- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක
Q අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ලංකාවේ විශාලතම සන්ධානය හැදුවෙ. ඒ වගේම දිනුවෙ. දැන් කාලයක් හුදෙකලා වුණු ශ්රීලනිපය නැවතත් සන්ධානයක් නිර්මාණය කරන්න යනවා. කොහොමද අලුත් සන්ධානය?
ඔබ කිව්වා වගේ ඉතිහාසයේ වැඩිම සන්ධාන හදපු පක්ෂය වගේම ඒ සන්ධාන දිනෙව්ව පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ. ඉදිරියේදි මැතිවරණ සමයක් එනවා. ඒකෙනුත් වැඩියෙන්ම ව්‍යවස්ථානුකූලව අවස්ථාව තියෙන්නෙ ජනාධිපතිවරණය. ඉතින් හැම පක්ෂයක්ම මේ මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නෙ. ඉතින් අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉතිහාසයේ වගේම සන්ධානය නැවත ශක්තිමත් කරන්න කටයුතු කරමින් යන්නෙ.
Q අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සන්ධාන දෙකක ලකුණු තියෙනවා. ඒ පුටුව සහ බුලත් කොළය. අපිට ආරංචි හැටියට පොදුජන පෙරමුණින් තමයි ඔබලා එන්නෙ. ඔබ කියන්නකො කෙළින්ම මොකෙන්ද ඉල්ලන්නෙ කියලා?
අපිට අත ලකුණ, පුටුව, බුලත් කොළය ලකුණු ටික තියෙනවා. අපි මේ වෙද්දි සෑම පක්ෂයක් එක්කම සන්ධානය හදන වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් යන්නෙ. අපි දන්නවා පහුගිය කාලෙ ඡන්ද ඉල්ලපු කණ්ඩායම් පක්ෂ අභ්‍යන්තරයෙ විවිධ ප්‍රශ්න හදාගෙන ඔවුන් දැන් වෙනම කටයුතු කරමින් ඉන්නෙ. ඒ නිසා මේ හැමෝම එකතු කරගෙන ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් ලකුණ මොකක්ද කියන එක අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් යන්නෙ.
Q අපි දන්නවා පහුගිය කාලෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක තිබුණු ප්‍රශ්නයට චන්ද්‍රිකා මැතිනිය පක්ෂයෙ අභ්‍යන්තර කටයුතුවලින් ඈත්වෙලා හිටියා. ඒත් නැවතත් ඇය දේශපාලනයට පිවිසෙන්න මේ සන්ධානය හරහා කටයුතු කරන බව අපිට දැනගන්න තියෙනවා. ඒක ඇත්තද?
පහුගිය කාලෙ කට්ටියක් වැරදි දෙයක් තේරුම් අරන් හිටියා, චන්ද්‍රිකා මැතිනිය අපිත් එක්ක නැහැ කියලා. අපි එදා ඉඳන් කිව්ව දෙයක් තමයි එතුමියව පක්ෂයෙන් ඉවත් කරලා තිබුණෙ නෑ. හැබැයි ඔබ කියන කතාව ඇත්ත. අපි අතරේ යම් යම් මත ගැටුම් තිබුණා. නමුත් අද වෙද්දි මැතිනිය අපේ පක්ෂයෙ අනුසාශිිකාව විදිහට කටයුතු කරනවා. කියන්න ඕනෑ ඉදිරියේදි මේ රටේ හිටිය ජනාධිපතිවරු දෙන්නෙක් මේ සන්ධානයේ නායකත්වය දරනවා ඔවුන්ගේ දැනුම හරහා මේ රට නිවැරදි මාවතකට ගෙනියන්න.
Q මෙවර පොහොට්ටුවෙ සහයෝගය නැද්ද?
ඇත්තටම පොහොට්ටුව කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදරින් එළියට බැහැලා ගිය කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමට නියමිතයි.
Q අපි දන්නවා ඔබලගේ සන්ධානයත් එක්ක විමල් ලංසා පාර්ශ්වයත් එකතු වෙන්න සූදානම්. හැබැයි විමල් ලංසා පාර්ශ්වය මේ වෙලාවෙ සහයෝගය දක්වන්නෙ වර්තමාන ජනාධිපතිවරයට. ඒ කියන්නෙ මේ සන්ධානය වර්තමාන ජනාධිපතිවරයට සහයෝගය දක්වයිද?
අපි මේ වෙද්දි කිසිම ජනාධිපති අපේක්ෂකයකු තෝරගෙන නෑ. මේ වෙද්දි පේන්න නායකයො තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වර්තමාන ජනාධිපතිවරයා. අනෙක් කෙනා විපක්ෂ නායකතුමා. ඊළඟට අනුර කුමාර දිසානායක මහත්තයා. ඒ නිසා අපි තවම ජනාධිපති අපේක්ෂකයකු තෝරගෙන නෑ. අපිට මූලික අරමුණ තියෙන්නෙ සන්ධානය ශක්තිමත් කරන එක. ඊටපස්සෙ අපි කෙනෙක් ඉදිරිපත් කරනවද, නැත්නම් වෙන කෙනකුට සහයෝගය දක්වනවද කියන එක තීන්දු කරන්න පුළුවන්. අපි මේ වෙනකම් කිසිම අවසන් තීන්දුවක් අරගෙන නෑ.
Q අපි දන්නවා සන්ධානයක් හදන එක තමයි මූලික වැඩපිළිවෙළ කියලා. ඒත් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ මේ වෙලාවෙ සන්ධානයකට වඩා ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. එහෙම එකක් මේ සන්ධානයට තියෙනවද?
අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනෑ එදා මැතිවරණයක් තිබුණු මොහොතේ රටේ අභ්‍යන්තර තත්ත්වය නෙවෙයි අද මේ වෙලාවෙ රටේ තියෙන තත්ත්වය. ඒ වගේම ආර්ථික තත්ත්වයත් එහෙමයි. මේ වෙලාව කියන්නෙ කිසි දෙයක් ට්‍රයි කරලා බලන අවස්ථාවක් නෙවෙයි. මේ වෙලාවෙ රට ඉස්සරහට නැවත ගෙනියන්නෙ කොහොමද කියන සැලසුම තමයි බලාපොරොත්තු වෙන්නෙ. අන්න ඒ සැලසුම මොකක්ද කියන එක ජනතාවට පැහැදිලි කරලා දෙන එක. අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර අයගේ රට ගොඩනගන වැඩපිළිවෙළක් සමහර අපේක්ෂකයන්ගෙන් පේන්නෙ නෑ.
Q වර්තමාන ආණ්ඩුව එහෙම උත්සාහ ගන්නවා කියලා පේනවද?
මට පේනවා යම්කිසි උත්සාහයක් ගන්නවා කියලා. ඒ නිසා ජනතාවගෙන් බැණුනුත් අහනවා. ඒ යම් යම් තීන්දු තීරණ නිසා. ඒ හැරෙන්න අනාගත වැඩපිළිවෙළක් අපට කිසි කෙනෙක්ගෙන් පේන්නෙ නෑ. ඒ වගේම අපි ඉන්නවා ජනතාවට මීට වඩා වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි කියන තැන.
I ගයාන් ගාල්ලගේ