2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ජවිපෙට විතරයි සෙනඟ ගේන්න පුළුවන් කියන මිත්‍යා මතය අපි බින්දා

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

  • පවුල් දේශපාලනය ගැන මට තියෙනවා ලොකු අවුලක්
  • ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් එන්න පුළුවන්
  • ශ්‍රීලනිපයත් එක්ක සන්ධාන හදන එක ලේසි නෑ

Q මම දැක්කා පහුගිය කාලයේ ඔබ විවිධ ස්ථාන, විවිධ වේදිකාවල ඉන්නවා. ඒ හැම තැනක්ම දේශපාලන ව්‍යාපාර නියෝජනය කරන තැන්. මම අහන්නේ ඔබතුමා තැනක් හොයමින් ඉන්නවද තමන්ට සුදුසු?

මට එහෙම පෞද්ගලික අරමුණක් නෑ. ඒත් පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් කට්ටිය එකතු කර ගනිමින් ඉන්නේ. ඒ නිසා හැමෝම එක්කම අපි සාකච්ඡා කරනවා. බොහෝ තැන්වලට මට ආරාධනා ලැබෙනවා. ඒ ඇරෙන්න වෙන කිසිම සම්බන්ධයක් නෑ. අපි සමාන්තර දේශපාලන මත දරන අය. රටේ තියෙන ආර්ථික දේශපාලන ප්‍රශ්නයට ලැබෙන්න ඕනෑ විසඳුම ගැන අපි හැදෑරීමක් සිද්ධ කරනවා. ඒක තැනක් හොයමින් දුවනවා කියන්න බෑ. අපි දේශපාලනඥයෝ හැටියට අදහසක් ඉදිරිපත් කරන්න ඕනෑ. අපි හැමෝටම පොදු අදහස් වගේම වෙන වෙන අදහස් තියෙනවා. ඒ සියල්ල සාකච්ඡාවට බඳුන් විය යුතුයි කියලා තමයි අපි හිතන්නේ.

Q අපි දැක්කා පොහොට්ටුවෙන් අයින් වුණු පිරිස රුස්වීමක් කළා පහුගියදා ජාඇලදී. එතැන උග්‍රව රාජපක්ෂවාදී වෙලා හිටිය අයත් හිටියා. මම අහන්නේ දැන් ඔබලා පොහොට්ටුවේ නෙවෙයිද?

අපි මුල් අවස්ථාවේ පාර්ලිමේන්තු ආවේ පොහොට්ටුවෙන්. ඒක නෑ කියන්න බෑ. අපි 10 දෙනෙක් මුල් කාලේ ස්වාධීන මන්ත්‍රීවරු වුණා. වර්තමාන ජනාධිපතිතුමා ආපුවම අපිට ආරාධනා කළා ආණ්ඩුවට. මම සහභාගි වුණේ නෑ. ඒත් අපේ පිරිසක් ඒකට සහභාගි වුණා. ඒක අපේ එකඟතාවයෙන් වුණු දෙයක්. ඒ නිසා අපේ 10 දෙනාගේ සම්බන්ධය කැඩිලා නෑ. දේශපාලන භූමිය කාන්තාරයක් වෙලා වගේ තියෙන මොහොතක වුවමනා වුණා වැඩක් කරන්න. ඒ නිසයි ඕක කළේ.

Q ඉතින් සාර්ථකද වැඩේ?

මේ රටේ මිත්‍යා මත කිහිපයක් තිබුණා පහුගිය ටිකේ. ඒ තමයි ජවිපෙට විතරයි මිනිස්සු එකතු කරන්න පුළුවන්. සෙනඟ එන්නේ නෑ කියලා. ඒ වගේම වෙන අයට රැස්වීම් කරන්න බෑ කියලා මතයක් තිබුණා. ඒ මතය බිඳහෙලීමට අපට අවශ්‍යතාවයක් තිබුණා. ඒ දේශපාලන අභියෝගය සිද්ධ කළේ අපි හැමෝම එකතු වෙලා.

Q ඒ රුස්වීමේ හිටිය ගොඩක් අය කියන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විය යුතුයි කියලා. ඒ වගේම එතුමට සහාය දෙන්න ඕනෑ කියලා. තවත් අය කියනවා මේ සන්ධානය රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්න හදපු එකක් කියලා. ඒක ඇත්තද?

