ඡන්දයක් කිට්ටු වෙනකොට මේ රටේ ආණ්ඩුත් විපක්ෂයත් ඒකට සෙට්වෙන ක්‍රම ගණනාවක් තිබේ. ඒකට ඇත්තේ කෙටි ඉතිහාසයක් නොව දීර්ඝ ඉතිහාසයකි. කොටින්ම විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දෙන්නත් පෙර සිටම ආණ්ඩුවත් විපක්ෂයත් ඡන්දයට පිට පොට ගසන ක්‍රම සහ විධි එළියට අදියි. බොහොමයක් අවස්ථාවල ආණ්ඩුව මර්දනය ඉස්සරහට දාගෙන ජනතාවට සහන සලසන යෝජනා ඉදිරිපත් කරයි. විපක්ෂය ජනතාව මෙහෙයවාගෙන ආණ්ඩුවට එරෙහිව පාරට බසියි. සරලව සිදුවෙන්නේ ඒකයි.
මේ වැනි විරෝධතා පෙළපාළිවලින් ඉතිහාසයට ගිය ඒවා කිහිපයක්ම තිබේ. ඒ අතුරින් මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටියදී ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව කොළඹ සිට දකුණට විහිදෙන ලෙසට සංවිධානය කළ හට්ටි මුට්ටි පොළොවේ ගැසූ පාද යාත්‍රාව හැර අනෙක් බොහොමයක් පෙළපාළි යූ.එන්.පි. මගින් සංවිධානය කිරීම විශේෂ දේශපාලන ක්‍රියාවලියකි. යූ.එන්.පිය එදා සිටම සැලකුණේ ධනපතියන්ගේ පක්ෂය හැටියටය. ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂ රටේ දුප්පතාගේ පක්ෂ හැටියට ජනතාව අතරට යද්දී යූ.එන්.පිය රටේ ව්‍යාපාරිකයන්, වතු හිමියන් ඇතුළු ධනපති ප්‍රජාව නියෝජනය කරන බවට මතයක් ජනතාව අතරට ගියේය. ඒ කාලේ යූ.එන්.පී. එකට එරෙහි ලොකුම සටන් පාඨයක් වූයේ ''ධනපතියන් භංග වේවා'' යන්නයි. රටේ වෘත්තීය සමිති, කම්කරුවන් සහ අඩු ආදායම්ලාභීන් නියෝජනය කළ වාමාංශික පක්ෂ ''පීඩිතයන්ගේ පක්ෂ'' හැටියට හැඳින්විණි. ඒ සියල්ල දේශපාලන කාරණා මත පදනම් වූ ඒවා පමණි.
එහෙම තිබියදීත් රටේ විරෝධතා රුලි වැඩිම සංඛ්‍යාවක් සංවිධානය කිරීමට යූ.එන්.පියට හැකිවීම එම පක්ෂයේ සංවිධානාත්මක ශක්තිය පෙන්වීමක් විය. ඒ ශක්තියට එදා සිටම ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂ බය වී සිටියේය. එහෙම සංවිධානය කරන පෙළපාළි වැඩිදුර යාම වැළැක්වීම ඔවුන්ගේ දේශපාලන උපක්‍රමය වී තිබිණි. ඒකට හොඳම උදාහරණය 1957 ඔක්තෝබර් 03 වැනිදා ආරම්භ වූ ජේ.ආර්. ගේ ඓතිහාසික මහනුවර පාගමනයි.
