2024 ජනවාරි 06 වන සෙනසුරාදා

මම ළඟදිම තීන්දුවක් ගන්නවා

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

දයාසිරි ජයසේකර - (පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)

  • බදු ගහලා ගහලා මිනිස්සු හූරාගෙන කන තැනට රට වැටිලා
  • ශ්‍රීලනිපයට දැන් පුළුවන් ඕනෑම පක්ෂයකට මුක්කුවක් ගහන්න විතරයි
  • තිරසර ප්‍රතිපත්ති නැතිකම අපේ රටේ ලොකුම අර්බුදයයි

Q ඔබ දැන් ඉස්සර වගේ සද්ද බද්ද නෑ. නිශ්ශබ්දයි. මොකද දේශපාලනයේ විශ්‍රාම සුවය විඳිනවත්ද?

කිසිම ප්‍රශ්නයක් නෑ. මම දේශපාලන කටයුතු කරගෙන යනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මම විශ්‍රාම අරගෙනත් නෑ. සුපුරුදු පරිදි දේශපාලනය මම කරනවා.

Q ඔබ කිව්වා පක්ෂයේ වැඩවලට ශ්‍රීලනිපයෙන් යම් ආරාධනාවක් කළොත් නැවත සහභාගි වෙනවා කියලා. පක්ෂයේ අයත් කියනවා ඔබට ආරාධනා කළා කියලා. ඇයි ඔබ දැන් පක්ෂයේ වැඩවලට යන්නේ නැත්තේ?

නෑ. එහෙම කිසිම ආරාධනාවක් කරලා නෑ කිසිම කෙනෙක්. සමහර අය කියනවා මට කතා කළාය. මම ආවේ නෑය. ජනාධිපතිතුමා බලාගෙන හිටියාය. වගේ කතා. ඒත් මට එහෙම කිසිම ආරාධනාවක් කරලා නෑ.

Q ඔබ දන්නවා අරගලය සමයේ මේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය විවේචනයට ලක්වුණා. ඔබ හිතනවද එවන් පසුබිමක සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය මිනිස්සු පිළිගනීවි කියලා?

පක්ෂ දේශපාලනය නම් බලාත්මක විය යුතුයි. එහෙම නැතුව දේශපාලනය කරන්න බෑනේ. මොකද ඡන්දයක් ඉල්ලන්න පක්ෂයක් එපැයි. පක්ෂයක් එක්ක ශක්තිමත් ව්‍යුහයක් ගොඩනැගෙනවා. හොඳ සංවිධානාත්මක ව්‍යූහයක් ගොඩනැගෙනවා. ඒ සියල්ල පක්ෂයත් එක්ක තමයි ගොඩනැගෙන්නේ. ඕපපාතිකව ගිහින් ඡන්දය ඉල්ලන්න බෑනේ. ඒ නිසා ඒක අත්‍යවශ්‍ය කාරණයක්.

Q දැන් ගොඩක් දෙනෙක් කියන්නේ පක්ෂවත්, නායකයන්වත් නෙමේ වැදගත් වෙන්නේ ඒ කණ්ඩායමේ ප්‍රතිපත්ති කියලා?

ඇත්තටම ප්‍රතිපත්ති මාලාවක් පුද්ගල ප්‍රතිරෑපයන්ට වඩා වැදගත් වෙනවා. අපේ රටට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ පුද්ගල ප්‍රතිරෑප නිසා. අපේ රටේ ප්‍රතිපත්ති වුණේ ඒ ඒ කාලයට ඒ ඒ පක්ෂ දෙන පොරොන්දු විතරයි. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ විද්වතුන් වෘත්තීයවේදීන් එකතුවෙලා හදන ප්‍රතිපත්ති මාලාවක්. පක්ෂවලට තියෙන ප්‍රතිපත්ති මාලාව වගේම රටට අවශ්‍ය වෙලා තියෙනවා තිරසර ප්‍රතිපත්ති මාලාවක්. අපේ රටේ එහෙම එකක් නැති එක තමයි ප්‍රධාන අර්බුදය. එතැනින් එහා යන එක තමා අපේ අරමුණ වෙන්නේ.

Q අපි දන්නවා ජනාධිපතිවරණය සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වෙන බව. ඒ අතරින් හොඳ කෙනා කවුද කියලා මම අහන්නේ නෑ. මම අහන්නේ ජනතාව මොන වගේ චරිතයක් තෝරා ගනීවිද?

