2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ඔන්ලයින් - නාමල් සහ චන්ද්‍රිකා

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 181

රටම හොල්ලපු ඔන්ලයින් පනත ආණ්ඩුව හදිසියේම වාගේ විවාදයට ගත්තේ පසුගිය 23 සහ 24 දිනවලය. ආණ්ඩුව රටේ ගැටලු දහසක් ගොඩනැගෙමින් තිබියදී ඔන්ලයින් පනත ගෙන එන්නේ ඔය කියන රටේ පුද්ගල චරිත ආරක්ෂා කරදීමට නොව තමන්ගේ වැරදි වහගන්න බව විපක්ෂයේ ලොකුම චෝදනාව විය. මෙහෙම මාධ්‍යවලට මොනව ආකාරයකින්වත් වාරණ දමනවාට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කවදත් කතා කළේ විරුද්ධවය. මහින්ද රාජපක්ෂලා එදා මාධ්‍ය වාරණ අණපනත් ගෙන ඒමට පිඹුරුපත් හදන විට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා හැටියට එළියට බැහැලා ඒකට ගැහැව්වේය. එහෙම කරපු රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපති වී පාලන තන්ත්‍රයේ යතුර අතට අරගෙන ආර්ථික ප්‍රශ්නත් විසඳන ගමන් සමාජ මාධ්‍ය පාලනයටද නීති හදන්නට කටයුතු කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා ඇමැතිලා හැර රටේ සෙසු සියලු දේශපාලනඥයන් සිවිල් සමාජ කොටස් සහ ජාත්‍යන්තරයේත් ප්‍රබල විරෝධය මැද්දේ සම්මත කරගත් ඔන්ලයින් පනත ඒකේ ප්‍රතිඵලයයි.

ඔන්ලයින් පනත හරියට ගත්තොත් දේශපාලන ගේම් එකකි. රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා සිදුකෙරෙන විවිධ විවේචනවලට මුහුණදීමට ආණ්ඩුවට ඕනෑතරම් ක්‍රම සහ විධි තිබේ. නොනිල වශයෙන් ඒවා පාලනය කිරීමේ උපක්‍රම ඕනෑම ආණ්ඩුවකට තිබේ. හැබැයි සමාජ මාධ්‍ය එහෙම නොවේ. නියම ආකාරයට ලියාපදිංචි වී ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය පමණක් නොව එහෙම ලංකාවේ ලියාපදිංචියක් නැති ඇඩ්‍රස් නැති සමාජ මාධ්‍ය හතු පිපෙන්නාක් වගේ බිහි වී තිබේ. රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාත් විපක්ෂයේ සිටියදී, රාජපක්ෂවරුන් බලයේ සිටියදී සමාජ මාධ්‍ය හරහා සිදුකළ දේශපාලනයක්ද තිබුණේය. 2015 මහින්ද විධායක ජනාධිපති වී සිටිමින් ජනාධිපතිවරණය පරාජය වීමටත් ලක්ෂ 69කගේ ඡන්දයෙන් වාර්තාගත ජයක් ලබා ජනාධිපති වූ ගෝඨාභයට ධුරය අහිමි කරවීමටත් සමාජ මාධ්‍යවල තිබූ බලපෑම කොතරම්දැයි රනිල් වික්‍රමසිංහ මහතා හොඳටම ගණන් බලා ඇතුවාට සැකයක් නැත. ඔන්ලයින් පනත ගෙන ඒමත් ඒක හදිසියේ මැතිවරණ වසරක් ආරම්භයේදීම සම්මත කර ගැනීමට කටයුතු කිරීමත් ඒ ගණන් හැදීමේ ප්‍රතිඵලයක් බව සිතා ගැනීමට දේශපාලනයේ තෙම්පරාදු වූ පුද්ගලයකු වීම අවශ්‍ය නැත.

