2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ටින් සහ ටින් ටින්ලා

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

''ටින්'' යන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් බිඳී සිංහල භාෂාවට එක්වී තිබෙන්නකි. මේ වන විට එය අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ව්‍යවහාරයට අනුව ''ශුද්ධ සිංහල'' වචනයක් බවට පරිවර්තනය වී තිබේ. දැන් ''ටින්'' එකට අර්ථකථන රාශියකි. සමාජ මාධ්‍ය ඔස්සේ පට්ට ගසන වචනයකි. ලංකාවට හෝ බදුවලට හෝ මෙලෝ සම්බන්ධයක් නැති යුරෝපයෙන් බිහිවූ ලෝ ප්‍රකට කාටූන් චරිතයක් වන ටින් ටින් ගේ නම ද දැන් මෙයට ඈඳී තිබේ. ලෝකයේ ටින් දෙකක් සහිත එකම පුද්ගලයා වශයෙනි.

ටින් මේ තරමට ලංකාවේ කතාබහට ලක්වන්නේ එය ඍජුවම මෙරට බදු සංස්කෘතියේ අංගයක් බවට පත්වීම හේතුවෙනි. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉංග්‍රීසි භාෂාවෙන් කෙටියෙන් ''ටින්'' බවට පත්ව තිබේ. තවදුරටත් කෙටියෙන් කිව්වොත් මේ රටේ වයස 18ට වැඩි සෑම සියලු දෙනාම ටින් අංකය ලබාගැනීම අනිවාර්ය කර තිබේ. 18න් පටන්ගෙන වයස්ගතව මරණාසන්නව සිටින පුද්ගලයාත් ටින් අංකය ලබාගැනීමේ වගකීමෙන් මිදී නැත. අඩුම තරමින් මේ වැඩේ සැලසුම් කළ පුද්ගලයන් ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් කරන්නේ ද නැත. ටින් අංකයක් නොමැතිව මැරෙන පුද්ගලයාට තම අවසන් කැමැත්ත කල් තියා සැලසුම් කර තැබීමට පවා නොහැකි වනු ඇතැයි සමහරු කියති. ටින් අංකයේ පරාසය එතරම් පුළුල්ය. කිසිම සීමාවක් නැත.

ටින් අංකය ලබන අප්‍රේල් වන විට ලබා නොගන්නා තැනැත්තන්ට නඩු දමා රුපියල් 50,000ක දඩයකට යටත් කරන බවට ප්‍රකාශ කර තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වන රන්ජිත් සියඹලාපිටිය මහතාය. තමන්ගේ දරුවන්ට කන්න බොන්න දිය නොහැකි දරුපවුල් ලක්ෂ ගණනක් ඉන්න රටක, වැට් හේතුවෙන් දරුවන්ට පොත්, පැන්සල්. පෑන් මිලදී ගෙන දීම පවා ගැටලුවක්ව පවතින. රටක ජනතාවකට ඒ ආකාරයට වක්‍ර අන්දමින් අනතුරු ඇඟවීම කොතරම් දුරකට සුදුසුදැයි කල්පනා කළ යුතු නොවේද? අප කියන්නේ ටින් අංකය ලබාගැනීම අධෛර්යවත් කළ යුතු බව නොවේ. ඒ සඳහා මීට වඩා ක්‍රමානුකූල, රටට ගැලපෙන ක්‍රමයක් සැලසුම් කිරීමට රජයකට හැකියාව තිබිය යුතු බවය. අඩුම තරමින් ටින් අංකය වයස 18ට වැඩි සියලු දෙනා විසින්ම ලබාගත යුතු බවට ප්‍රකාශ කරද්දී ඒ සංඛ්‍යාව කළමනාකරණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තිබෙන හැකියාව නිවැරදි ලෙස තක්සේරු කළා ද යන ගැටලුව ද පැන නැගී තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව 87,600ක් බවත් ගෙවුණු සති කිහිපය තුළදී එයින් අවසන් කර තිබෙන්නේ 40,000ක පමණ ප්‍රමාණයක් බවත් අපගේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් අනාවරණය වෙයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි අනුව ඉදිරියේදී ලැබීමට නියමිත කෝටි එකහමාරකට ආසන්න අයැදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කර අවසන් කිරීමට කොතරම් කාලයක් ගතවනු ඇතිද යන්න සිතාගැනීමත් අපහසුය. දෙපාර්තමේන්තුව සතු පරිගණක පද්ධතියට එතරම් දත්ත ප්‍රමාණයක් දරාගැනීමට තිබෙන හැකියාව ද ප්‍රශ්නාර්ථයක් බවත් සඳහන් කළ යුතුය.

ටින් සඳහා ලියාපදිංචි වීමේ අයැදුම්පත්‍රය ද සරල එකක් නොවන බව බැලූ බැල්මට පෙනී යයි. නිසි අධ්‍යාපනයක් නොමැති අයකුට එහි ඇතැම් කරුණු සම්පූර්ණ කිරීමට තවත් අයකුගේ සහාය ලබාගැනීමට සිදුවෙයි. දැනුමක් තිබෙන අයකුට වුවද මේ සංකීර්ණ අයැදුම්පත්‍රය සම්පූර්ණ කිරීම පහසු නැත. මේ තරම් වෙහෙසක් විඳ අමාරුවෙන් තමන්ට බදු අංකයක් ලබාගැනීමට දැඩි ජීවන බරකින් මිරිකෙමින් සිටින ජනතාව පෙළඹේදැයි යන්නත් සැක සහිතය. කිසිදු වෙහෙසකින් තොරව බදු නොගෙවන ධනවත් බලවත් පුද්ගලයන් සිටියදී සෙසු සියලු දෙනා පීඩනයට පත්කිරීම පිළිබඳ ආණ්ඩුවට යළිත් වරක් සිතා බැලිය යුතු යැයි අපි සිතමු.

ආණ්ඩුව මුලින්ම කළ යුතුව තිබුණේ ''ටින්'' අංකය 18ට වැඩි සියලු දෙනාම ලබාගැනීම අවශ්‍යම නම් ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය බවට පත්කර ලියාපදිංචි කිරීමය. සෙසු විස්තර පසුව ලබාගැනීමට ක්‍රියා කිරීමය. එසේ නොකර ''ටින්'' අංකය නොගත්තොත් නඩු දමා දඩ ගසන බවට කරන ප්‍රකාශ ජනතාවගේ සිත් රිදීමට හේතුවන බවත් එවැනි කතා ''ටින් ටින්ලා''ගේ කතා හැටියට සැලකෙනු ඇති බවත් කිව යුතුය.