මේ පාගමනට හේතු වූයේ ^56 දී බලයට පත් බණ්ඩාරනායක ආණ්ඩුව සහ උතුරේ දේශපාලන නායකයා වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක එස්.ජේ.පී. චෙල්වනායගම් අතර ඇතිකරගත් ගිවිසුමයි. එම ගිවිසුම රට පාවාදීමක් බවට හංවඩු ගැසූ යූ.එන්.පී. නායකයෝ එයට එරෙහිව කොළඹ සිට මහනුවර පාගමනක් සංවිධානය කළේය. දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජනතාව සමඟ විරෝධය පළකිරීම ජේ.ආර්. ගේ ඉලක්කය විය. මහනුවරට ළඟාවීමට තෝරාගත් දවස වූයේ ඔක්තෝබර් 08 වැනිදාය. එය පුන් පොහෝ දිනයක් විය. දවසකට සැතපුම් 12ක් බැගින් ගමන් කර 08 වැනිදා දළදා මාලිගාවට සැපත් වීම සැලැස්ම විය. මේ ගමන ජේ.ආර්. ගේ උවමනාව මත සංවිධානය කෙරුණත් එය යූ.එන්.පී. නායකයන් සියලු දෙනාම පාහේ එක්වී සිටියහ. එම්.ඩී. බණ්ඩා, ආනන්ද තිස්ස ද අල්විස්, වෛද්‍ය එම්.වී.පී. පීරිස් සහ රණසිංහ ප්‍රේමදාස කොළඹින් එම පාගමනට ආරම්භය දුන් පිරිස අතර සිටියහ. ^53 දී යූ.එන්.පියෙන් මතභේදාත්මක ලෙස ඉවත් වී දේශපාලනයෙන් විවේක ගෙන සිටි ඩඩ්ලි සේනානායක ද යළිත් යූ.එන්.පිය සමඟ එක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් ගමනේ ආරම්භයටම සහභාගි වී සිටියේය. එහෙත් පාගමනේ කිසිදු සංවිධාන කටයුත්තකට හෝ සැලසුම් කිරීමට හෝ ඩඩ්ලි සම්බන්ධ කර නොගැනීම කැපී පෙනුණි.
කොළඹදී ඇරඹුණු ගමනට පළමු ගල් පහර එල්ල වීමට වැඩි දුරක් යාමට සිදු වුණේ නැත. ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩදී මග දෙපස බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ ආධාරකරුවෝ රුස්ව සිට හූ තැබූහ. ඊළඟට ගල් පහරවල් එල්ල විය. ආණ්ඩුව පොලිසියට උපදෙස් ලබා දී තිබුණේ එම ගැටුම්වලට මැදිහත් නොවන ලෙසටය. කොහොමටත් ඒ කාලේ පොලිසිය අතේ දැන් කාලෙ වගේ අඩි තුනේ හතරේ බැටන් පොලු තිබුණේ නැත. කඳුළු ගෑස් තිබුණේද සීමිත ප්‍රමාණයකටය. හූ හඬ සහ ගල් පහර කාගෙනම පළමු දවසේ ගමන කඩවතදී අවසන් කෙරිණි. ආණ්ඩුවේ ආධාරකරුවන්ට එරෙහිව යූ.එන්.පී. පෙළපාළියේ සිටි මැරයන් පිරිසක් ප්‍රතිප්‍රහාර ලබාදුන් බවද සඳහන්ය. එසේම එදා ඔවුන් නවාතැන් ගත් නිවෙස්වලටද ගල් පහර එල්ල වී තිබිණි. පොලිසිය කිසිවක් කළේ නැත.
එහිදී ජේ.ආර්. ගේ බාල සොහොයුරු එච්.ඩබ්ලිව්. ජයවර්ධන කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති දිසානායක අමතා මේ ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව පියවර ගත්තේ නැත්තේ ඇයිදැයි අසා තිබිණි. ඔහුගේ පිළිතුර වී තිබුණේ තමන්ට ඒ සඳහා නියෝග ලැබී නොමැති බවය. එවිට එච්.ඩබ්ලිව්. ජයවර්ධන නීති පොතේ වගන්ති එකින් එක පැහැදිලි කර ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව දන්වා තිබිණි. ඉන්පසුව නිවෙස්වලට ආරක්ෂාව ලබා දීමට පොලිසිය ක්‍රියා කළේය.
හැබැයි දෙවැනි දවසේ අත්තනගල්ලට ළඟාවීමට පෙර සිටම මේ පෙළපාළියට දැඩි විරෝධයක් එල්ල කෙරිණි. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගම්පහ ශ්‍රීලනිප බලවතා වූ එස්.ඩී. බණ්ඩාරනායක කැඳවා කියා තිබුණේ ජේ.ආර්. ගේ ගමනට අත්තනගල්ලට ළඟාවීමට ඉඩ නොදිය යුතු බවය. එය තමන්ගේ දේශපාලන ආධිපත්‍යයට සිදුකෙරෙන අවමානයක් හැටියට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. පෙන්වා දී තිබිණි.
