2024 ජනවාරි 13 වන සෙනසුරාදා

මොන ඡන්ද තිබ්බත් දිනන්නෙ මාලිමාව

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

කේ.ඩී. ලාල් කාන්ත - ජාතික ජනබලවේගය

  • ජාතික ජන බලවේගයට වමද දකුණද කියන එක අදාළ නෑ
  • අපේ ව්‍යාපාරය ඇතුළේ පොහොට්ටු - සජබ - යූ.එන්.පී පාක්ෂිකයොත් ඉන්නවා
  • ගහේ පොත්ත මාලිමාව අරටුව ජවිපෙ

Q ජාතික ජන බලවේගය මේ වෙද්දි නැවතත් සක්‍රීයව තමන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කොහොමද ජනතාවගේ ප්‍රතිචාර?

නැවතත් මැතිවරණ ව්‍යාපාරය සක්‍රීය වෙලා තියෙන නිසා කියනවා අපි කාලයක් අක්‍රීය වෙලා හිටියා වගේ කතාවක්. එහෙම වුණේ නෑ. අපි පළාත් පාලන මැතිවරණයට ඉතාම සැලසුම් සහගතව සූදානම් වුණා. මාලිමාව දිනන නිසා ඡන්දය කල් දැම්මා. හැබැයි අපි වැඩ නතර කළේ නෑ. අපි සංවිධාන කටයුතු ප්‍රතිසංවිධානය කරමින් ජනතාව එක්ක වැඩ කටයුතු කරමින් ගියා. දැන් වෙනකොට තත්ත්වය තමයි පළාත් පාලන මැතිවරණය කාලේ අපිත් එක්ක සම්බන්ධ නොවුණු අය දැන් ටික ටික අපිත් එක්ක එකතු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ අය ප්‍රධාන පක්ෂත් එක්ක තදින් හිටිය කට්ටිය. 

Q මොන වගේ තත්ත්වයක්ද ඡන්දයක් තුළදී ඔබලට තියෙන තැන?

අපි මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඒ වගේම ජනතාවගේ මතයන් පරීක්ෂා කරන ආයතනවලින් ලබාගන්නා තොරතුරුවලින් අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට බුද්ධි අංශ වාර්තා මගිනුත් මාලිමාව ජයග්‍රහණය තහවුරු කරලා තියෙනවා. මොකද මේ විස්තර අපිට ඉස්සරට වඩා එනවා. මොකද ඉස්සරට වඩා පොලිසියේ හමුදාවේ අය අපිත් එක්ක දැන් එකතුයි. ජනාධිපතිවරණය තිබ්බත් අපි දිනුම්. මහ මැතිවරණය තිබ්බත් අපි ජයග්‍රහණය කරනවා. මොන මැතිවරණය තිබ්බත් අපි දිනුම්.

Q මැතිවරණ ජයග්‍රහණයකට මිනිස්සු තෝරා බේරාගන්න බැහැ. අනෙක් පක්ෂ වගේම සැලුන් දොරක් තියෙන්න ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු මතවාදයත් ජාතික ජන බලවේගයේ මතවාදයත් අහසට පොළොව වගේ. මම අහන්නෙ සැලුන් දොර සවි කරගෙන දේශපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද?

ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු විනය, වැඩපිළිවෙළ සහ ක්‍රමයට කිසිම වෙනසක් සිදුවෙන්නෙ නෑ. තෝරාගත්ත පිරිසක් තමයි හැමදාම ජවිපෙට හිටියෙ. මැතිවරණ ව්‍යාපාරයක් ජය ගන්න ඔබ කිව්වා වගේ තෝරාගත්ත පිරිසකට විතරක් බැහැ. විවිධ කණ්ඩායම්වල විවිධ පුද්ගලයන්ගෙ සහාය අවශ්‍යයි. පුළුල් ජනතා ව්‍යාපාරයක් වුණාම එහෙම තමයි. ඒක හැබැයි ප්‍රශ්නයක් නෑ. ගහේ පොත්තයි අරටුවයි වගේ. ඕනෑ කෙනෙක්ට තේරෙනවා ගහේ අරටුව මොකක්ද? පොත්ත මොකක්ද? කියලා. ගහේ පොත්ත මාලිමාව. ගහේ අරටුව ජනතා විමුක්ති පෙරමුණ. 

Q පහුගිය නම තුළ තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වෙනම මුහුණුවරක්. හැබැයි අද මාලිමාව ඊට වඩා වෙනම මුහුණුවරක්. සාම්ප්‍රදායික දේශපාලනය ජනතාවට කිට්ටු පුද්ගලයා බලයට යවන එක. ජවිපෙ සාමාජිකයෝ ඒ තැනක හිටියෙ නෑ. අද මාලිමාව ඒ තැන හදාගෙනද තියෙන්නෙ? 

