2024 ජනවාරි 27 වන සෙනසුරාදා

නිහඬ කළයුතු පාතාලේ වෙඩි හඬ

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

ලංකාවේ සිදුවෙමින් පැවති මිනීමැරීම් තරමක් දුරකට අඩුවී ඇතැයි සංඛ්‍යාලේඛන සහ ප්‍රතිශතයක් වශයෙන් කරුණු පෙන්වා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශයක් කර හැරෙන්නවත් ඉඩක් නොලැබිණි. බෙලිඅත්තේ පස් දෙනෙක් මහදවල් මහපාරේදී ඝාතනය කරනු ලැබූහ. භික්ෂූන් වහන්සේ කෙනකුට පන්සලකටම පැමිණ වෙඩිතබා ඝාතනය කළහ. තවත් ඝාතන කිහිපයක් සහ වෙඩි තබා තුවාල කිරීම් ගණනාවක්ද ඇතිවූ අතර මාතර දුරකථන සාප්පුවකදී අහිංසක තරුණයකු සහ නාරම්මලදී සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් කුඩා ලොරි රථ රියැදුරකු මරා දැමීමද කැපී පෙනිණි.

සංඛ්‍යාලේඛන පෙන්වමින් රටේ මිනීමැරුම් අඩු වී ඇතැයි පෙන්වා දීමට උත්සාහ කිරීම හිල් කූඩයකින් වතුර ඇදීමට තැත් කිරීමක් බවට පත්විය. මිනීමැරුම් අඩු යැයි පොලීසිය ප්‍රකාශ කළාට රටපුරා විසිරී සිටින තුවක්කුකරුවන් තවමත් තමන්ගේ අවි බිම තබා නැත. ඒ ගිනි අවි වරින්වර පත්තුවෙන බව පසුගිය දින කිහිපය තුළදීම පෙනී ගියේය. නීති විරෝධී ගිනි අවි භාවිත කරමින් මිනීමැරුම් සිදුකරන්නේ පාතාලයෝය. නමුත් නීත්‍යානුකූල ගිනි අවි භාවිතයට අවසර ඇති පොලිස් නිලධාරීන් පවා හිතූමතේ තම ගිනි අවි ක්‍රියාත්මක කර මිනීමැරීම රටේ ජනතාව මහත් භීතයකට පත්කරවන බව කිවයුතු නැත.

පාතාලය ක්‍රියාත්මක වන්නේ යහමින් ඔවුන් අත ගිනි අවි ගැවසෙන විටය. මාළුවන්ට ජලය මෙන් පාතාලයන්ට ජීවත්වීම සඳහා ගිනි අවි අවශ්‍යය. බොහෝ විට කොකා ගැස්සෙන්නේ වෙනත් අයකුගේ ඇඟිල්ලෙන් විය හැකි වුවද එයට අණදෙන්නේත් ගිනි අවි සම්පාදනය සිදුවන්නේත් පාතාල නායකයාගේ මෙහෙයවීමෙනි. මෙවැනි පාතාල නායකයෝත් ඔවුන්ගේ හෙංචයියෝත් මේ රටේ බොහොමයක් වෙති. ඒ අතුරින් සමහරුන් ක්‍රියාත්මක වෙන්නේ විදෙස් රටවල වෙසෙමිනි. ඔවුන්ගේ ගෝල බාලයෝත් හෙංචයියෝත් මෙරට සිටිමින් මිනීමරති. කප්පම් ගනිති. මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවති. ඒ අතරේ තමන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමද සිදුකරති. ප්‍රතිවාදියා අසු නොවුණොත් ඔහුගේ සමීප ඥාතීන් මරා දැමීමට හෝ මේ මිනීමරුවන් පැකිළෙන්නේ නැත.

මේ පාතාලය මර්දනය කරන තුරු රට තුළ සිදුකෙරෙන බිහිසුණු මිනීමැරුම් කුඩු ජාවාරම් ඇතුළු විවිධ සංවිධානාත්මක අපරාධ නවතින්නේ නැත. පාතාලය මර්දනය කිරීමට නම් ඔවුන්ට ගිනි අවි සපයන ජාලය කඩා බිඳ දැමිය යුතුය. ටී.56, නවීන පන්නයේ පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවි යොදාගෙන පාතාලයෝ අපරාධ සිදුකරති. එම අපරාධ අතරමගදී හෝ වළක්වා ගැනීමට අවස්ථාව ඇත්තේ ඉතා සුළු වශයෙනි. පොලීසිය තම අවධානය වඩාත්ම යොමුකළ යුතු වන්නේ පාතාලයන් අල්ලා ගැනීමටත් වඩා ඔවුන් සතුව ඇති ගිනි අවි ගබඩා සොයාගෙන ඒවා විනාශ කර දැමීම බව අපි සිතමු. ගිනි අවි අහිමිවන පාතාලයන් අල්ලා ගැනීමට දැල එළීම ඉන්පසුව සිදුකළ හැකිය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයෙන් ක්‍රියාත්මක කර ඇති &යුක්තිය* මෙහෙයුමේ එක් අරමුණක් වන්නේ රටපුරා මත්කුඩු සපයන සංවිධානාත්මක ජාලය කඩා බිඳ දැමීම බව එය ආරම්භයේදීම ප්‍රකාශයට පත් වී තිබිණි. අල්ලාගන්නා කුඩුකාරයන්ගෙන් තොරතුරු ලබාගෙන කුඩු විකුණන පුද්ගලයන් සහ ඔවුන් සතු කුඩු තොග අත්අඩංගුවට ගැනීමද &යුක්තිය* මෙහෙයුම යටතේ සිදුවෙයි. කුඩු ජාවාරමද පාතාලයේම ක්‍රියාවක් බැවින් පාතාලය සතු ගිනි අවි සැපයුම් ජාලය කඩා බිඳ දැමීමද ''යුක්තිය'' මෙහෙයුම හරහා සිදුකර ගත හැකිදැයි සොයාබැලිම සුදුසු බව අපි සිතමු.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ පාතාලයන්ගේ ගිනි අවිවලට අහිසංකයන්ද ගොදුරු වීමට ඉඩ තිබෙන බවය. මාතර දුරකථන උපාංග අලෙවිහලක් තුළදී වෙඩිතබා මරා දැමූ තරුණයා මොනම අපරාධයකට හෝ සම්බන්ධයක් නැති බව ඔහුට සමීප සියලුදෙනා සාක්ෂි දරති. පොලීසියද ප්‍රකාශ කර තිබුණේ ඔහුගේ ඝාතනය ඉලක්කය වැරදී සිදුකළ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් බවය. එය එසේ නම් පොලීසිය කළ යුත්තේ ඒ ගැන ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවාට වඩා එම ඉලක්කය වරද්දා ගත් අපරාධකරු හෝ අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීමය. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසියටද චෝදනා එල්ල වෙන තත්ත්වයක් පැවතීම හේතුවෙන් හැකි ඉක්මණින් අපරාධකරුවන් අල්ලා ගැනීම පොලීසියේ යහපත් පිණිසද හේතුවනු ඇත.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00