2024 ජනවාරි 13 වන සෙනසුරාදා

මම පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවට හොරු එවන්න එපා කියලා

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

චමින්ද විජේසිරි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

  • පක්ෂෙන් ඉවත් වෙන්න කාරණා කිහිපයක්ම හේතුවුණා
  • සල්ලි මලු අරන් ඇවිත් පක්ෂය මාරු කරන්න ඉල්ලීම් කළ අයත් හිටියා
  • මට තරම් යාළුවෝ කාටවත් නැතුව ඇති

Q චමින්ද විජේසිරි කියන්නේ සක්‍රීය දේශපාලනය කරපු කෙනෙක්. ආණ්ඩුවට විතරක් නෙමෙයි තමන්ගේ පක්ෂයට පවා කෙළින් කතා කළ කෙනෙක්. එහෙම කෙනෙක් එකපාර මෙහෙම විශ්‍රාම ගියේ කොහොමද?

ඔබ පිළිගන්නවනේ මම අවංකව දේශපාලනය කළා කියලා. හිතන්නකෝ අපි පිළිවෙළට ගියා කියලා බෙහෙතක් ගන්න හොස්පිට්ල් එකට. මේ රටේ පුරවැසියෝ හිතන්නේ අපිට විශේෂ තැනක් දෙනවා කියලා. බෙහෙත් ගන්න ඇතුළට ගියාම බෙහෙත් දෙන්න වෛද්‍යවරයා අදිමදි කළා. තර්ක විතර්ක කළා. දියවන්නාව කිට්ටුව මහපාරේ කිඹුලෙක් හිටියම මිනිස්සු ඌට 225ම කාලා දාන්න කියලා දෙස් තියනවා. හෙණ ඉල්ලනව දරුවන්ටත් එක්ක. ඉතිං අපේ හෘද සාක්ෂියට එකඟව ඒ වුණ දේවල් එක්ක හිතට මාර වේදනාවක් ආවා. ඒ නිසාම මට ඕනෑ වුණා නිවැරදි වෙන්න.

Q ඔය බැණ වැදීමත් එක්ක නිවැරුදි වෙන්නද ඉවත් වුණේ?

බැණ වැදීම ඇතුළු තවත් කාරණා කිහිපයක් නිසයි ඉවත් වුණේ.

Q ඇත්තටම චමින්ද විජේසිරිට පක්ෂයෙන් අවුලක් වුණේම නැද්ද?

මම මාස අටකින් කිසිම රුස්වීමකට පක්ෂ මූලස්ථානයට ගිහින් නෑ. මගේ පෞද්ගලික ප්‍රශ්න එක්ක ඒ ගැන කතා කරන්න කැමති නෑ. මොකද මේ රටේ ඊළඟට බලය ලබාගන්න ඉන්න පක්ෂය. ඒ වගේම මට මේ රටේ දූෂණය ඉවත් කරන්න ඕන කෙනෙක් හැටියට මම ගොඩක් දේවල් නොකියා ඉන්න තීරණය කරලා තියෙන්නේ. මොකද මගේ පක්ෂයේ ඉන්නවා ඉතා දක්ෂ අවංක හොරු නොවෙන කණ්ඩායමක්.

Q මම මෙහෙම ඇහුවොත් පක්ෂයේ යම් යම් පුද්ගලයෝ නිසා ඔබ කලකිරුණද?

සමහර තැන්වල. පහුගිය දවසක වරප්‍රසාද කමිටුවට මාව කැඳෙව්වේ ඇයි? මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කතා කරන්න අයිතිය තියෙනවා. මම ඒ වෙලාවේ කිව්වා මේකේ ඉන්නේ හොරු, දේශපාලනඥයන්ට කඩේ යන නිලධාරීන් කියලා. ඔබ දකිනවනේ ඊට වඩා ගහගන්න, මිරිස් කුඩු ගහන, රණ්ඩු කරන අය. ඒ අය වරප්‍රසාද කමිටුවට ගෙන්නුවේ නෑනේ. මට නීත්‍යානුකූලව අවසරය තියෙන්නේ. අපේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉල්ලුවා. මම වරප්‍රසාද කමිටුවේදී ඉතාම අසරණ වුණා. මම වෙනුවෙන් සාක්ෂි දෙන්න ආපු සමහරු අනිත් පැත්තේ හිටගත්තා. නමුත් මම වැරදිකාරයෙක් නොවන බව තහවුරු කරලා පෙන්නුවා.

Q ඔබට හොඳ යාළුවෝ නෑ වගේ නේද?

නෑ. මට සෑහෙන්න යාළුවෝ ඉන්නවා. මම වගේම දූෂණයට වංචාවට විරුද්ධව කතා කරන යාළුවෝ ඉන්නව ගොඩක්. මම දැක්කා මේ ළඟදී රටේ නැති චෝදනා තියෙන මහින්දානන්ද අපිට අවලාද කියද්දී මේ රටේ යුද්ධය දින්න නායකයා නැගිටලා මම වෙනුවෙන් ඇත්ත කතා කළා. එතුමා මගේ හොඳ මිත්‍රයෙක්. මට තරම් මිත්‍රයෝ කාටවත්  නැතුව ඇති.

