සාමාන්‍යයෙන් දේශපාලන පොර පිටියේ පක්ෂ මාරු කිරීම් ඇරඹෙන්නේ ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනවාත් සමඟය. පුංචි මැතිවරණයක් ඇරුඹුමේදීත් එහෙම පක්ෂ මාරු කිරීම් සිදුවුණත් ලොකු ලොකු පට්ටම්ධාරීන් පක්ෂ මාරු කරන්නේ ජාතික මැතිවරණයක දිනන පැත්තේ නිලය අල්ලලාය. පෙරහරට පෙර කසකාරයන් ගිනිබෝලකාරයන් පමණක් නොව මල් බයිසිකල්කරුවන්ද පෙර ගමනේ එනවා වාගේ මේ ඇතැම් දේශපාලනඥයන්ද පක්ෂය මාරුකර එතෙක් තමන්ගේ විරුද්ධවාදීන්ව සිටි දේශපාලන වේදිකාවට ගොඩ වී තමන් මේ තීන්දුව ගත්තේ ජනතාව වෙනුවෙන් බව කියන්නේ කිසිම හිරිකිතයක් නැතිවය. රට වෙනුවෙන් තීන්දු ගැනීමේදී පක්ෂ පාට භේද නැති බවද මේ අය කියති.
තමන් පක්ෂය මාරු කරන්නේ පරදින්න බැරි නිසා බව හෝ අතට ලැබුණු ''කුට්ටියක්'' නිසා හෝ කියා මේ කවුරුත් කියන්නේ නැත. හැබැයි මේ සමහරුන් පක්ෂය මාරු කරන්නේ අත යට සිදුවන මුදල් ගනුදෙනු හේතුවෙන් නොවන බවද කිව යුතුය. ඒ සඳහා බලපාන වෙනත් දේශපාලන කාරණාද තිබේ. එක් ප්‍රධාන කාරණාවක් වන්නේ තමන් බලයේ සිටි කාලයේදී සිදුකළ නීති විරෝධී සහ දූෂණ ක්‍රියා හේතුවෙන් තමන්ට සිරගත වීමට සිදුවනු ඇතැයි බය සිතීමය. එසේම නඩු වැටීමෙන් වැළකී සිටීමය.
ලංකාවේ දේශපාලනය කිරීමට නම් මුලින්ම කළයුත්තේ ලැජ්ජා නහර කපාගැනීම බව ප්‍රකට කියමනකි. ඒ වගේම තමන්ට ඡන්දය දුන් ජනතාව කොතරම් දුකට පත්ව සිටියත් ඒ බව නොඇසෙන නොදකින සහ නොදැනෙන ගාණට ''නිර්වින්දනය'' වී සිටීමද අවශ්‍යය. මේ කාරණා සම්පූර්ණ වූ විට ඡන්දයක් හමුවේ පක්ෂය මාරු කිරීම නිදන කාමරය වෙනස් කිරීම වැනි සරල මාරුවක් බවට පත්වෙයි.
හැබැයි මේ කිසිම හේතුවකින් තොරව ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂ මාරු කිරීම්ද සිදුව තිබේ. මේ රටේ එහෙම පළමු සිද්ධිය රට තුළ එවකට දෙවැනි ප්‍රධාන දේශපාලන පක්ෂය බිහිවීමට පාර කැපුවේය. එජාපය තුළ තමන්ට දේශපාලන අනාගතයක් නැති බවත් තම ප්‍රතිපත්ති එජාපයේ ප්‍රතිපත්ති සමඟ ඍජුව ගැටෙන බවත් තේරුම් ගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1951දී යූ.එන්.පී. ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රීලනිපය පිහිටුවීමට පුරෝගාමී විය. එය රටේ දේශපාලන වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක ආරම්භය විය.
