2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අපි ඉන්දියාවට ගිය එක ගැන සමහරු ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

ජාතික ජනබලවේගය - සුනිල් හඳුන්නෙත්ති 

 

  • රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අපි ළඟ ගැති ප්‍රතිපත්තියක් නෑ
  • රටේ නායකයා වෙන්නේ අනුර සහෝදරයද කියන එක තීරණය කරන්නේ අපේ රටේ ජනතාවයි
  • ඉන්දියා ගමන ගැන පුදුම වෙන්නේ අතීතයේ මිනිස්සු

Q අපි දැක්කා අනුර කුමාර සහෝදරයයි, ඔබලගේ පක්ෂයේ කණ්ඩායමකුයි ඉන්දියාවේ සංචාරයට ගියා. බොහෝ අය ඒ සම්බන්ධයෙන් පුදුම වෙලා තියෙන්නේ. මට දැනගන්න ඕනෑ ඒ ගමනේ අරමුණ සහ ප්‍රතිලාභ කොහොමද කියලා?

මේ ගමනේ ප්‍රතිලාභ බලාගන්න වෙන්නේ ඉදිරියට. දැන්ම ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මේ ගමන ගැන කට්ටිය පුදුම වෙන එක ගැන අපිට පුදුමයක් නෑ. ඔය පුදුම වෙන්නේ අතීතයේ මිනිස්සු. අපි වර්තමානයේ අනාගතයේ ජීවත් වෙන අය. සමහර අයට ලෝක ගෝලය කැරකෙන්නේ නෑ. එක තැන තියෙන්නේ. ගොඩක් අය ඉන්නේ අසූ ගණන්වල. එහෙම බලපුවම අපිට වෙන රටකට යන්න බෑ.

Q ගොඩක් අය පුදුම වෙන්නේ ඔබලගේ ඉන්දියානු විරෝධයක් තිබිලා ඒක හදිසියේ වෙනස් වීම ගැන?

අපිට ඉන්දියානු විරෝධයක් නෑ. ඉන්දියාවේ ජනතාව එක්ක තරහකුත් නෑ. අපේ අසල්වැසි රට. අපේ ආදි මුතුන් මිත්තෝ පවා ආවේ ඉන්දියාවෙන්. ඒ නිසා අපිට ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ.

Q ඒ කියන්නේ ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ? 

මම මේ ටික කිව්වේ ඉන්දියානු සංචාරය අපට ලැබුණු නිසා නෙවෙයි. ඒ ඒ මොහොතවල විවිධ දේශපාලන ක්‍රියාමාර්ග තියෙනවා. එදා ඉන්දියාවේ රජිව් ගාන්ධිගේ ආණ්ඩුව බලහත්කාරයෙන් අපිට උඩින් පරිප්පු දැම්ම නිසා තමයි අපි ඒකට විරැද්ධ වුණේ. ඒක අපි අදත් හිතනවා, හෙටත් හිතනවා. මතක තියාගන්න ඉන්දියාව එක්ක තියෙන අපේ ගනුදෙනුවයි, ඉන්දියාවට යටත් වීමයි කියන්නේ දෙකක්. එදා අපි යටත් කරගත්ත ඉන්දියාවටත් විරැද්ධ වුණා, ඒ වගේම ඒකට යටත් වුණු ජේ.ආර්ගේ ආණ්ඩුවටත් අපි විරැද්ධ වුණා. ඒක දේශපාලන ක්‍රියාමාර්ගයක්. ඒ ක්‍රියාමාර්ගය නිසා හැමදාම ඉන්දියාව එක්ක තරහා වෙලා ඉන්න ඕනෑ නෑ. අනික අපි ඔය ගමන නොගියා නම් මොකද කියන්නේ කට්ටිය? අන්න රටක් එක්ක ගනුදෙනු කරන්න දන්නේ නෑ කියලා කියන්නේ.

Q ඔබේ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තියයි, විදේශ ප්‍රතිපත්තියයි දෙකක්?

මට කියන්නකෝ ඒ ප්‍රතිපත්ති දෙක?

Q ඔබේ දේශපාලන ප්‍රතිපත්තියේ කොටසක් නේද ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වීම? ඔබලා හිටියේ එකේ?

නෑනේ නෑනේ... ඒක දේශපාලනයේ ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒක දේශපාලන ක්‍රියාමාර්ගයේ කොටසක්. ප්‍රතිපත්තිය කියන්නේ සදාකාලික එකක්. හැබැයි දේශපාලන ක්‍රියාමාර්ගයේ කොටස විෂයානුබද්ධව කාලය අනුව වෙනස් වෙනවා.

Q දැන් ඔබලා පහුගිය කාලේ ඉන්දියානු සමාගම් මේ රටට එන්න එද්දී ආයෝජනය කරන්න ඒකට විරැද්ධ වුණා. මම අහන්නේ නෑ දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙනවද කියලා. හැබැයි ඔබලට හිතෙන්නේ නැද්ද ඉන්දියාව ඔබලව නම්ම ගන්න යනවා වගේ වැඩක් කියලා?