Q පක්ෂයේ නායකතුමා මොකද කිව්වේ අයින් වෙද්දී?

නෑ. එතුමාට ලොකු කනගාටුවක් ඇතිවුණා මම අයින් වෙද්දී. මම සමාව ඉල්ලනවා එතුමාගේ හිත රිදුණා නම්. මම මේ තීන්දුව ගන්න මාස අටකට කලින් දැන්නුවා. ඒ වගේම අයින් වෙන්න දවස් කීපයකට කලින් මට වෙන්න ඕනෑ කාරණය වෙන්නේ නැත්නම් මම අයින් වෙනවා කියලා එතුමාට කිව්වා. එතුමා ඒක විශ්වාස කළේ නෑ. ඒත් කථානායකතුමා දැනුම් දුන්නායින් පස්සේ එතුමා ප්‍රබල උත්සහයක් ගත්තා ඒක නවත්තන්න. මම ඇත්තටම කනගාටු වෙනවා එතුමා හොඳ නායකයෙක්, අවංක නායකයෙක්, දේශපාලන ඩීල් දාන්නේ නැති නායකයෙක්. පාක්ෂිකයන්ට විශ්වාස කරන්න පුළුවන් නායකයෙක්. ගොඩක් පාක්ෂිකයෝ රැවටෙනවා පක්ෂ නායකයෝ නිසා. මොකද ඒ අය ඩීල් දාන නිසා. සජිත් ප්‍රේමදාස කියන්නේ එහෙම නායකයෙක් නෙමේ. ෆයිල් පෙන්නලා නඩු දානවා කිව්ව අයට වඩා සද්ද නොකර නඩුදාලා රාජපක්ෂලව වැරදිකාරයෝ කියලා ඔප්පු කරන්න වැඩකරපු කෙනෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ.

Q ඔබට බරපතළ චෝදනාවක් එල්ලවුණා ඔබ ඉවත් වුණේ සල්ලි අරන් කියලා?

මට කියන්න තියෙන්නේ ඒ කියන මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. ඒක කිව්වේ මහින්දානන්ද මහත්තයා. මම එළියේ කියනවනේ එතුමාගේ බිරිඳ එතුමාට විරුද්ධව නඩුවක් දැම්මා කියලා. ඉතිං එතුමාටත් කියන්නකෝ මම වගේ එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න කියලා. එතුමාම කියනවා එක්දහස් ගණනක් අරන් ආවේ කියලා. අද කෝටිපතියෝ. කොහෙන්ද මේ සල්ලි. දැන් ඒ අයව කවුරුත් ගණන් ගන්නේ නෑ. ඒකයි ප්‍රශ්නය.

Q ඔබ වී.එයිට් එකෙන් ඇවිල්ලා දැන් පොඩි කාර් එකකට මාරුවුණේ මොකද?

මම තාත්තා නිසයි දේශපාලනයට ආවේ. මම 2015 ඡන්දය කළාට ඊළඟ ඡන්දය කරන්න වුණේ වී එයිට් එක විකුණලා ලක්ෂ 200කට. ඒකෙන් 100ක් දුන්නා හේෂා විතාන මන්ත්‍රීතුමාට. එතුමා සාක්ෂි දරනවා. මම සතුටු වෙනවා එහෙම වුණ එකට. යහපාලන ආණ්ඩුවේදී අපිට සල්ලි මලු අරන් ආවේ පක්ෂ මාරු කරන්න. අපි ඒවට ගියේ නෑ. මම මේ ලිපිය බාරදීලා ආපුවමත් කට්ටිය කතාකරලා කිව්වා ලියුම ඉවත් කරගෙන ස්වාධීන වෙලා ඊටපස්සේ අවශ්‍ය කරන විදිහට දිවුරුම් දෙන්න කියලා. ඒත් අපි සල්ලිවලට බලයට යට වෙන්නේ නෑ. අපි පාක්ෂිකයන්ගෙන් ඉල්ලනවා හොරු පාර්ලිමේන්තු ගේන්න එපා කියලා.

Q ඔබගේ දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් පවුලේ අයගේ අදහස මොකක්ද?

මම දේශපාලනයට ආවේ තාත්තා නිසා. ඒ දේශපාලන පලිගැනීම් නිසා. 2006 ලාබාලතම සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපි 2011දී රාජපක්ෂලට විරුද්ධව සටන් කරලා නගර සභාව දින්නේ. හරීන් ප්‍රනාන්දුලට කලින් ඒ. මම මාසයකට කලින් තාත්තට කිව්වා අයින් වෙන්න ඕන කියලා. තාත්තා ඒකට අවසර දුන්නා. ඒක මට ශක්තියක්. මගේ නෝනා කැමති වුණා. පවුලේ අය කැමති වුණා. දේශපාලනය වශයෙන් සමගි ජනබලවේගය එක්ක වැඩ කරන්න ආසයි. ඒත් එයාලා අකැමැති නම් ඉඩක් දෙන්නේ නැත්නම් මේ විදිහට ළමයි එක්ක ඉන්න මම ලෑස්තියි.

I ගයාන් ගාල්ලගේ