ගම්පහ ඉඹුල්ගොඩ දී එස්.ඩී. බණ්ඩාරනායකගේ කට්ටිය එකතු වී ජේ.ආර්. ලාගේ ගමනට දැඩි විරෝධයක් එල්ල කළහ. ගල් මුල් ප්‍රහාර මැද සෙරෙප්පු සපත්තු ප්‍රහාර ද එල්ල විය. කිසිවකු විසින් එල්ල කරන ලද සෙරෙප්පුවක් ජේ.ආර්. ගේ සිරුරේ වැදුණු බවටද තොරතුරු පළ විය. ඒ විරෝධය මැද මහනුවර පාගමන ගම්පහ ඉඹුල්ගොඩින් අවසන් විය. එස්.ඩී. බණ්ඩාරනායකට ''ඉඹුල්ගොඩ වීරයා'' යැයි නමක්ද පටබැඳුණි. පොලිසිය ද මැදිහත් වීමෙන් විශාල ගැටුමක් වැළකී ගිය අතර ජේ.ආර්. ලා පයින් ගමන නවත්වා වාහනවලින් නුවර ගියහ. නුවරට ගොස් බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට විරෝධය පළ කර ඒ ගිවිසුමට අනුව දිස්ත්‍රික් සභා පිහිටුවීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශයක් කළහ.
කෙසේ වුවත් ඒ ගිවිසුමට ද වැඩි ආයුෂක් නොතිබුණි. මෙරට සිංහල ජනතාවගෙන් සහ භික්ෂූන් වහන්සේලාගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් බණ්ඩාරනායක එම ගිවිසුමෙන් ඉවත් විය. එම ගිවිසුමට උතුරේ දෙමළ ජනතාවගෙන් ද විරෝධය එල්ල වී තිබිණි. එයට හේතු වී තිබුණේ එම ගිවිසුම යටතේ පිහිටුවන දිස්ත්‍රික් සභා හරහා තමන්ට අවශ්‍ය තරම් ස්වයං පාලන අයිතියක් නොලැබෙන බවට චෝදනා නැගීමයි.
යූ.එන්.පිය විපක්ෂයේ සිටියදී ඊට පසුවද මහජනතාව සහභාගි කරවාගෙන විරෝධතා පෙළපාළි සංවිධානය කළේය. ^77 මහ මැතිවරණයට පෙර ද එවැනි විරෝධතා සංවිධානය කළ යූ.එන්.පියේ බලපෑම් හේතුවෙන් රටේ දුම්රිය ගමනාගමනය සති ගණනාවක් ඇන හිටියේය. වෙනත් වැඩවර්ජන ද ක්‍රියාත්මක විය. අවසානයේ ^77 මැතිවරණයෙන් බලයේ සිටි සිරිමාවෝගේ රජය ආසන 08ට බැස්සේය.
හැබැයි යූ.එන්.පිය බලයට පැමිණි පසු මහජනතාවගේ විරෝධතා ඉවසුවේ නැත. ඉහළ යන ජීවන වියදමට සරිලන සේ රුපියල් 10කින් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා දියත් කළ ^80 ජූලි වර්ජනය හේතුවෙන් 40,000කට අධික පිරිසක් රජයේ රුකියාවලින් ඉවත් කරනු ලැබූහ. පසුව ලබාදුන් සහන කාලසීමාවකදී විශාල පිරිසක් යළි සේවයට වාර්තා කළත් ඇතැමුන්ට රුකියාව පමණක් නොව ජීවිත පවා අහිමි විය. එසේම රට පුරා විරෝධතා දිනයක් විපක්ෂය මගින් සංවිධානය කළ අතර එදින කොළඹට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමට ජේ.ආර්. යොදාගත්තේ පොලිසිය නොව තමන්ගේ මැර හමුදාවකි. එදින ඇතිවූ ගැටුම්වලදී එක් පුද්ගලයකුට ජීවිතය ද අහිමි විය. හැබැයි ආණ්ඩුව හොල්ලන්න විපක්ෂයට බැරි විය. ජේ.ආර්. ගේ ආණ්ඩුව ඇතිකර තිබූ ආර්ථික ප්‍රතිසංස්කරණත් ඒ හරහා විදේශ රුකියාවලට දොරටු විවෘත වීමත් විදෙස් ආයෝජන ලංකාවට පැමිණීමත් වැනි විවිධ හේතු නිසා ශක්තිමත් වී තිබූ ආර්ථිකය ජනතාවගේ ඇඟට දැනෙමින් තිබුණේය. එහෙම වෙලාවක ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කිරීම කළු ගලක ඔලුව ගහගැනීමකට දෙවැනි නොවීය. ඒ විරෝධතාවලින් වැටුණේ ආණ්ඩුව නොවේ විපක්ෂයයි.
