2024 ජනවාරි 13 වන සෙනසුරාදා

උතුරෙන් ඇරඹීම

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

''එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න අප තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේදී පැවැත්වීමටත් 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමටත් තීරණය කළා.''

යූ.එන්.පී.යේ කළමනාකරණ කමිටු රැස්වීමකදී පසුගිය 9 වැනිදා අඟහරුවාදා ගත් මේ තීන්දු පසුවදා පුවත්පත්වල ලීඩ් හෙඩ්ලයින් බවට පත්විය. මහ මැතිවරණය කොහොම වුණත් ජනාධිපතිවරණය නම් මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 16 අතර කාල සීමාවේදී පැවැත්වීමට සිදුවන බව අපි මේ තීරුවේදී පසුගිය සතියේදීද සඳහන් කළෙමු. පසුව ඒ බව පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල මහතාද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන කාලසීමාව පෙන්වා දී තිබුණි. නමුත් මහ මැතිවරණය නම් වසර 4කට පසුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පැවැත්වීමට පියවර ගත හැකිය.

කොහොම වුණත් යූ.එන්.පී.යේ ඉහත කී තීරණ ප්‍රකාශයට පත් වීමෙන් පසුව මෙතෙක් අවිනිශ්චිතව තිබුණු කරුණු දෙකකට විසඳුම් ලැබුණේය. එකක් ජනාධිපතිවරණය සැප්තැම්බරයේදී පැවැත්වෙන බව ජනාධිපතිගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්වීමය. අනෙක ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරිපත් වන බව පක්ෂය නිල වශයෙන් රටට දැනුම් දීමය. මේ දැනුම් දීම සමඟ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රුස්ව තිබූ මෙම වැදගත් තීන්දු ගත් කළමනාකරණ කමිටු රැස්වීමට එහි සාමාජිකයන් වන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල කාරියවසම්, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරුන්, රවි කරුණානායක, කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරුන්ද සහභාගි වී සිටි බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. හැබැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් වචනයක්වත් ප්‍රකාශ කළේ නැත.

දේශපාලන කරළියේ භාෂාවෙන් කිව්වොත් මේ රැස්වීමට සහභාගි වී ඇත්තේ පක්ෂයේ ''ක්‍රීම්'' එකය. පක්ෂයේ ක්‍රීම් එක යනු මැතිවරණ කාලසීමාවක පක්ෂයේ යාන්ත්‍රණය මෙහෙයවන ප්‍රධාන කණ්ඩායමයි. වෙනසකට ඇත්තේ යූ.එන්.පී.යේ මහා ලේකම් පාලිත රංගේ බණඩාර නම් රැස්වීමට සහභාගි වූවාද යන්න සඳහන් නොවීමය. සාමාන්‍යයෙන් පක්ෂ යාන්ත්‍රණය ඡන්දයකදී මෙහෙයවන ''ක්‍රීම්'' එක ඇතුළේ පක්ෂ ලේකම්ගේ භූමිකාව ඉතාම තීරණාත්මකය. ඔහුගේ අත්සනින් තොරව ඡන්දයකට අදාළ කිසිදු ලියැවිල්ලකට නීත්‍යානුකූලභාවයක් නැත. හැබැයි යූ.එන්.පී. එක සන්ධානයකට ගියොත් ඒ භූමිකාව පැවරෙන්නේ සන්ධානයේ ලේකම්වරයාටය. පසුගිය කාලයේ මැතිවරණ ඉතිහාසය ගත්තොත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යූ.එන්.පී. ජනාධිපති ධුරය දැරෑ අවධියේ මේ භූමිකාවට පණ පෙව්වේ පක්ෂයේ මහා ලේකම් වූ බී. සිරිසේන කුරේ මහතාය. ඔහු මහලේකම් ධුරයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයකුද වූ බැවින් ඔහුගේ කාර්යය වඩාත් පහසු වී තිබිණි. මහින්දගේ කාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉටුකළ භූමිකාව සන්ධානයක ලේකම්වරයකුගේ වගකීම සම්බන්ධයෙන් හොඳම උදාහරණයකි. ඔහුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයකුද වශයෙන් කටයුතු කළ බවත් සඳහන් කළ යුතුය.