මේ පනත කෙටුම්පත් කරන්නේ ඉදිaරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හැටියට සිටියදී වුණත් ඒක මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. ජනාධිපතිවරයා කරන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු බිලි බා ගැනීමකි. ඔහුට තම පාලනය ගෙනයාමට රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු බහුතරය අවශ්‍ය විය. ඒක රුකගන්න නම් ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකරදිය යුතුය. අනෙක් අතට ජනාධිපතිවරණය පැවැත්වෙන මේ අවුරුද්දේ පොදුවේ ජනතාව අතර තිබෙන රාජපක්ෂ පාලනයට එරෙහි දැඩි විරෝධය ඡන්ද ප්‍රතිඵලයට අවාසිදායක බව ජනාධිපතිවරයා නොදැන සිටීමට හේතුවක් නැත. ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයකු බවට පත්වුණත් තමන්ට එරෙහිවද ඒ විරෝධය එල්ල වන බව ඔහු දැන සිටී. මේ විරෝධතා පණ ගැන්වෙන්නේ පන්නරය ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බවද කිවයුතු නැත. ඒ එක්කම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සජබත් සජබට පවා අභියෝගයක් වන තරමට දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් දුවවන ලොකුම දැති රෝදය සමාජ මාධ්‍ය ජාලයයි. සමාජ මාධ්‍ය මෙහෙම තියාගෙන ඡන්දයකට යාම ඉල්ලං කෑමක් බව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හිතන එක ගැන පුදුමයක් නැත. රටේ කාන්තාවන්, ළමුන්ගේ ආරක්ෂාවට සහ පුද්ගල චරිත ඝාතනය නැවැත්වීමටත් ආගම් සහ ජාතීන් අතර වෛරී සහගත අදහස් වැපිරවීම වැළැක්වීමටත්, ඒවාට උදව්දීමත් වැනි කරුණු ඉදිරියට දමා මේ සමාජ මාධ්‍ය මර්දන පනත සම්මත කර ගත්තේ මැතිවරණයකදී ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය හැකි ලොකු විරෝධයක් නවත්වා ගැනීමේ උපක්‍රමයක් හැටියටය. මෙහෙම වෙලාවක ඉදිරි කාලයේ රටේ ජාතික දේශපාලනයේ ඊළඟ පරපුරේ නායකයකු වශයෙන් කැපී පෙනෙන නාමල් රාජපක්ෂගේ අදහස කොහොම විය යුතුව තිබුණිද?

නාමල් රාජපක්ෂ මුල ඉඳන්ම කතා කළේ ඔන්ලයින් පනතට පක්ෂවය. ඒක රාජපක්ෂ දේශපාලන තියරියේ අංක එකේ අවශ්‍යතාවකි. ඔවුන්ගේ පාලන බලය ශක්තිමත්ව පවත්වාගෙන යාමට මහින්දගේ දේශපාලන හැකියාවන් වගේම තමන්ගේ වාසියට ක්‍රියාත්මක වූ මාධ්‍ය සංස්කෘතියක් පවත්වාගෙන යාමද හේතු විය. ඔවුන්ට අභියෝගය එල්ල වුණේ සමාජ මාධ්‍ය තුළිනි. සමාජ මාධ්‍ය තමන්ට එරෙහිව යනවිට ඒ කෙරෙහි දේශපාලන වෛරයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නාමල්ද අනුගමනය කරන්නේ ඒ තියරියමය. රාජපක්ෂලාගේ මේ තියරියම කර ගහගෙන ගිහින් රටේ කවදා හෝ නායකයා වීමේ සිහිනය හැබෑ කරගන්න නාමල්ට පුළුවන් වෙයිද?

ඒක නම් හුඟක් අමාරු වැඩක් බව බැලූ බැල්මටම පෙනෙයි. ඔන්ලයින් පනතට රට ඇතුළෙන් නැගෙන දැඩි විරෝධයත් ජාත්‍යන්තරයෙන් එල්ලවෙන අභියෝගත් එක්ක බලනකොට නාමල්ගේ දේශපාලනය තවමත් තිබෙන්නේ තාත්තලා, බාප්පලා කළ දේශපාලන පිටකවරය ඇතුළේමය. දැන් රට පමණක් නොව ලෝකයේම දේශපාලනය වෙනස් වෙමින් තිබේ. ආසියානු රටවල් ඇතුළු ලොවේ බොහෝමයක් රටවල් කෘත්‍රිම බුද්ධිය (ඒ.අයි.) යොදාගෙන රටවල්වල අනාගතය සැලසුම් කරමින් සිටියදී අපේ රට සමාජ මාධ්‍ය වාරණය කරගෙන පරණ දේශපාලන තියරි ඇතුළේම ඉඳගෙන ආණ්ඩු හදන්න සැලසුම් කරමින් සිටී. මෙතැනදී වෙනසක් හොයන මේ රටේ අලුත් පරපුරට ඒ වගේම රටේ පරණ දේශපාලනයෙන් හෙම්බත් වී සිටින වැඩිහිටි පරපුරට අවශ්‍ය වන්නේ අලුත් විදිහට හිතන තරුණ නායකයන් මිස පරණ පාරේම යන නායකයන් නොවේ. එහෙම නම් නාමල් කළ යුතුව තිබුණේ කුමක්ද?

