගත් තරුණ තරුණියන් දැඩි අසහනයකට තල්ලුකර දමා තිබුණි. පෞද්ගලික අංශයේ රුකියා තිබුණත් ඉංග්‍රීසි දැනුම නොතිබීම හේතුවෙන් මේ තරුණ තරුණියන්ට ඒ රුකියාද ලැබුණේ අඩුවෙනි.

මේ තත්ත්වයට ජේ.ආර්.ගේ පිළිතුර වූයේ දිගටම මර්දනය මුදාහැරීමය. මේ තත්ත්වය හේතුවෙන් ජනමත විචාරණයකට ගොස් හයෙන් පහක බලය එසේම රඳවා ගැනීම වඩාත් සුදුසු බව ජේ.ආර්. ද කල්පනා කරන්නට ඇත. එහෙත් ලලිත්, ගාමිණී සහ රොනී යන ජ්‍යෙෂ්ඨයන් මෙහෙම කරන්න යාමේ අතුරු ප්‍රතිඵල ගැන ජේ.ආර්. දැනුවත් කර තිබුණත් පක්ෂයේ බහුතරයගේ කැමැත්ත පරිදි ජනමත විචාරණයකට ජේ.ආර්. ගියේය.  ඒකෙන් යූ.එන්.පී.ය දිනුවේය. නමුත් උතුරත් දකුණත් දෙකම එකට ගිනි ඇවිලුණේය.

එයට ලොකුම හේතුව වුණේ ඒ වනවිට ^83 කලබල පිට දමා ජවිපෙ තහනම් කර තිබීමත් 6 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරේත් නැගෙනහිරත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ රටේ ඒකීයභාවය සුරකින බවට වන ප්‍රතිඥාව ලබාදීමට අකමැතිවීම හේතුවෙන් ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යාමට සිදුවීමත්ය. ඒ අනුව උතුරේත් දකුණේත් තරුණ තරුණියෝ එකිනෙකට වෙනස් සාධක දෙකක් මත අවි අතට ගත්තෝය. නමුත් ජනමත විචාරණය වෙනුවට මහ මැතිවරණයක් තබා උතුරේත් දකුණේත් ද්‍රවිඩ පක්ෂවලට සහ ජවිපෙට තරග කිරීමට අවස්ථාවක් ලබාදුන්නා නම් රටේ ඉතිහාසය මීට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබිණි. තමන්ගේ හඬට මේ පාලනය යටතේ ඉඩක් නොලැබෙන බව අවබෝධ කරගත් ජවිපෙ දුෂ්කර පළාත්වල උගත් තරුණ තරුණියන් සන්නද්ධ අරගලයකට යොමුකර ගත්තේ තමන්ට මේ ක්‍රමය තුළ දේශපාලන අනාගතයක් නොමැති බව ප්‍රකාශ කරමිනි. ජේ.ආර්.ගේ මර්දනකාරී පාලනයේ දඬු අඬුවට මිරිකී සිටි ග්‍රාමීය පෙදෙස්වල තරුණ තරුණියන් සන්නද්ධ අරගලයට පොළඹවා ගැනීම ජවිපෙට ඉතා පහසුවෙන් කළ හැකි විය.

උතුරේ සිදුවූයේ ජනප්‍රියම ඉල්ලුම වී තිබූ වෙනම රාජ්‍ය සංකල්පයට ද්‍රවිඩ ජනතාව පොළඹවා ගැනීමය. එයද ඉතා පහසුවෙන් කළ හැකි වූයේ පාර්ලිමේන්තුව තුළ දේශපාලන නියෝජනයක් නොමැති තත්ත්වයක් තුළ ඉන්දියාව ඇතුළු ලොවේ සෙසු රටවල සහාය ද්‍රවිඩ බෙදුම්වාදී ව්‍යාපාරයට ලැබීම හේතුවෙනි. පාර්ලිමේන්තුවෙන් ද්‍රවිඩ පක්ෂ නෙරපා දමනු ලැබූ අවස්ථාව වනවිට එම මන්ත්‍රී කණ්ඩායමේ නායකයා වූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියේය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 23ක් හිමිව තිබුණි. ඒ නෙරපීම හරහා රටේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය විය. 1987 වනවිට එම තත්ත්වය පුපුරා ගොස් රටම ගිනිගත්තේ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් කොටු කරමිනි. 82 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වී ඡන්ද ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් ලබාගත් රෝහණ විජේවීරත් තම කණ්ඩායම සමඟ කැලෑ වැදී රජයට එරෙහිව අවි අමෝරා ගත්තේ ඔවුන්ටද පාර්ලිමේන්තු නියෝජනය අහිමි වීමේ එක් ප්‍රතිඵලයක් හැටියටය. ජේ.ආර්.ගේ මැතිවරණ සිතියම අකුළන කතාව ඇත්තක් බව ඒ කාලයේ ජවිපෙ තේරුම් ගන්නත් ඇත.

