ජාතික නිදහස් දිනය 76 වැනි වරටත් අපි අභිමානයෙන් යුතුව අද දිනයේ (පෙබරවාරි 04 වැනිදා) සමරමු. ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි, විවිධ සංදර්ශන ඇතුළුව සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන නිදහසේ කාහළ නාදය දස දෙස පතුරා හැරීමට වසර 75ක් තිස්සේ අපි ක්‍රියා කර ඇත්තෙමු. ඉදිරියේදී ද එය එසේම වනු ඇත. ආපසු හැරී බලන කල අපට මේ ගැන සතුටු විය හැකිද? රටේ සාමාන්‍ය පොදු මහජනතාවට ද වඩා දේශපාලන නායකයන් ඒ පිළිබඳව තම හදවත්වලට තට්ටු කර හෘද සාක්ෂියෙන්ම විමසා බැලුව මැන යැයි අපි සිතමු.
මීට වසර එකහමාරකට පමණ පෙර තත්ත්වය සමඟ සැසඳුවොත් අප අද සිටින්නේ සාපේක්ෂව හොඳ මට්ටමකිනි. රටම අකර්මණ්‍ය කළ ජන අරගලයකට පසුව, තෙල්, ගෑස් පෝලිම්වල දින ගණන් ගත කරන්නට සිදුවූ කාලයක් පසුකර වරායට එන ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩබා ගැනීමටවත් නැති තරමට ඩොලර් සංචිතය හිඳී ආර්ථිකය දණින් වැටී සිටි තත්ත්වය සමඟ බලන විට අප අද සිටින්නේ තරමක් යහපත් තත්ත්වයකින් බව සැබෑය. එහෙත් 1948 දී නිදහස ලබාගත් රටක් වශයෙන් වසර 76 කට පසුව අප සිටින්නේ සැබෑ නිදහස යන අර්ථයෙන් බොහෝ දුර බැහැරක බව පිළිගත යුතු වෙයි. ඒ පිළිබඳව කල්පනා වෙද්දී නිදහස විචිත්‍රවත් ලෙස සැමරීමට තරම් මානසිකත්වයක් රටේ පොදු ජනතාව තුළ පවතින බවට කිසිදු විශ්වාසයක් ඇතිවන්නේ නැත. නිදහස සැමරීමට වැය කරන මුදල මහා නාස්තියක් වශයෙන් ජනතාව කල්පනා කරනු ඇත. ඒ ගැන හරි වැටහීමක් ලබාගැනීමට නම් එදා මෙදාතුර රටේ ආර්ථිකයට සිදුවූ විනාශය සරලව හෝ විමසිය යුතුය.
1948 වසරේදී ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් නිදහස ලබද්දී (එදා රට හැඳින්වූයේ ලංකාව - සිලෝන් වශයෙනි.) රටේ ආර්ථිකය පැවතුණේ සතුටුදායක මට්ටමකය. විදේශ විනිමය හුවමාරුවේදී බ්‍රිතාන්‍ය පවුමක රුපියලේ අගය 12.50ක් විය. අමෙරිකානු ඩොලරය රුපියල් 06කි. නිදහස ලබා වසර 75 පසුවෙද්දී එය පිළිවෙළින් රුපියල් 350 සහ 400ක මට්ටමේ පැවතුණි. ආර්ථික වශයෙන් අපට සැමරීමට දෙයක් නොමැති බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.
ආර්ථික වශයෙන් අපගේ රට පවතින්නේ අධික ණය බරක් දරා ගනිමිනි. ඒ හේතුවෙන් අයි.එම්.එෆ්. ණය සහන ලබාගැනීමට විවිධ කොන්දේසිවලට යටත් වූ රාජ්‍යයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51ක විදේශ ණය බරකින් තැලී මිරිකී සිටියි. එයින් ඩොලර් බිලියන 28ක් ඉදිරි වසර තුන තුළදී ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි. වසරකට ඩොලර් බිලියන 09 බැගින් ඒ අනුව ගෙවීමට නියමිත වෙයි.
රටේ ජනගහණයෙන් බහුතරයක් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දරමින් සිටිති. ආහාර, ඖෂධ, තෙල්, විදුලිය සහ ජලය සපයා ගැනීම ඔවුන්ට දැඩි ලෙස දුෂ්කර වී තිබේ. ඒ අනුව නිදහස සැමරීම සඳහා වැය කෙරෙන මුදල නාස්තියක් හැටියට ජනතාවට පෙනී යාම ගැන පුදුම විය යුතු නැත.
ශ්‍රී ලංකාව හා සමානව නිදහස දිනාගත් ඉන්දියාව අද ලෝකයේ සුපිරි ආර්ථික බලවතකු බවට පත්වෙමින් සිටී. ලොවේ ආර්ථික වර්ධන වේගය අතින් 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ඉන්දියාව අද සමත්ව සිටී. 2023 වසර වන විට එරට ඒකපුද්ගල වාර්ෂික ආදායම රුපියල් 98,374ක් වශයෙන් ඉහළ මට්ටමක පැවතිණි. 1950 වන විට එම අගය පැවතියේ රුපියල් 265 මට්ටමේය. ඉතා දුර්වල ආර්ථිකයක් තිබූ තම රට ඉදිරි කාලයේදී සෙසු ආර්ථික වශයෙන් බලවත් වෙමින් තිබෙන රටවල් මට්ටමට ගෙන එන බවට එරට දේශපාලන නායකයන් වරින් වර තම ජාතික නිදහස් දින උළෙලවලදී පොරොන්දු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එම පොරොන්දු වසර 75ක් ගතවෙද්දී බොහෝ දුරට ඉටුකර ගැනීමට හැකිවීම සම්බන්ධ හෝ එරට නායකයන්ට අවංකව සතුටු විය හැකිය. එහෙත් අපේ රට?
ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ දුප්පත් රටවල් 47 අතුරින් 20 වනි ස්ථානයේ රුඳී සිටියි. නිදහස ලබන විට කොරියාවටත් වඩා ඉහළින් සිටි ලංකාව වසර 75ක් ගත වී 76 වැනි නිදහස සමරද්දී එවන් දුර්වල ආර්ථිකයක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ රටේ බලයට පත් හැම ආණ්ඩුවක්ම වගකිව යුතුය. ඒ වගකීම ද සිතේ දරාගෙන අඩුම තරමින් ඉදිරියේදී හෝ රට පවතින තත්ත්වයෙන් ගොඩගැනීම පරම අධිෂ්ඨානය කර ගනිමින් මෙවර නිදහස් උළෙල සමරනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.