බණ්ඩාරනායක පක්ෂය මාරු කළේ 1951 ජූලි 10 වැනිදාය. 1936 සිටම අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ ඔහු නිදහසට පෙර 1947දී සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති මහ මැතිවරණයේදී ඡන්දය දිනුවේ ලංකාවේ වැඩිම බහුතරයකින් මන්ත්‍රී පදවියට පත්වීමෙන් වාර්තාවක්ද පිහිටුවමිනි. එතෙක් වේයන්ගොඩ වශයෙන් තිබූ ඔහු තරග කළ ආසනය එම මැතිවරණයේදී අත්තනගල්ල වශයෙන් යළි නම්කරනු ලැබීය. 36489ක් වූ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔහු ජය ලැබුවේ ඡන්ද 31463ක් ලබා ගනිමිනි. එම මැතිවරණය ලංකාවේ දේශපාලන පක්ෂ තරග කළ පළමු මහ මැතිවරණයද විය. ඉන් පෙර රාජ්‍ය සභාවට මන්ත්‍රිවරුන් පත්වූයේ ස්වාධීනව තරග කරමිනි.
ඩී.එස්. සේනානායක අගමැති වූ යූ.එන්.පී. ආණ්ඩුවේ බණ්ඩාරනායක පක්ෂය මාරු කළේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වශයෙන් පමණක් නොව සභානායකවරයා වශයෙන්ද කටයුතු කරමින් සිටියදීය. එසේ ඉවත් වී මාස 02ක් ඇතුළත සැප්තැම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමටද ඔහු සමත් විය.
බණ්ඩාරනායක එහෙම හදපු ශ්‍රීලනිපයේ දැන් බණ්ඩාරනායකලා නැත. ඩී.එස්.ලා හැදූ යූ.එන්.පී.යේ දැන් සේනානායකලා නැත. යූ.එන්.පී.ය පැහැදිලිවම වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ සජබ තුළින් බව කීම වඩාත් නිවැරදිය. පක්ෂය ඇතුළේ ඇතිවූ දීර්ඝ අභ්‍යන්තර අරගලය අවසන් වූයේ යූ.එන්.පී.යේ බහුතරයක් මන්ත්‍රීන් සහ පාක්ෂිකයන් සජබ වශයෙන් වෙනම පක්ෂයකට ගොනු වීමෙනි. සජබට නායකත්වය දෙන සජිත් එහෙම යූ.එන්.පී.යෙන් කැඩී ගොස් තරග කළ මහ මැතිවරණයේදී ආසන 56ක් දිනාගත්තේ යූ.එන්.පී.ය එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමා කරමිනි. එසේම සජිත් මුහුණ දුන් පළමු ජනපතිවරණයෙන් පරාජයට පත්වුවද ඔහු එහිදී මාස තුන හතරක කැම්පේන් එකකින් පසුව 41.9෴ක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. යූ.එන්.පී.ය එම ජනාධිපතිවරණයට තරග කළේ නැත. සජිත් තරග කළේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වශයෙනි.
මේ රටේ පැරණිම ඒ වගේම ඓතිහාසික වශයෙන් වැදගත් වූ දේශපාලන පක්ෂ තරග කළ පළමු මහ මැතිවරණයේ කොටස්කරුවන් වූ යූ.එන්.පීයත් ශ්‍රීලනිපයත් දැන් මුහුණ දී සිටින තත්ත්වය අනුව ඒ දෙකේම පැරණි නායකයන් හෝ පැවත එන කවුරුත් නැත. ඒ වගේම දේශපාලන වශයෙන් පක්ෂ දෙකම මේ වනවිට සිටින්නේ ඉදිරි පෙළේ පක්ෂ වශයෙන් නොව පසුපෙළ පක්ෂ වශයෙනි. රටේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට මුහුණදීමට පූර්වෝපායක් වශයෙන් මේ පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කරන විට එසේ කළ යුත්තේ මේ කාරණා පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුවය.
ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක (අමෙරිකාවේ සහ ඇතැම් යුරෝපීය රටවල හැර) කිසිම දේශපාලන පක්ෂයක් දශක ගණනාවක් එක දිගට එකම ආකාරයට තිබී නැත. ඇතැම් ප්‍රධාන පක්ෂ අහෝසි විය. සමහර පක්ෂ දෙකට කැඩී වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙයි. ඒවායේ නායකයෝද කාලයෙන් කාලයට වෙනස් වෙති. එහෙත් පැරණි නායකයන්ගේ දරු මුණුපුරන් සහ සමීප ඥාතීන් තවමත් ඇතැම් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීව සිටිති. ඒ කොහොම වුණත් ලොවේ බොහොමයක් පැරණි දේශපාලන පක්ෂ මේ වනවිට සී සී කඩව ගොසිනි. ඒ යථාර්ථයෙන් මිදීමට ලංකාවටද හැකිවුණේ නැත. නිදහස් ලංකාවේ මහ මැතිවරණයට වඩා ජනාධිපතිවරණය රටේ නායකයා තීරණය කරන ප්‍රධාන සාධකය වී තිබෙන බැවින් සියලු පක්ෂ අවධානය යොමුකරන්නේ ජනාධිපතිවරණයට වීම බලාපොරොත්තු විය යුතුය. මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සලකා බැලිය යුත්තේ ඒ පදනමේ සිටය.
2024 ලංකාවට පමණක් නොව ලෝකයටම මැතිවරණ වසරකි. බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, ආසියාවේ මේ වසර තුළ මහ මැතිවරණ පැවැත්වෙන ප්‍රධාන රටවල් වෙයි. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව පිළිවෙළින් සැප්තැම්බරයේ සහ නොවැම්බරයේ ජනාධිපතිවරණය පවත්වයි. මේ හැර තවත් රටවල් කිහිපයකට මැතිවරණ පැවැත්වීමට නියමිතය.
මේ වසර දේශපාලන වශයෙන් ආරම්භ වූයේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයකු වන හිටපු මහ ඇමැතිවරයකු සහ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුද වන ශාන් විජයලාල් ද සිල්වා සජබ නායක සජිත් හමුවී තම සහාය පළ කිරීමත් සමඟිනි. ඒ සමඟම පොහොට්ටුවෙන් කැඩී ගිය ඩලස් පිලේ මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් ඇතුළු කිහිප දෙනෙක්ද සජබ සමඟ සන්ධානගත වීමේ අපේක්ෂාවෙන් සිටින බවද ප්‍රකාශ කෙරිණි. විපක්ෂයේ පක්ෂයක් හැටියට සජබට එය වාසිදායක ආරම්භයක් විය. යූ.එන්.පී.යටද සජබ සංවිධායකයන් දෙදෙනකු එක්වුවද ඒ අයගේ දේශපාලන බලපෑම් පවතින්නේ අවම මට්ටමකිනි. කෙසේ වුවද ඉදිරියේදී තමන් පුළුල් සන්ධානයක් ගොඩනගන බව යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් වසර ආරම්භයේදීම කියා තිබිණි.
පක්ෂ මාරුවකින් ඇරඹුණු අලුත් වසරේ දේශපාලන කැලැන්ඩරයේ අවසන් කොළය ගැලවෙන විට කුමකින් කුමක් වී තිබෙනු ඇත්ද?
ව්‍යවස්ථානුකූලව මේ වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සිදුකළ හැක්කේ ලබන සැප්තැම්බරයේ පමණක් බවද ඊට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට හැකියාවක් නැති බවද දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකින් තෝරාගනු ලැබූවකු මිස මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ අයකු බැවින් එය කළ නොහැකි බවය. මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටියා නම් සිය ධුර කාලයේ වසර හතරක් සම්පූර්ණ කිරීමෙන් පසුව තමන්ගේ අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට හෝ ඇයට ව්‍යවස්ථාවෙන් බලය ලැබෙයි. නමුත් වත්මන් ජනාධිපතිවරයාටද ඒ සඳහා අවස්ථාවක් තිබෙන අතර එය සිදුකළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනැවිත් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය සම්මත කර ගැනීමෙනි. හැමවිටම මැතිවරණයක් ඉල්ලා හඬ නගන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද එවැනි සංශෝධනයකට ඡන්දය නොදී මගහැර යා නොහැක. නමුත් පවතින තත්ත්වය සමඟ ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක් බව පැහැදිලිය.