මෙහෙම තත්ත්වයක් රටේ ඇතිවෙනකොට විධායක බලතලවලින් වැඩක් තියෙයිද? එහෙම නැති බව ජේ.ආර්. දැනගන්නා විට රටට සිදුවිය හැකි හානිය උපරිමයට පැමිණ තිබිණි. ^82 ජනාධිපතිවරණයෙන් පසුව ජනමත විචාරණය වෙනුවට මහා මැතිවරණය පැවැත්වූවා නම් මේ වින්නැහිය නොවනු ඇතැයි ජේ.ආර්.ට ඒ වෙලාවේ නොසිතුණා නම් පුදුමය. අන්තිම රට දෙකොණින්ම ඇවිළෙද්දී ජේ.ආර්. විධායක බලතලත් එක්ක කොළඹ වෝඩ් පෙදෙසේ බ්‍රීමා නිවෙසේ ආලින්දයට කොටු විය.
මේ රටේ දේශපාලනයේ වර්තමානයද ගලපාගත යුත්තේ මේ අතීතයත් සමඟිනි. දැන් රටේ ජනාධිපති එදා පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර්.ගේ බෑණනුවන්  කෙනකු වන රනිල් වික්‍රමසිංහ මහතාය. තම දේශපාලන ජීවිතයේ ලොකුම බලපෑම ජේ.ආර්. බව රනිල් වික්‍රමසිංහ මහතා වරින්වර ප්‍රකාශ කර තිබේ. ජේ.ආර්. මෙන්ම රනිල්ද රටේ ආර්ථිකය හැඩගැස්වීම පිළිබඳ ධනාත්මකව සිතන දේශපාලනඥයෙකි. ජේ.ආර්. ජාත්‍යන්තර සබඳතා ඉහළින්ම පවත්වාගෙන ගිය නායකයකු වූ අතර රනිල්ද ඉතා කෘතහස්ත ආකාරයකට ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යයි. ජේ.ආර්. ඒ හරහා රටට විශාල වශයෙන් ආයෝජන සහ ණය ආධාර ලබාගැනීමට සමත්විය. එයින් රටේ මහවැලිය, නිදහස් ආර්ථික කලාප ඇතුළු සංවර්ධන ව්‍යාපාර රුසක් රටට ලබාදුන්නේය. රනිල්ද ඒ සබඳතා භාවිතා කර අයි.එම්.එෆ්. ණයත් රට ලබාගෙන තිබූ ණයබර ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවරත් ගනිමින් සිටියි.

ජේ.ආර්. වගේම රනිල්ද පළමුවරට ජනාධිපති ධුරය දරන්නේ ජනාධිපතිවරණයකින් තේරී පත් වීමෙන් නොවේ. මේ දෙදෙනාම ජනාධිපතිවීමට පෙර විපක්ෂනායක ධුරයද රටේ අග්‍රාමාත්‍ය ධුරයද දැරෑහ. දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ ඒ ඉතිහාසයම යළි පුනරාවර්තනය වීමක්ද?

ඒක වෙන්නත් පුළුවන් බව සමහර සාධක අනුව පෙනී යයි. එතකොට ජේ.ආර්. වරද්දා ගත් තැන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහත්මයත් වරද්දා ගනියිද?

ජේ.ආර්. ගත් ලොකුම අදූරදර්ශී තීන්දුවක් වුණේ විධායක බලතල පාවිච්චි කර පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය නොපැවැත්වීමය. ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට පියවර ගැනීමය. ඒ වෙලාවේ ඒ පියවර ගැනීමට ජේ.ආර්. බලපෑම් කළ ජ්‍යෙෂ්ඨයන් සිටියාක් මෙන්ම රනිල්ගේ අසලම සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මැතිවරණයක් අවශ්‍ය නැති බවට අදහස් පළකරන බව පෙනී යයි. හැබැයි ජේ.ආර්. කොයි වෙලාවකවත් රටේ ආර්ථිකය හදනතුරු මැතිවරණ පැවැත්වීම අනවශ්‍ය බවක් කිව්වේ නැත. ඒ වගේම &දිනන තුරු ඡන්ද ගණන් කිරීමේ* ක්‍රම සහ විධි යොදාගෙන හෝ මැතිවරණ පැවැත්වූයේය. නමුත් වඩාත්ම වැදගත් මහ මැතිවරණය නොපැවැත්වීම හරහා රටම අවුල් ජාලයකට ඇද දැමුවේය. එයින් ගැලවීමට මාර්ගයක් ජේ.ආර්.ගේ විධායක බලතල ඇතුළේ තිබුණේ නැත.

මේ ඉතිහාසය හොඳට දන්නා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නම් ජාතික මැතිවරණයක් කුමන හේතුවක් නිසාවත් කල්දමනු ඇතැයි සිතන්න බැරිය. මුලින්ම කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩගැනීමත් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමත් කියා රටේ සෙසු දේශපාලන පක්ෂවලට කොතරම් ආරාධනා කළත් එය ඡන්දය කල්දැමීම සඳහා හේතු කරගනු ඇතැයි කිව නොහැකිය. එම කාරණා දෙක සඳහාම කෙටිකාලීන විසඳුම් නොමැති බැවිනි. ඒ ගැටලු විසඳා ගැනීම සඳහා පාර සොයාගැනීමට මීළඟ ජාතික මැතිවරණය යොදාගැනීම වඩාත් උචිත ක්‍රමය බවද පැහැදිලිය.

මේ ගැටලු විසඳා ගැනීම සඳහා ජාතික මැතිවරණය නම් අඬුව තිබියදී එම ඡන්ද නොපවත්වා මැතිවරණ සිතියම අකුළන න්‍යායයෙන් අත පුච්චා ගැනීමට කැමැති නායකයකු සිටිනවා නම් ඒ ජේ.ආර්.ගේ ඉතිහාසය හොඳින්ම කියවා සිටින රනිල් වික්‍රමසිංහ මහතා නම් විය නොහැක. ඔහු වටේ සිටින ඡන්දයක් අවශ්‍ය නැතැයි කියන ජ්‍යෙෂ්ඨයන්ද තේරුම් ගත යුත්තේ මේ සත්‍යයයි.

I ශශීන්ද්‍ර