චන්ද්‍රිකාගේ ආගමනයත් සමඟ බලය අහිමි වූ යූ.එන්.පිය ඊළඟට කොළඹට පාගමනක් සංවිධානය කළේ 2001 වසරේ ජනවාරි මාසයේය. ඒ වන විට යුද්ධය ඇතුළු විවිධ හේතු නිසා චන්ද්‍රිකාගේ පාලනය ජනතාවට එපා වෙමින් තිබුණේය. එය චන්ද්‍රිකාගේ දෙවැනි ධූර කාලයේ දෙවැනි වසර විය.
ඒ කොළඹ ගමනට නායකත්වය දුන්නේ එදා විපක්ෂ නායක වූ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි. එය ඉතා ශක්තිමත් ලෙස සංවිධානය කළේ එවකට පක්ෂයේ මහලේකම් වූ ගාමිණී අතුකෝරළ මහතාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කොළඹට ඇතුළු වන හැම සන්ධිස්ථානයකටම පොලිසිය සහ හමුදාව යොදවා මාර්ග බාධක ඇතිකර තිබූ අතර ගාමිණී අතුකෝරළ තම පිරිස ද කැටුව එම මාර්ග බාධක පෙරළාගෙන කොළඹට ඇතුළු විය. ඇතැම් ස්ථානවලදී පොලිසිය රබර් උණ්ඩ යොදා පෙළපාළිකරුවන්ට පහරදුන් අතර කඳුළු ගෑස් ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් පවා පෙළපාළිකරුවන්ට එල්ල කරනු ලැබීය. නමුත්ඒ බාධක බිඳගෙන කොළඹට ආ යූ.එන්.පී. ආධාරකරුවන් පිරිවරාගෙන රුස්වීමක් පැවැත්වීමට පවා යූ.එන්.පියට එදා හැකි විය.
එම වසර අවසානයේ 2001 දෙසැම්බර් 05 වැනිදා තිබූ මහ මැතිවරණයේදී චන්ද්‍රිකාගේ පොදුජන පෙරමුණ පරාජයට පත්වී යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් එක්සත් ජාතික පෙරමුණ ජය ගත්තේය. ඒ ආණ්ඩුව වසර දෙකහමාරකදී බිඳවට්ටා යළිත් ආණ්ඩුවක් හදාගත් චන්ද්‍රිකා 2005 දී මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දී එම ජනාධිපතිවරණය ජය ගැනීමටද කටයුතු කළාය.
ඒ ජනාධිපතිවරණයට කලින් යූ.එන්.පිය තවත් පාගමනක් සංවිධානය කළේය. ඒ 2005 ජනාධිපතිවරණයට පෙර කතරගම සිට කොළඹටය. ඒ සඳහා විශාල පිරිසක් ඒ ඒ ප්‍රදේශවලින් එක්වූ අතර දින ගණනාවකට පසුව කොළඹ නගර සභා පිටියේදී රනිල් වික්‍රමසිංහ එදා සිටි විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් විශාල රුලියක්ද පැවැත්වුණි. එහෙම කළත් ඊළඟට තැබූ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහට නොහැකි විය. මහින්ද රාජපක්ෂ නූලෙන් දිනුවේය.
ඒ කාලයේ දේශපාලන කරළියේ තව දෙයක් වුණේ 2005 දී ජනාධිපතිවරණයක් ඉල්ලා ජවිපෙ නඩු දමා තිබීමය. චන්ද්‍රිකා දෙවැනි ධූර කාලය සඳහා දිව්රුම් දීම සිදු කළ දිනය සම්බන්ධයෙන් මතු වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් මෙසේ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා උසාවි යාමට සිදුව තිබිණි. ජනතාව මේ සිදුවීම් දෙස බලා කිව්වේ ''ජනාධිපතිවරණය ඉල්ලලා යූ.එන්.පිය පෙළපාළි ගියා.. ජේ.වී.පී. එක නඩු දැම්මා. ඒ වුණාට අන්තිමට දිනුවේ මහින්ද'' කියාය.
