2024 ජනවාරි 20 වන සෙනසුරාදා

’’කැරට්’’ ආර්ථිකය

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

කැරට් ගෙඩියත් බෝංචි කරලත් මේ දවස්වල මාධ්‍ය සිරස්තල මවමින් සිටී. ඒ ඒවායේ මිල ගණන් හේතුවෙන් ජනතාවගෙන් ලුණු ඇඹුල් ඇතිව රොස් පරොස් අසාගනිමිනි. කැරට් බෝංචි පමණක් නොවේ. කැකිරි ගෙඩියේ සිට වට්ටක්කා ගෙඩිය දක්වාත් ගෝවා, වම්බටු, තක්කාලි පමණක් නොව අමුමිරිස් සහ ලොකු ලූනුත් මේ සිරස්තලවලම කොටසක් බවට පත්ව තිබේ. මාළු මිරිස් නම් අඩු තරමින් ඇහැට දකින්නත් නැත. තිබුණා නම් ලුණු ඇඹුල්වලට තිත්ත කතාත් එකතු වීමට ඉඩක් තිබිණි.

කෙටියෙන් කිව්වොත් දැන් ලංකාවේ ජනතාව තම ඉතිහාසයේ අත්විඳින ඉහළම එළවළු මිල ගණන් දකිමින් අහසේ තරු ගනිමින් සිටිති. අපගේ දේශය පුවත්පතේ ලිපියක දැක්වෙන්නේ දැන් කැරට් නැති කොත්තු විකිණීමට තිබෙන බවය. කැරට් ලීක්ස් දෙකම නැති ෆ්‍රයිඩ් රයිස් විකුණන හෝටල් තිබෙන බවය. ඒ අතරේ එළවළු හිඟකමින් ඇතැම් හෝටල් අමාරුවේ වැටී තිබෙන බවය. මේ සියල්ල සිදුවුවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් එළවළු මිල ගැන හ්ම් සද්දයක් නැත. ඒ මිල පහත හෙළන ක්‍රියාමාර්ගයක් ගැන අදහසක්වත් පළ කරන්නේ නැත.

එළවළු මිල මේ තරමට ඉහළ ගියේ රටට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් බව ඇතැම් වෙළෙන්දෝ කියති. ඇමැතිවරයකු නම් එහෙම කතාවක්වත් කියන්නේ නැත. නමුත් මේ රටට මහ වැසි ඇදහැළුණු පළමු අවස්ථාව මෙය නොවේ. හැම වසරකම පාහේ වැසි ඇදහැලෙන කාලසීමා තිබේ. නමුත් මේ තරමට එළවළු මිල ඉහළ ගියේ නැත. වරින් වර ඉහළ ගියත් කැරට් කිලෝව රුපියල් දාහට මිලදී ගැනීමට පාරිභෝගිකයාට සිදු නොවීය. මෙය කෘෂිකර්මය හා සම්බන්ධ සියලු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු නොවේද? වැස්ස පිට වරද පටවා ඔවුන්ට තම දෑත් සෝදාගත හැකිද? එහෙම නම් ආණ්ඩුවක් කුමටදැයි පාරිභෝගිකයන් අසනවා නම් ඒ ගැන පුදුම විය යුතු නැත.