කෙසේ වුවද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට හැකියාව තිබේ. නමුත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදී ඇති පොහොට්ටුවෙන් විමසීමක් නොකර ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි සිතිය නොහැක.
කොහොම බැලුවත් නිසි කාලයට පෙර මැතිවරණයකට යාම ආණ්ඩුවට වාසිදායක නැත. ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වැට් බද්දත් ඒ වනතුරු ගොඩගැසෙමින් පැමිණි ජනතාව පීඩනයට පත් කිරීමේ ගාස්තු වැඩි කරන තීන්දුත් හේතුවෙන් ජනතාව පසුවෙන්නේ දැඩි අසහනයකිනි. රටේ පසුගිය සති කිහිපය තුළදී ඇමැතිවරයකුට සහ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයකුට තමන්ගේ පළාතේම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ එම අසහනයේ ප්‍රතිඵලයක් හැටියට බව පැහැදිලිය. ඒ අතර විවිධ දූෂණ සහ වංචා චෝදනා එල්ල වූ අමාත්‍යවරුද රාජ්‍ය අමාත්‍යවරුද නිරුපද්‍රිතව තම කටයුතු කරගෙන යති. ඔවුන්ට එරෙහිව දේශපාලන වශයෙන් කිසිම පියවරක් නොගැනීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. මේ හැම ගැටලුවකටම රජය ලබාදෙන්නේ පැලැස්තර උත්තර බවද පෙනෙන්නට තිබේ.
1951 තම පක්ෂය මාරු කරමින් නිදහස් ලංකාවේ ප්‍රධානම වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂයක් බිහිකළ බණ්ඩාරනායක රටට පෙන්වා දුන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක යෙදීමේ වැදගත්කමය. හැබැයි වර්තමානයේ නම් පක්ෂ මාරුකරන්නේ ප්‍රතිපත්තිවලට නොව වාසි පැත්තට හෝයියා න්‍යායට අනුවය. බණ්ඩාරනායක බිහිකළ පක්ෂයේ ඇතැම් අයද අද තෝරාගෙන ඇත්තේ ඒ මාර්ගයම බවටත් ඉදිරියේදීද එවැනි මාරුවීම් සිදුවනු ඇති බවටත් පෙරනිමිති පහළ වෙමින් තිබේ. සමහර මන්ත්‍රීවරුන් දැන්නම් ඉන්නේ කොතැනින් මාරු විය යුතුදැයි යන දෙගඩියාවෙනි.
කවුරුන් කොහොම පක්ෂ මාරු කළත් ලංකාවේ අනාගතය තීරණය වනු ඇත්තේ එහෙම මාරුවෙන මන්ත්‍රීලාට ලැබෙන ඇමැතිකම් සහ වරප්‍රසාද මත නොව ඊළඟට බිහිවෙන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මත බව නම් ඉතාම පැහැදිලිය. එවැනි හරි මගක යන ආර්ථික ප්‍රතිපත්ති තුළ ආණ්ඩු පක්ෂ ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද කිසිවක් නැත. ජනතාව ඊළඟට ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ මේ කාරණාද හිතේ තබාගෙන බව වටපිට බලන විට හඳුනාගැනීම අපහසු නැත. මාරුවෙන මන්ත්‍රීවරුන් මාරුවිය යුත්තේ මේ කරුණුද හිතේ තබාගෙනය.
I ශශීන්ද්‍ර