හැබැයි ජේ.ආර්.ගේ ක්‍රමය ඊට වෙනස් විය. ඔහු පක්ෂයේ සභාපති ධුරයත් ලේකම් ධුරයත් දරන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවිය යුතු බව විශ්වාස කළ නායකයෙක් විය. එන්.ජී.පී. පණ්ඩිතරත්න, හර්ෂ අබේවර්ධන ජේ.ආර්.ගේ කාලයේ පක්ෂයේ සභාපති ධුර දැරෑහ. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකයා වූ විටද මලික් සමරවික්‍රම සහ සෙනරත් කපුකොටුව මේ ධුර දැරෑහ. නමුත් ඔවුන් ඉටුකළ කාර්යභාරය පසුකාලයක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේත් දැඩි විවේචනයට ලක්විය. යූ.එන්.පී.ය අභ්‍යන්තරයේ මතගැටුම් ඇතිවීමට පවා එම තත්ත්වය හේතුවී තිබිණි.

යූ.එන්.පී.ය තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන විට එම කෙටි ඉතිහාසයද මතක් කළ යුතුය. එදා මෙදාතුර මෙරට දේශපාලනය තුළ බොහෝ වෙනස්කම් ඇතිව තිබේ. ඒ වෙනස්කම් කොතරම්දැයි කිව්වොත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද නායකත්වය දුන් ශ්‍රිලනිප ප්‍රමුඛ එ.ජ.නි.ස. මහ ලේකම් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයේ පොදු අපේක්ෂකයා බවට පත්විය. 

එතෙක් කල් තමන් සමඟ එකම වේදිකාවේ එකට යූ.එන්.පී.ය පතුරු ගැසූ මෛත්‍රීපාල සිරිසේන මහතා යූ.එන්.පී. ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා වී තමන් පරාජය කරන අයුරු බලා සිටීම මහින්දගේ දේශපාලන ජීවිතයේ අවාසනාවන්තම සිද්ධිය වන්නටත් ඇත. මේ රටේ දේශපාලනයේ හැටි එහෙමය. අද යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා මහින්දලාගේ පොහොට්ටුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර බලයෙන් ආණ්ඩුව මෙහෙයවයි. මහින්දලාගේ අමාත්‍යවරුන්ගේ ප්‍රධානියා අද මහින්ද නොව රනිල් වික්‍රමසිංහ මහතාය. දේශපාලන වශයෙන් කොතරම් ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළත් බලය ලබාගැනීමේදී සහ එම බලය රුක ගැනීමේදී දේශපාලන පසමිතුරාගේ සහායද අවශ්‍ය බව මහින්දත් රනිලුත් දෙදෙනාම දැන සිටිති. එහෙම නොවන්න අරගලයෙන් පසුව මේ රටේ දේශපාලනය මෙයට වඩා වෙනස්ම මගක ගමන් කිරීමට ඉඩ තිබිණි.

ඒ කොහොම වුණත් ජනාධිපති රනිල් මැතිවරණ සටනට ඉදිරිපත් වන බව ප්‍රකාශ කෙරුණේ ඔහු යාපනයේ ඉතා වැදගත් සංචාරයක යෙදීමෙන් පසුවය. අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේද සහභාගීත්වයෙන් දින 04ක සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා යාපනයේ දේශපාලනික සහ සමාජයක වශයෙන් වැදගත් චරිත ගණනාවක්ම හමුවිය. සිවිල් සංවිධාන නියෝජිතයෝ සර්ව ආගමික නායකයෝද කෘෂිකර්ම, ධීවර, තරුණ පජා වෘත්තිකයන් සම්බන්ධ නියෝජිතයෝද සරසවි සිසු සිසුවියෝද ජනාධිපති හමුවන පිරිස අතර වෙතියි එම සංචාරය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය.

ඔවුන්ට අමතරව යාපනය - කිලිනොච්චි සහ වවුනියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් දෙකක්ද එහිදී පැවැත්විණි. ජනාධිපතිවරයා එහි පැමිණි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ යුද්ධය හේතුවෙන් අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු 2025 වසර තුළදී අවසන් කළ යුතු බවය. අතුරුදන් වූවන් සම්බන්ධ ගැටලුද හැකි ඉක්මණින් විසඳිය යුතු බවට අදහස්ද ප්‍රකාශ විය. ඊළඟට ඔහු උතුරු පළාතේ ආර්ථිකය සම්බන්ධයෙන්ද කතා කළේය.