වර්ෂාව කිසිවකුටත් පාලනය කළ නොහැක. ඉඩෝරය ගැන කිව යුත්තේ ද එයමය. නමුත් එසේ වූ පමණින් වර්ෂාවෙන් සහ ඉඩෝරයෙන් සිදුවන බලපෑම්වලට විසඳුම් දීමෙන් වැළකී සිටීමට ආණ්ඩුවට හැකියාවක් නැත. අධික ලෙස එළවළු මිල ඉහළ යාමෙන් අමාරුවේ වැටී සිටින්නේ පාරිභෝගික ජනතාව පමණක් නොවන බව බලධාරීන් වටහාගත යුතුය. ගොවියෝ තම අස්වැන්න අහිමිවීම හේතුවෙන් දුකට පත්ව සිටිති. වෙළෙන්දෝ තමාට අලෙවි කරගත හැකි එළවළු නොමැතිව ව්‍යාපාර වසා දමති. හෝටල් හිමියෝ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවලට මුහුණ දෙති. ආර්ථික මධ්‍යස්ථාන සහ එළවළු වෙළෙඳසල් බොහොමයකට ආදායමක් නැත.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී බලධාරීන් නිහඬව සිටීම මේ ගැටලුව තවත් සංකීර්ණ කර තිබේ. වෙනත් බොහෝ රටවල් තමන්ගේ කෘෂි නිපැයුම් සහ අස්වැන්න සම්බන්ධ තීන්දු තීරණ ගැනීම පමා කරන්නේ නැත. හොඳම උදාහරණය අසල්වැසි ඉන්දියාවයි. ඔවුන්ගේ සහල් නිෂ්පාදනය හෝ ලූනු නිෂ්පාදනය හෝ සම්බන්ධයෙන් ස්වාභාවික ආපදා හෝ වෙනත් හේතූන් නිසා හෝ බලපෑම් සිදුවන්නේ නම් ඒ පිළිබඳ තීරණ ගන්නේ කල් තබාමය. අපට අද ලූනු කිලෝවකට රුපියල් 450ක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇත්තේ ද ඉන්දියාව ගත් එවැනි තීරණයක් හේතුවෙනි. මේ වනතුරුත් අපට අපේ අවශ්‍යතා සපුරණ සේ ලූනු නිපදවා ගැනීමට නොහැකිවීම වෙනම කතාවකි. එහෙත් මාස කිහිපයක් තිස්සේ අපි ලොකු ලූනුවලට ඉහළම මිලක් ගෙවමින් ලූනුත් සමඟ දත්මිටි කමින් සිටිමු. ඒ හේතුවෙන් එළවළු නැති කලට පොල් සම්බෝලයක් හෝ හදාගැනීමත් මහත් වියදමක් දැරිය යුතු කාර්යයක් බවට පත්ව තිබේ.

අහස උසට ගිය එළවළු මිල අපේ ආර්ථිකය අලුතින් අරුත් ගන්වා තිබේ. ඒ අනුව බංකොලොත් ආර්ථිකයකින් අපි දැන් ''කැරට් ආර්ථිකයකට'' පා තබා සිටිමු. ආර්ථිකය විනාශ මුඛයට ඇද දැමීමේ පාපකර්මයට වගකිව යුත්තෝ බොහෝ වෙති. එසේම විනාශ වූ ආර්ථිකය යළි ගොඩදා ගැනීමට සිදුකෙරෙන කතා ද නිමක් නැත. එහෙත් ඒ හේතුවෙන් තුන්වේල දෙවේලට බැස සිටින මේ රටේ බොහොමයක් දරුපවුල්වලට දැන් එම දෙවේලම එළවළුවලින් තොරවම භුක්ති විඳීමට සිදුවීම නම් පුදුම කරුමයක් බව කිව යුතුය. ගෙවතුවල වැවෙන එළවළු සහ පලා වර්ග ආහාරයට ගන්නැයි ලබා දෙන උපදෙස් මේ ගැටලුවට සැබෑ විසඳුමක් නොවන බවද සඳහන් කිරීම අවශ්‍යය. එය තාවකාලික විසඳුමක් පමණි.

වැසි සමය අවසන් වී පැහැබර කාලගුණයක් සහිත කාලගුණ තත්ත්වයකට මාරුවීම හේතුවෙන් එළවළු මිල ඉබේම පහත වැටෙනු ඇතැයි කෘෂිකර්මයට සහ වාණිජ අංශයට වගකිව යුතු බලධාරීන් ඇඟිලි ගනිමින් සිටිනවා විය යුතුය. සමහරවිට එය තරමක කාලයක් යන විට සිදුවෙන්නත් ඉඩ තිබේ. එහෙත් එය මේ ''කැරට් ආර්ථිකය'' අවසන් වීමක් නොවන බව නම් කිව යුතුය.