ඔහුට කරන්න තිබුණේ ඔන්ලයින් පනතට එරෙහිව රටේ ඇතිවූ දේශපාලන රුල්ල සමඟ එකතු වීමය. තමන් තමන්ගේ පරණ දේශපාලන න්‍යායවලින් බැහැරව අලුත් විදිහට සිතන නායකයකු මෙන් රට ඉදිරියේ පෙනී සිටීමය. දේශපාලනඥයකු වන තමන්ටත් තම පවුලේ දේශපාලකයන්ටත් සමාජ මාධ්‍යවලින් දිගට හරහට බැට දුන්නත් නාමල් මේ වෙලාවේ එළියට බැස ඔන්ලයින් පනතට විරුද්ධ වුණා නම් ඔහුට එතැනින් තමන්ගේ දේශපාලන ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයකට ආරම්භයක් ලබාගැනීමට තිබුණි. නමුත් ඔහු ඒ වෙනුවට තෝරාගත්තේ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් රටේ අවශ්‍යතාවට වඩා පවුලේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමය. පසුගිය 23 වැනිදා මාධ්‍යවලට නාමල් කිව්වේ සමාජ මාධ්‍ය නියාමනයට තමන් එකඟ බවය. පුද්ගල චරිත ඝාතන වැළැක්වීමට නීති පැනවීම අවශ්‍ය බවද ඔහු කිව්වේය. ජනතාවගේ උදහසට ලක්ව තිබෙන පොහොට්ටුවේ පාලකයන්ගේත් ඔහුගේ අදහසත් එකක් වීමේ අවාසිය නාමල් කවදා හෝ තේරුම් ගනු ඇත.

ඒ වෙනුවට නාමල්, තමන්ට කොතරම් පහර ගැසුවත් ඔන්ලයින් පනතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති රීති සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව කිව්වා නම් ඔහුට ලොකු ගැම්මක් ගන්න ඉඩ තිබුණි. එහෙම සිදුවූ අවස්ථා මේ රටේ දේශපාලනයේ තිබේ. හොඳම උදාහරණය චන්ද්‍රිකාය.

චන්ද්‍රිකා උසස් අධ්‍යාපනයට ගියේ යුරෝපයටය. නාමල් තම උසස් අධ්‍යාපනය හමාර කළේත් එංගලන්තයෙනි. චන්ද්‍රිකා ආපසු ලංකාවට එන්නේ 1972දීය. ඒ කාලයේ අගමැතිනිය ඇයගේ මව වූ සිරිමාවෝය. චන්ද්‍රිකා ශ්‍රිලනිපයේ දේශපාලනය අරඹා 1974දී පක්ෂයේ විධායක සභික ධුරයට පත්වූවාය. ඒ සමඟ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු කර පසුව 77 පරාජයෙන් පසුව එක්සත් ජාතීන්ගේ කෘෂි සහ ආහාර සංවිධානයේත් කටයුතු කළාය. 

චන්ද්‍රිකා මව සමඟ ශ්‍රීලනිප දේශපාලනය කළත් ඇය යුරෝපයේ ලැබූ අධ්‍යාපනය හේතුවෙන් මුලසිටම රුඩිකල් චරිතයක් විය. ඒ නිසාම මව සමඟ පමණක් නොව තම සොහොයුරු අනුර සමඟද ඇය ගැටුම් ඇතිකර ගත්තාය. තමන්ගේ විවාහය සිදුකර ගත්තේද පවුලේ අවශ්‍යතා තුට්ටුවකට දමමිනි. ඇය 1978 දී විජය කුමාරතුංග කසාද බැන්දේ තමන් න්‍යායයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රුඩිකල් චරිතයක් බව පෙන්නුම් කරමිනි.

විජය සමඟ 1984දී ශ්‍රිලනිපය හැරගිය චන්ද්‍රිකා ඔහු සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවාගෙන ශ්‍රිලනිපයට එරෙහි දේශපාලනයකට අත ගැසුවාය. එහෙම සිටියදී 1988දී තම ස්වාමියා වූ විජය කුමාරතුංග ජවිපෙ විසින් ඝාතනය කිරීමෙන් පසුව දරු දෙදෙනාද සමඟ තනි වූවාය. එහෙත් ඇය ශ්‍රීලනිපයට ගියේ නැත. තම රුඩිකල් දේශපාලනය අත්හැරියේද නැත. තම සැමියාගේ පක්ෂයේ නායකත්වය ලබාගත් ඇය කොමියුනිස්ට්, සමසමාජ පක්ෂවල සහාය ඇතිව එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවාගෙන එයට නායකත්වය දුන්නාය. එහෙත් උත්සන්න වූ ජීවිත තර්ජන හේතුවෙන් ඇය රට හැර බ්‍රිතාන්‍යයට ගියේ සමීපතමයන්ගේ උපදෙස් පිළිපදිමිනි.