එහෙම දැන්ම කියන්න බෑ. තවම ජනාධිපතිවරණයක් කැඳවලත් නෑ. වර්තමාන ජනාධිපතිවරයත් යම් වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒත් ඔහු සාර්ථක නෑ. මොකද ඔහුට තවම නිෂ්පාදන ආර්ථිකයක් හදාගන්න බැරිවෙලා තියෙනවා. අද රටට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකයක්. අද තියෙන්නේ ඒක නෙමේ බදු ගහලා, බදු ගහලා මිනිස්සු හූරාගෙන කන තැනකට පත්වෙලා. නිෂ්පාදන ආර්ථිකයක් නැත්නම් රටක් ඉදිරියට අරන් යන්න බෑ. ලෝකයේ අනෙක් රටවල් එළියට ආවේ එවැනි ආර්ථිකයක් එක්කයි. කොහොම වුණත් අපි බලමු. දැන්ම අරයා හොඳයි, මෙයා හොඳයි කියන්න බෑ.

Q ඔබ හිතනවද ඊළඟ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු භූමිකාවක් තිබෙනවා කියලා?

දේශපාලන භූමිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ඉතාම කුඩා වෙලා තියෙන්නේ. හැබැයි කුමක් හෝ පක්ෂයකට මුක්කුවක් ගහන්න නම් හැකියාවක් තිබෙනවා. එදා ශ්‍රීලනිපය හිටියේ වමේ ප්‍රගතිශීලි පක්ෂවල නායකයා විදිහට. ඔවුන් අතරින් තමයි ජනාධිපතිවරයා තෝරාගන්නේ. ඒත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පල්ලෙහාටම වැටිලා තියෙන්නේ. අද නායකයන්ට උදව් කරන පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා. ඒක කනගාටුයි. අපි දැන් උත්සාහ කරන්න ඕන ශක්තිමක් පක්ෂයක් ගොඩනගන්න. මේ යන විදිහට ගියොත් නම් ගොඩ එන්න බැරිවෙයි.

Q දයාසිරි ජයසේකර කියන්නේ ක්‍රියාශීලී දේශපාලකයෙක්. ඔබට මේ සියල්ල දැන් අහිමිවෙලා. ඔහොම ඉන්න පුළුවන්ද?

හිරවෙලා නෑ. මම නියම වෙලාවට ගෙයින් එළියට එනවා.

Q ජනතාව මොකද කියන්නේ?

ජනතාව කියන්නේ... අපේ පක්ෂයේ සාමාජිකයෝ, සංවිධායකවරු ඉතාම කනගාටුවෙන් කතාකරනවා අපේ පක්ෂයට මොකක්ද වෙන්නේ කියලා. මොකද මම කිසිම වරදක් කළ කෙනෙක් නෙමෙයි. නායකයාට පිරිසක් විසින් කිව්ව කේලම් නිසයි මාව ඉවත් කළේ. මේක සම්පූර්ණයෙන් කේලම් ඇහීම නිසා වෙච්ච දෙයක්.

Q ශාන් විජයලාල් මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහත්තයා පැත්තට ගියා. දැන් මේකද ශ්‍රී ලංකා අයගේ අලුත් පැත්ත?

එතෙන්ට වැටිලා තියෙන්නේ. පක්ෂයේ ඉදිරි ගමන ගැන කිසිම වැඩපිළිවෙළක් නැත්නම් සංවිධායකවරු සල්ලි වියදම් කර කර ඉන්නේ නෑ. ඔවුන් ඉවත්වෙලා යනවා. මොකද පක්ෂය ජයග්‍රාහී මාර්ගයක නෙමෙයි යන්නේ පරාජයකට කියලා තේරුණාම ඔවුන් ඇයි අපි මේ පක්ෂයට වැඩ කරන්නේ කියලා හිතනවා. ඒ නිසා යනවා. අන්න ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ. ඒ විතරක් නෙමේ පහළ අයත් යනවා දිනයි කියලා හිතන තැනට.

Q ඔබට කතා කළේ නැද්ද සමගි ජනබලවේගයෙන්?

මට කතා කළා. හැබැයි මම කැමති නෑ සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අරන් ඒකට එකතුවෙන්න.

Q ඊළඟ ජනාධිපතිවරණයේදී දයාසිරි තෝරා ගන්නේ කවුද?

මට තවම කියන්න බෑ. බලමු අනාගතයේ මොකද වෙන්නේ කියලා. හැබැයි මම ඒ සම්බන්ධයෙන් ළඟදීම තීන්දුවක් ගන්නවා.

I ගයාන් ගාල්ලගේ