ඒක කියන්න ඕනෑ හරි ඒක කරන්න ඕනෑ නම්මගත්තට පස්සෙනේ. දැන්ම අහලා තේරැමක් නෑ. මොකද නම්මලද නැද්ද කියලා හොයාගන්න බෑනේ. අනුර සහෝදරයා එක එක ආයතනවලට ගියා කියලා දෙයි කියලා විශ්වාස කරන්න බෑ. දුන්නොත් බලමුකෝ.

Q ගොඩක් වෙලාවට ඉන්දියාව ඊළඟට බලය ලැබෙන්න පුළුවන් කණ්ඩායම එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඔබලා හිතනවද මේ ගමනත් එක්ක ඉන්දියාව ඔබලගේ ජයග්‍රහණයට දුන්න සහතිකයක් කියලා?

අනේ අපි එහෙම හිතන්නේ නෑ. අපි දැක්කා මේ රටේ මාධ්‍යයයි, ඉන්දියාවේ මාධ්‍යයයි අපිට සහතික දීලා තිබුණා. ඒත් අපි හිතන්නේ නෑ. අනික ඒක තීරණය කරන්න ඕනෑ ඉන්දියාව නෙවෙයි. අපේ රටේ නායකයා අනුර සහෝදරයා වෙන්න ඕනෑ කියලා තීරණය කරන්න ඕනෑ අපේ රටේ ජනතාව. ඉන්දියාව හරි චීනය හරි තීරණය කරනවා නම් ඡන්දයක් ඕනෑ නෑනේ.

Q ඔබලට ඉන්දියාවෙන් ඉඟියක් දුන්නද ඊළඟට බලයට එන්නේ ඔබල කියලා?

නෑ නෑ... හැබැයි අපේ රටේ ජනතාව නම් සහතිකයක් දෙනවා මේ පාර මොකෙක්වත් එපා, අපි දෙන්නේ මාලිමාවට කියල. අපේ රටේ ජනතාවගේ ඉඟිය ඒ අය තේරැම් අරන් ඇති.

Q මේ රටේ අනික් පක්ෂ ගොඩක් මේ ඉන්දියානු ගමන සම්බන්ධයෙන් විවේචනය කරනවා. ඒ ගැන අදහස?

අපි ඒවා ගණන් ගන්නේ නෑ. එයාලට රිදිලා ඉන්නේ. මොකද එයාලගේ දේවාලනේ එව්වා. ඒ එක එක්කෙනාට තියෙන්නෙ එක එක විදිහේ කුහකකම්. සමහර අයට පෞද්ගලික කුහකකම් ඇවිල්ලා. තව අයට තමන්ගේ වලව්වට අපි ගියේ ඇයි කියලා හිතනවා. ගොඩක් අය ඉන්නේ හිතේ අමාරැවෙන්. එයාලට මේ අනුර සහෝදරයා ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නෙ පන්තිමය කුහකකමක් තියෙනවා. ඒකනේ අනුර සහෝදරයා කෝට් එකක් අඳිනවට ඊර්ෂ්‍යා. එත් කෙහෙළියලා කෝට් ඇඳලා මොන කැත වැඩේ කළත් කමක් නෑ. හැබැයි ඉන්දියානු  බුද්ධිමතුන්ට අපි ස්තූතිවන්ත වෙනවා අපිව තක්සේරැ කරලා තියෙන විදිහ ගැන. මොකද අපිව එක්කන් තිරැපති ගියේ නෑ.

Q දැන් මේ රටේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවලින් පස්සේ හැම ආණ්ඩුවක්ම කලාපයේ බලවතා සමඟ ගැති වෙනවා. එක්කෝ චීනය, එක්කෝ ඉන්දියාව එක්ක. දැන් මිනිස්සු හිතන්නේ අනුර කියන්නේ චීනගැති පුද්ගලයෙක් කියලා. ඒත් ඔහු ඇයි ඉන්දියාවේ ගියේ කියලා හිතනවා. මම අහන්නේ ඔබලගේ තෝරා ගැනීම කොයි පැත්තද?

අන්න හොඳ ප්‍රශ්නයක්. ඔබ කිව්ව හරි. ඉස්සෙල්ලා හිටිය ආණ්ඩු හැමෝම ඔය කියන රටවල් එක්ක ගනුදෙනු කළා හෝ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් තියාගත්තේ නෑ. ඒ හැමෝටම තිබුණේ ඔබ කිව්වා වගේ ගැති ප්‍රතිපත්තියක්. ඒත් අපි එහෙම නෑ. අපි කාටවත් ගැති වෙන්නේ නෑ. අපි හැමදෙනා එක්කම ඉතාම යහපත් අන්දමින් රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනු කරනවා. අර ගැති ප්‍රතිපත්තියේ හිටිය අයට තමයි දැන් මේ ප්‍රශ්නය. ඒ නිසා ගැති ප්‍රතිපත්තියෙන් මිදිලා හැමදෙනාම එක්ක රාජ්‍ය තාන්ත්‍රිකව ගනුදෙනු කරන්න මේ පටන් ගත්තා. ඉස්සරහට තව තියෙනවා. බලාගෙන ඉන්න. 

I ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00