එහෙම පෙළපාළි අතීතයකින් ආපු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පස්සේ පෙළපාළිකාරයන්ට කරන දේ පසුගියදා සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් හඳුන්වා දී තිබුණේ ජනාධිපති රනිල් විපක්ෂයේ ඉන්නකොට ප්‍රජාතන්ත්‍රවාදීයි. බලයට ආවාම ඒකාධිපතියි කියලාය. පහුගියදා සජබ සංවිධානය කළ පෙළපාළියට එල්ල වූ ජලය සහ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසුව තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී මරික්කාර් එහෙම කියා තිබුණි.
''රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂයේ ඉන්නකොට සහන දෙන්නෙ නැත්නම් පාරට බහින්න, විරෝධතා පවත්වන්න කියලා මේවා අපට පුරුදු කළා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ වගේ දේවල් කරන්න ඕනෑ කිව්වේ එතුමා. මේ බැස්සුවේ ඒ ක්‍රමය තමයි. අපිට මීටර් 200ක් 300ක් ඉදිරියට යන්න බැරි මර්දනකාරී තත්ත්වයක් නම් තියෙන්නේ. ජාත්‍යන්තරය කියයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලා. ඔහොම නොවෙයි කොහොම මර්දනයක් ආවත් අපි සටන අත් අරින්නේ නෑ.''
මේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙතෙක් නිහඬ චරිතයකට ගොනු වී සිටි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ද සජබ පෙළපාළියට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව සැර කතාවක් කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ද විවේචනය කරමිනි.
''අවුරුදු 26ක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටි කාපු මිනිස්සු තමයි 30 වැනිදා කොළඹට ආවේ. ඒ ආපු ජනතාවට රනිල් වික්‍රමසිංහ, ටිරාන් අලස්ගේ පොලිස් හමුදාව යොදවලා ප්‍රහාරයක් එල්ල කළා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඓතිහාසික දිනයක්. ඉතිහාසයේ දරුවන්ට පහර දුන් ආණ්ඩුවක්, පොලිස් ඇමැති කෙනෙක්, ජනාධිපතිවරයෙක් අපි දැක්කෙ නෑ. මහජන පුස්තකාලයට චෙස් තරගවලට ආපු දරුවන්ටත් පොලිසිය කඳුළු ගෑස් එල්ල කළා. ආණ්ඩුව ගෙදර යවනකම් ජනතාව සමඟ එකතුවෙලා විරෝධතා ව්‍යාපාර දිගටම කරගෙන යනවා.''
සජබ කියන මේ කතාවලට මේ තරම් කාලයක් යූ.එන්.පිය වෙනුවෙන් රටේ පෙළපාළි ගිය, දැන් සජබට එකතුවෙලා ඉන්න යූ.එන්.පී. කාරයන් ඉදිරියේදී කොහොම ප්‍රතිචාරයක් දක්වයි දැයි කියන්න බැරිය. ජේ.ආර්. බලය තිබියදී විරෝධතාකරුවන්ට දුවන්න ගැහැව්වේ රටේ ශක්තිමත් ආර්ථිකයක් තිබියදීය. දැන් ආර්ථික තත්ත්වයෙන් ජනතාව ඉන්නේ හෙම්බත් වී තැලී පොඩිවෙලා ගිහින්ය. එදා ජේ.ආර්. ගේ න්‍යාය මෙදා ඒ ආකාරයටම ක්‍රියාවේ යොදවන්න ගිහින් ජනාධිපතිවරණයේදී කුමක් වේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ගණන් හදාගෙන ඉන්නවා දැයි දැනගන්නට නැත. හැබැයි ජනාධිපතිවරණයට තව ඇත්තේ අතේ ඇඟිලිවලින් ගණන් කළ හැකි මාස ගණනක් පමණක් බව නම් ජනාධිපතිවරයා අප්‍රමාදව තේරුම් ගත යුතුය.
- ශශීන්ද්‍ර