එහෙම එකක් නෑ. අපි සාකච්ඡා කරමින් යන්නේ. ඒ වගේම සමහර අය ඍජුවම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් තවම ජනාධිපතිතුමා ඡන්දයකට එනවා කියලා කියලා නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නය පසුවට කල් තියලයි අපි තියෙන්නේ. ලංකාවේ ජනාධිපතිවරණයක් ආවොත් අපට වෙනවා යම්කිසි අපේක්ෂකයකුට සහාය වෙන්න. ඒ අපේක්ෂකයා කවුද කියලා අපි තීරණය කරලා නෑ. අදහස් හැමෝම ගාව තියෙනවා. ඒවා සාර්ථක වෙන්නේ පොදුවේ අපි එක මතයකට ආවට පස්සේ. අපි බලාපොරොත්තු වුණේ අපි ගෙනියන අදහස තවදුරටත් ජනතාව සමඟින් ඉස්සරහට ගෙන යා යුතුයි කියන අදහසින් මිසක් කාටවත් උදව් කළ යුතුයි කියන අදහසකට අපි ආවේ නෑ.

Q අපි දැක්කා පොහොට්ටුව දැන් නාමල් රාජපක්ෂ මහත්තයා එක්ක ගෙයින් ගෙට යමින් ඉන්නවා. දැන් ඔබට පොහොට්ටුවෙන් ඒ වෙනුවෙන් ආරාධනයක් නැද්ද? ඒ අය එක්ක ගමනක් නැද්ද?

මට නම් ආරාධනයක් ලැබුණේ නෑ. මම ඒකට වැඩිය කැමැතිත් නෑ. ඇත්ත කතාව පොහොට්ටුව කියන පක්ෂයේ නෙවෙයි ඒ කියන ව්‍යාපාරය සහ ඒකේ ඉන්න ලොකු කට්ටිය සම්බන්ධයෙන් රටේ තියෙන්නේ වෙනම දේශපාලන අදහසක් සහ මතයක්. මම කාටවත් අපහාස කරනවා නෙවෙයි. ඔය පවුල් දේශපාලනය සහ පවුල විසින් පාලනය කිරීම ගැන මට තියෙනවා ලොකු අවුලක්. පක්ෂ විවෘත විය යුතුයි. ඒ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. ලංකාව ගත්තොත් කිසිම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නෑ. පක්ෂයේ නායකයා කියන විදිහට තමයි අනෙක් අයට වැඩ කරන්න වෙලා තියෙන්නේ. පවුල් දේශපාලනය ඇතුළේ තත්ත්වය තව භයානකයි. මොකද පවුලේ අය කියන දේවල් පවා අහන්න වෙනවා. ඒ නිසා අපි පිළිගන්නවා නව දේශපාලන රටාවක් බිහිවෙන්න ඕනෑ කියලා, අභ්‍යන්තර දේශපාලනය සහිත, තවදුරටත් පවුලෙන් පවුලට නොයෙන ක්‍රමයක්.

Q අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නව සන්ධාන හදාගෙන අලුත් ගමනක් පටන් ගන්න යනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ දැවැන්ත පෙරැළියක් කරපු දේශපාලන පක්ෂයක්. අභ්‍යන්තර අර්බුදය නිසා දෙකට මැද්දෙන් කඩලා ගියා. මේ රටේ සන්ධාන සංස්කෘතියේ ආරම්භකයා ශ්‍රීලනිපය. ඒ නිසා මේ වෙලාවේ ශ්‍රීලනිපය නායකයන්ට පුළුවන් වෙන්න ඕනෑ සම අදහස් දරන අය එකතු කරගෙන පුළුල් සන්ධානයක් හදන්න. ඒ සඳහා අපි යම් යම් සාකච්ඡා පවත්වනවා. ඒ අයට එකඟ වෙලත් තියෙනවා. හැබැයි සන්ධානයක් හදන එක ලේසි නෑ. විවිධ අදහස් තියෙන්නේ. ඒ නිසා අපි ඒකට උත්සාහ කරමින් යන්නේ.

Q අපි දන්නවා මේ වෙද්දි ප්‍රබල දේශපාලන නායකයො කිහිප දෙනෙක් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වදින්න බලාගෙන ඉන්නේ. ඔබ හිතන්නේ ඊළඟ හොඳම අපේක්ෂකයා කවුද?

ජනාධිපතිවරණයකට කලින් මහ මැතිවරණයක් එන්නත් පුළුවන්. ඊළඟ ජනාධිපති අපේක්ෂකයට තියෙන්නේ ආර්ථික අභිවෘද්ධිය. ඉස්සර වගේ පොරොන්දු දෙන්න කතා කියන්න බෑ. එහෙම කියන කාලයක් නෙවෙයි. මේක සංකීර්ණ කාලයක්. එක තැනකින් වැටුණොත් අපි සම්පූර්ණයෙන් වැටෙන්න පුළුවන්. වඩාත් හොඳ ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා අපි බලාගෙන ඉන්නවා. 

I ගයාන් ගාල්ලගේ