ලංකාවට ඉදිරියේදී නව ආර්ථික කොමිසමක් හඳුන්වාදෙන බවත් එය උතුරු පළාතේ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට හේතු වන බවත් එහි ආයෝජනය කිරීමට ඩයස්පෝරාවටද ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා එහිදී කළ කතාවල සඳහන් විය. පළාතේ ආර්ථිකය නැංවීමට 13 වැනි සංශෝධනය ප්‍රමාණවත් බවද ඔහු පෙන්වා දී තිබිණි.

හරියට බැලුවොත් රනිල් වික්‍රමසිංහ මහතා මේ සිදුකර ඇත්තේ තමන්ගේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක වැඩසටහනට නිල නොවන මට්ටමින් ආරම්භයක් ලබාදීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන්ගේ ඡන්ද සටන දකුණේ ඈත ප්‍රදේශවලින් ආරම්භ කිරීමට විශාල කැමැත්තක් දක්වන බව රහසක් නොවේ. අනුර කුමාරලා තම ඡන්ද ව්‍යාපාරයට නිල නොවන මට්ටමින් ආරම්භයක් ලබාදී තිබුණේ මාතර ''ගැහැනු අපි එක මිටට - මාලිමාවට'' යන සටන් පාඨයෙන් කාන්තා සමුළුවක් සංවිධානය කරමිනි. පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වශයෙන් මේ වනවිට බාගෙට හඳුන්වා දී ඇති ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරාද හම්බන්තොට තිස්සමහාරාමයෙන් තම සටන නිල නොවන මට්ටමින් ආරම්භ කළේ ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරස්ථානය තුළ විවෘත කරමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යාපනයේ පසුගිය 4 වැනිදා සිට 7 වැනිදා දක්වා සිදුකළ සංචාරයේදී සිදුකළ කතාබහ අනුව එය ජනාධිපතිවරණයේදී උතුරේ දමිළ ජනතාවගේ සහාය ලබාගැනීම අරමුණු කරගත් - වැඩක් බව බැලූ බැල්මට පෙනී යයි. ජනාධිපතිවරණයකදී සුළු ජාතිකයන්ගේ ඡන්දවලට විශාල වටිනාකමක් තිබෙන බවට බොහෝ නායකයන් තුළ විශ්වාසයක් තිබේ. නමුත් ඒ විශ්වාසය බිඳ වැටුණේ 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟිනි. ඒ අවස්ථාවේ උතුරේ ඡන්ද ඇතුළු සමස්ත දමිළ ජනතාවගේ ඡන්ද බහුතරය වැටුණේ ගෝඨාභයට නොවේ. එහෙත් ඔහුට විශාල ජයග්‍රහණයක් හිමිවිය.

කොතරම් ලොකු ජයග්‍රහණයක් ලැබුණත් ඒ ලැබූ ජය රුකගැනීමට ඔහුට නොහැකි වීම මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් විය. එයට හේතුව උතුරේ ඡන්ද නොලැබීම යැයි පිළිගත නොහැක. නමුත් මොනම රාජ්‍ය නායකයකුට වුණත් දේශපාලනය තුළ තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බවට එය කදිම උදාහරණයකි. මහින්ද වුණත් දමිළ සහ මුස්ලිම් ඡන්ද තමන්ට වාසිදායක ලෙස හසුරුවා ගැනීමට හැමවිටම උත්සාහ කළේද මේ යථාර්ථය හේතුවෙනි.

මෙවර ජනාධිතිවරණයට තවම කල් වැඩි වුණත් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සාධක සියලුම අපේක්ෂකයන් විසින් මේ වනවිට ගණන් හදාගෙන සිටිය යුතුය. ඡන්දයට ආසන්න කාල සීමාවේදී බොහෝ දේ වෙනස් විය හැකිය. දැන් ඡන්දයට ඉදිරිපත් වන බව කියන ඇතැම් අපේක්ෂකයන් ඡන්දයට නොපැමිණීමටත් ඉඩ තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරෙන් පටන්ගත් නොනිල ඡන්ද ව්‍යාපාරය කොහොම අවසන් කරනු ඇතිදැයි දැන්ම කීම අමාරුය. හැබැයි මේ අපේක්ෂකයන් සියලුදෙනාම දැන සිටිය යුත්තේ උතුර, දකුණ කියා වෙනසක් නැතුව රටේ සාමාන්‍ය ඡන්ද දායකයා සිටින්නේ ඔක්කොටම වඩා අමාරුවෙන් බවය. ඊළඟ ඡන්දයේ තීරණාත්මක සාධකය බොහෝවිට ඒකම විය හැකිය.

I ශශීන්ද්‍ර 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00