ජවිපෙ භීෂණය අවසන් වූ පසුව ආපසු ලංකාවට ආපු චන්ද්‍රිකා 1991 දී යළි දේශපාලනයට එක්විය. ඒ කාලේ යූ.එන්.පී. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කිරීමට යළි ශ්‍රීලනිපයට චන්ද්‍රිකා එක්වුණාය. 1993දී පළාත් සභා ඡන්දයෙන් බස්නාහිර පළාතේ මහ ඇමැති ධුරයට පත් චන්ද්‍රිකා 1994 දී මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය. පසුව තම මවගෙන් ශ්‍රීලනිප නායකත්වය ලබාගත් චන්ද්‍රිකා 1994 ජනාධිපතිවරණයෙන් රටේ ජනාධිපති ධුරය ලබා ධුර කාල දෙකක් සම්පූර්ණ කළාය.
චන්ද්‍රිකා මේ ජයග්‍රහණ ඔක්කොම ලැබුවේ ශ්‍රීලනිපය තුළ සිටිමින් වුවත් ඇය කළේ තම මවගේ පියාගේ දේශපාලනය නොවේ. ඇය සම්ප්‍රදායික පවුල් දේශපාලනයෙන් මිදී මවගේ පියාගේ ප්‍රතිපත්තිවලින් පවා බැහැර විය. ඇයගේ ආර්ථික ප්‍රතිපත්තිය විවෘත ආර්ථිකයේම කොටසක් විය. ජනවාර්ගික අර්බුදයේදී ඇයගේ ප්‍රතිපත්තිය ලිබරල් එකක් විය. පියාගේ ''සිංහල පමණයි'' ප්‍රතිපත්තියෙන් චන්ද්‍රිකා බැහැර වූවාය. ඒ සියල්ල ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට ඉඳුරාම වෙනස් විය. නමුත් ශ්‍රීලනිපයේ කවුරුත් ඇයට ඇඟිල්ල දික් කළේ නැත. තම දේශපාලනය සඳහා චන්ද්‍රිකා මංගල එස්.බී. වැනි අලුත් තරුණ නායකයන් ගණනාවක් කිට්ටුකර ගත්තාය.

චන්ද්‍රිකා එහෙම සාර්ථක වනවිට තම මවගේ පියාගේ අඩිපාරේම ගිය අනුර දේශපාලන වශයෙන් අතරමං විය. ඒ අතරමං වීම කොතරම්දැයි කිව්වොත් අනුර වරක් යූ.එන්.පී. සාමාජිකත්වය පවා අරගත්තේය. හැබැයි චන්ද්‍රිකා කවදාවත් යූ.එන්.පී.යට එක්වුණේ නැත. නමුත් තම ස්වාමියා මරා දැමූ ජවිපෙ සමඟ සන්ධානගත වී මහමැතිවරණයකට මුහුණ දී 1999දී ආණ්ඩුව පිහිටුවූවාය.

නාමල් දේශපාලනය කරන්නේ අනාගතයේදී රටේ නායකයා වීමේ අරමුණු ඇතිවය. ඒ අරමුණ ජයගන්න රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ දේශපාලනය ඇතුළේ ගහන ගේම්වලින් පලක් නැත. තම පියාගේ දේශපාලන නායකත්වයට ප්‍රතිපත්තිවලට නාමල්ගේ ප්‍රතිපත්ති ගැලපුණේ ඒ කාලයටය. තම පියා ලංකාවේ ජනප්‍රියම සහ බලවත්ම නායකයා වූයේ ඔහු කාලයේ තාලයට වෙනස් වී අවශ්‍ය තැනට අවශ්‍ය ඇනය ගැසීමේ කලාව හොඳටම දැන සිටි නිසාය. ඔහු නම හදාගත්තේ සිරිමාවෝගේ චන්ද්‍රිකාගේ දේශපාලනයට අභියෝග කරමිනි. තම පියාත්  එකතු වී හැදූ ශ්‍රීලනිපයේ මතවාදවලට කොටු වී සිටියා නම් මහින්දට රටේ බලගතුම නායකයෙක් වෙන්න රටේ ජනතාවගේ කැමැත්ත ලැබෙන්නේ නැත. එහෙම රුඩිකල් වෙනසකට ආරම්භයක් ගන්න නාමල්ට තිබූ හොඳම අවස්ථාවක් ඔන්ලයින් පනතට පක්ෂවීමෙන් ඔහු අහිමි කර ගත්තේය. නාමල් ඉදිරියේදී තීරණය කළ යුත්තේ චන්ද්‍රිකා වගේ මවගේ පියාගේ පක්ෂ ප්‍රතිපත්තිවලටත් අභියෝග කර රුඩිකල් චරිතයක් වී රටේ නායකයා බවට පත්වෙනවාද නැත්නම් අනුර වගේ පරණ ප්‍රතිපත්තියේම රුඳී සිටිමින් දේශපාලන ලෝකයේ අතරමං වෙනවාද යන්නය.

- ශශීන්ද්‍ර