අපි ඡන්ද ලබාගන්න අමුතුවෙන් මුකුත් කරන්නෙ නෑ. අපේ අපේ ප්‍රතිපත්ති ජනතාව අතරට වැඩිපුර ගෙනියනවා. ඒ අය මුණගැහෙනවා. කතා කරනවා. ඔබ කියන ප්‍රශ්නය ඇත්තටම ඇතිවෙලා නෑ. ඉතින් ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් ඇතුළෙ විවිධ පුද්ගලයො ඉන්නවා. ඒ නිසා මේක එක පද්ධතියක්. ඒක වෙන් කරලා කතා කරන එක වැරදියි. 

Q අපි දන්නවා බොහෝ අය බලයට පත්වෙන්නෙ පවතින ආණ්ඩුවට විරුද්ධ විකල්පයක් හැටියට. හැබැයි පසුව සුපුරුදු ආදේශකයක් බවට පත්වෙනවා. ජාතික ජන බලවේගයත් එහෙමද වෙන්නෙ?

දැන් මෙහෙම ගමුකො. යූ.එන්.පියට ආදේශකයක් තමයි පොහොට්ටුව. ඒකනෙ ඒ අයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේ සජබය කියන්නෙත් ආදේශකයක්. විකල්පයක් නෙවෙයි. හැබැයි අපි මේ රට නියෝජනය කරපු විකල්පයක්. අපි දැන් වර්තමානය නියෝජනය කරන විකල්පයක්. මොකද අපේ දේශපාලන සංස්කෘතිය වෙනස්. අපි ස්වේච්ඡාවෙන් මහජනතාවට වැඩ කරන ව්‍යාපාරයක්. කවුරුත් පෞද්ගලික කටයුතු බලාගෙන වැඩ කරන්නෙ නෑ. ඉස්සර තිබුණේ තනි තනි පුද්ගලයා දියුණු වෙමින් සමාජය දියුණු කරන විදිහක්. නමුත් අපි හදන්නෙ සමාජයත් දියුණු කිරීම තුළින් තනි පුද්ගලයන්ටත් දියුණු වෙන්න පුළුවන් ක්‍රමයක්. ඒ දෙක දෙකක්. ඒ නිසා අපේ ජනතා ව්‍යාපාරය තුළ තියෙන්නෙ එකතුවෙලා සමාජයක් දිනවන්න. 

Q ජවිපෙ ඒ මතවාදය එක්ක මාලිමාවේ විවිධ වූ ජනතාව ඉන්නවා කියලා හිතනවද?

ඔබ මාධ්‍යවේදියෙක්නෙ. මම කියනවට වඩා ඔබ හොයලා බලන්න. කිසිම කෙනෙක් පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඇවිල්ලා නෑ. ඒ නිසා මම කියන දේ අහන්න එපා. 

Q අපි දන්නවා මේ රටේ වම නියෝජනය කරන පක්ෂ තියෙනවා. ඔබලත් වම නියෝජනය කරන්නෙ. ඒ වම සහ මේ වම අතර වෙනස මොකක්ද?

ඇත්තටම ජාතික ජන බලවේගය කියන පුළුල් ජනතා ව්‍යාපාරයට වම ද දකුණ ද දැන් වැඩක් නෑ. හැමෝටම ඕනෑ හොරකම, දූෂණය, වංචාව නවත්වන්න. ඒක දක්ෂිණාංශික කියන අයටත් පොදු දෙයක්. ඒ නිසා වම ද දකුණ ද නෙවෙයි වැදගත් වෙන්නෙ මේ වෙලාවෙ, අපි දිනන එක. 

Q දැන් අපි දන්නවා ජයග්‍රහණය කරන්න ඉන්න පක්ෂයක් නම් අනෙක් පක්ෂවල ඉන්න මැති ඇමැතිවරු ඒ පක්ෂය පැත්තට එනවා. මාලිමාවට කොහොමද ඒ ගැන තියෙන ප්‍රතිචාර?

අපේ ව්‍යාපාරයට පොහොට්ටුවේ, යූ.එන්.පී, සජබ පාක්ෂිකයෝ එකතුවෙලා ඉන්නෙ. ඒ අතහැරලා ආපු අයව අපි එකතු කර ගන්නවා නම් ඒ පාක්ෂිකයෝ අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකෙන් උත්තරය දෙන්නම්. උන් නරක නිසා උන්ව අත්හැරලා අපි ආවා. අපි දාලා ආපු එවුන් සහෝදරයෝ ගන්නවාද? කියලා. අපිත් එක්ක සන්ධාන ගහන්න, අපිත් එක්ක එකතු වෙන්න ඉන්න හැමෝටම කියන්න තියෙන්නෙ ඕක තමයි.

I ගයාන් ගාල්ලගේ