2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ජනමතයක් නැති ආණ්ඩුව ජනතාවගෙන් පලිගන්නවා

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී - එස්.එම්. මරික්කාර්

  • සන්ධාන හදන්නෙ නැතුව ආණ්ඩු හදන්න බෑ
  • අපි කරන වැඩවල ප්‍රතිඵල එන්නේ මැතිවරණයේදී
  • පක්ෂයට බලය ගන්න මම ඕනෑම වැඩක් කරනවා

Q අපි දන්නවා ඊළඟට බලය ගන්න ඉන්න කණ්ඩායම තමයි විපක්ෂය කියන්නෙ. ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක ඕනෑම පීඩනයක් ආණ්ඩුවට එල්ල කරන්න විපක්ෂය සූදානම්. අපි දන්නවා පහුගිය දවසක විශාල උද්ඝෝෂණයක් සිදු කළා. මම අහන්නෙ කරපු වැඩේ සාර්ථකද?

අනිවාර් යෙන්ම වැඩේ සාර්ථකයි. ආණ්ඩුව බය වුණු හින්දා තමයි ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ එළියට දැම්මෙ. රටේ ප්‍රධාන විපක්ෂය වගේම ඊළඟට බලය ගැනීමේ ප්‍රධාන යාන්ත්‍රණය තියෙන අපේ කණ්ඩායම බිම් මට්ටමින් ජනතාව එකතු කරගෙන යනකොට ඒ අය උසාවි ගියා. උසාවි තුනකින් තහනම් නියෝග ගත්තා. එකකින් ගන්න බැරුව ගියා. ඒ තහනම් නියෝගය ගන්න බැරිවුණු ප්‍රදේශයට අපි ගියා. ඒ නිසා ඒකට බයවෙලා තමයි එදා ඒ අය ගැහුවෙ.

Q ආණ්ඩුවට ඒකෙන් ලොකු බලපෑමක් එල්ල වුණාද?

ඔව්. හැබැයි අද කරලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ඒකෙ ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙන්නෙ මැතිවරණයක් ආවට පස්සෙයි. අනික අපි මේක නවත්තන්නෙ නෑ. ඉදිරියටම අරන් යනවා. 

Q උද්ඝෝෂණය කරලා පැය 48ක් යන්න හම්බවුණේ නෑ, ආණ්ඩුව තෙල් මිල වැඩි කළා. ආණ්ඩුව නම් සත පහකට ගණං අරගෙන නෑ නේද?

මේ ආණ්ඩුවටත් රනිල් වික්‍රමසිංහ මහත්තයටත් ජන මතයක් නෑ. එහෙම ජන මතයක් නැති නිසා ඔවුන් දිගින් දිගටම ජනතාවගෙන් පලි ගන්නවා. මිනිස්සුන්ගෙ බඩගින්න, වේදනාව, දුක තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ. ඒ නිසා තමයි ජනතාවට බදු ගහන්නෙ, බඩු මිල වැඩි කරන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා ආයේ බලයට එන්න බෑ කියලා. ඒ නිසා කැමැති දේ කරනවා. 

Q මම මේ අහන ප්‍රශ්නය ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම මේ අහන ප්‍රශ්නය ජනතාව ඇන්දීමේ ප්‍රශ්නයක් නිසයි අහන්නෙ. සජිත් ප්‍රේමදාස මහත්තයා එදා කියනවා, රජ මන්දිර සියල්ල තාක්ෂණික විද්‍යා පීඨ බවට පත් කරනවා කියලා. මේවා මේ සාම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු නේද?

නෑ. මට දෙන්න තියෙන උත්තරේ, එතුමා තමයි ඒ කතාව කිව්වෙ. එතුමා ඇමැති ධූර දරන කාලෙත් විපක්ෂ නායකවරයා හැටියට අදටත් මේ නිවාස භාවිත කරන්නෙ නෑ. ඒ නිසා අනාගතේ එතුමා බාරගන්නත් අකැමැති ඇති. ඉතින් ඒවා පාවිච්චි කරන්නෙ නැත්නම් තාක්ෂණය ඉගෙන ගන්න එකට භාවිත කරන එක ප්‍රශ්නයක් නෑනෙ. 

Q බලය ලබාගැනීමට යාමේදී විවිධ තරාතිරම්වල මිනිස්සු තමාගේ කණ්ඩායම්වලට එකතු කර ගන්න වෙනවා. ඒක තමයි උපාය මාර්ගය. හැබැයි ජෙනරල් දයා රත්නායක පක්ෂයට ආවාම පක්ෂයෙ සභාපති මාධ්‍ය සාකච්ඡා තියලා බණිනවා. දැන් මේකට නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්න එපා. මේක තනිකරම තනි කැමැත්ත. මොකක්ද මේ වැඩේ?

1990න් පස්සෙ කට්ටිය එකතුවෙලා සන්ධාන හදන්නෙ නැතුව බලයට ආපු අවස්ථා නෑ. සන්ධාන නැතිව ආණ්ඩු හැදිලා නෑ. අනික සන්ධාන හදද්දි එක එක්කෙනාගෙ මත වැඩක් නෑ. ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් දෙවතාවක් බලය පවරලා තියෙනවා නායකතුමාට. ඔබට මතක ඇති 2015ත් එක්සත් ජාතික පෙරමුණ හැදුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාව ජනාධිපති කරන්න. ඉතිහාසයේ ඉඳලම පක්ෂ මාරු කරලා සන්ධාන හදපු අවස්ථා තියෙනවා. මතක තියාගන්න හැම පක්ෂයකම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු දෙපිරිසක් ඉන්නවා. අපි කියන්නෙ ඒ හොඳ මිනිස්සුන්ව අපි එකතු කරගන්න ඕනෑ.

Q ඔහොම එන මිනිස්සුන්ට බැන්නාම මිනිහෙක් එන්නෙ නෑනෙ පක්ෂයට?

මම නම් හිතන්නෙ නෑ එහෙම බය වෙයි කියලා. ඒක පක්ෂයෙ එක්කෙනෙක්ගෙ ප්‍රකාශයක් විතරයි. අනික් එක මතක තියාගන්න තව ගන්න තියෙනවා සහ තව ගන්නත් ඕනෑ. 

Q මරික්කාර්ට ලොකු ඉඩක් තියෙනවා නේද පක්ෂය ඇතුළෙ එක එක දේවල් සිද්ධ කරන්න. ඒවාට වටිනාකමක් දෙනවද පක්ෂය?

මම දෙවැනි පාර පාර්ලිමේන්තු ආවා. දැන් ඡන්දෙකුත් ළඟයි. එතකොට දේශපාලනය කියන්නෙ බලය ලබාගැනීම. මගේ පක්ෂය වෙනුවෙන් බලය ලබාගන්න ඕනෑම දෙයක් මම සිදු කරනවා. ඒ වෙනුවෙන් මම විතරක් නෙවෙයි, හැමෝම කැපවෙන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය අපෙන් වැඩ ගත්තෙ නෑ. මේකෙන් වැඩ ගන්නවා. 2018 පළාත් පාලන මැතිවරණයෙන් සියලුම ආසන එක්සත් ජාතික පක්ෂය පරාජය වෙද්දි කොළොන්නාව ආසනය දිනෙව්ව එකම මනුස්සයා මම. ඒත් අපේ වටිනාකම එජාපයට තිබුණෙ නෑ.

I ගයාන් ගාල්ලගේ

 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00