2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

සජබ තව කට්ටියක් එන්න ඉන්නවා

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

පාලිත රංගේ බණ්ඩාර (ලේකම් - එක්සත් ජාතික පක්ෂය)

 

  • ජවිපෙ එහෙම කිව්වට ඉන්දියාව එහෙම කියලා නැහැනේ
  • කලින් රටේ වෙච්ච දේ වලට ජනාධිපතිතුමා වගකිව යුතු නෑ
  • අපි හිතන්නේ මුලින් එන්නේ ජනාධිපතිවරණය කියලයි

Q බොහෝ අය දන්නවා මේ වසර මැතිවරණයක් එනවා කියලා. ගොඩක් අය කියන්නේ ඉක්මනින් මහ මැතිවරණයකට ආණ්ඩුව යයි කියලා. ඇත්තටම ඉස්සෙල්ලා තියෙන්නේ මොන මැතිවරණයද?

ව්‍යවස්ථානුකූලව පළමුව තියන්න ඕනෑ ජනාධිපතිවරණය. අපි හිතනවා ඉස්සෙල්ලම ජනාධිපතිවරණය තියයි කියලා.

Q ඔබලා ආණ්ඩුව සහ එජාපය නියෝජනය කරන පිරිස. ජනාධිපතිවරයා මොන වගේ මැතිවරණයකටද සූදානම් වෙලා ඉන්නේ?

ජනාධිපතිතුමා ජනාධිපතිවරණයකට සූදානම් වන බව දන්නවා. ඒ වෙනුවෙන් පක්ෂය වැඩ කටයුතු කරගෙන යනවා.‍

Q විපක්ෂ නායක ප්‍රමුඛ සජබය කියන්නේ ඊළඟ මැතිවරණයෙන් බලය එන්නේ ඔවුන්ට කියලා. ආණ්ඩුවට එහෙම තොරතුරු ඇවිල්ලා තියෙනවද?

2019 දිත් සජිත් ප්‍රේමදාස ඔහොම තමා කිව්වේ. ඒත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයෝ ගත්තම අන්ත පරාජය වුණු අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. කවුරු පරාජය වුණත් එච්චර අඩු ලංසුවකින් පරාජය වුණු අපේක්ෂකයෙක් නෑ. ඒ නිසා ඔය වගේ කතා කියලා වැඩක් නෑ. මොකද වුණේ කියලා අපි දන්නවා.

Q ඔබලා මැතිවරණය කල් දාන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

ව්‍යවස්ථා සංශෝධනයක් අපි දන්නේ නෑ. මෙච්චර කල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. එහෙම සංශෝධනයක් වෙනවා නම් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් මණ්ඩලයක් හැදෙන්න ඕනෑ. ඒ අය යෝජනා කරන්න ඕනෑ. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් ඇතුළත මේවා කරන්න බෑ. ඒ නිසා එවැනි තර්ක දුර්වල ළපටි වියේ බොළඳ තර්ක හැටියටයි මම දකින්නේ.

Q ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරයා හම්බවුණා කියලා කතාව යනවා. එතුමා ඔබලට එකතු වෙන්න යනවා කියලත් කියනවා. ඒකෙ ඇත්තක් තියෙනවද?

සරත් ෆොන්සේකා මහත්තයට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරන එක පුදුමයක් නෙමෙයි. එතුමා ජනාධිපති අපේක්ෂකයා වුණෙත්, අමාත්‍ය ධූර ලැබුවෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ නිසා එකට වැඩ කිරීම ලොකු දෙයක් නෙමෙයි.‍

Q පහුගිය ටිකේම කිව්වා සජබයේ අය ආණ්ඩුවට එනවා කියලා. කෝ ඒ අය?

හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, සරත් ෆොන්සේකා, ඒ අයත් සජබයේ. ඉතින් ඉස්සරහට තව එනවා.

Q අනුර කුමාර ඇතුළු සාමාජිකයන් පිළිගන්න ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය ගියා කියලා කට්ටිය විවිධ කතා කිව්වා. ඒක ආණ්ඩුව හිතලම කළ දෙයක් නේද?

අනුර දිසානායක මහත්තයා ඉන්දියාවට යන වෙලාවේ තානාපතිතුමිය ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා එතුමා ශ්‍රී ලංකා පුරවැසියෙක් හැටියට පක්ෂ නායකයෙක් හැටියට අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා.

Q ඒ සංචාරය එක්ක පිරිසක් පිළිගන්න දෙයක් තමයි ජයග්‍රහණය ගැන ඉඟියක් ඉන්දියාවෙන් පළ කළා කියලා. ඒක ගැන මොකද හිතන්නේ?

ඒක ජනතා විමුක්ති පෙරමුණ කියන එකනේ. ඉන්දියාව එහෙම එකක් කියලා නෑනේ. තව කට්ටියක් කියනවා අනුර කුමාර මහත්තයව ඉන්දියාව පූස් පැටියෙක් කළා කියලා. මොකද ඉන්දියාවේ ආයෝජන ගේනකොට අනුර කුමාරගේ කණ්ඩායම තමා උද්ඝෝෂණ කරන්නේ. ඉතින් ඒ අය ගෙනල්ලා හීලෑ කරගත්තා කියන්නත් පුළුවන්.

Q මාලිමාවෙන් එන චෝදනාවක් තමයි ඔබලා, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන කියන ඔක්කොම එකතුවෙලා සන්ධානයක් හදනවා කියන එක. ඒක ඇත්තක්ද?

අපි පැහැදිලිවම කතා කරන්නේ හැමෝම එකතුවෙලා ඒකාබද්ධ ආණ්ඩුවක් කරන හැටි. තනියම මේ තත්ත්වයෙන් රට ගොඩගන්න බෑ. හැම දෙනාගෙම ශක්තිය අවශ්‍යයයි.

Q ඔබලා පොහොට්ටුව එක්ක එකතුවෙලා යනවද? නැත්නම් ඒ අය තනි ගමනක් යයිද?

විවිධ මතවල ඉන්න අය ඉන්නවා. එජාපය එක්ක ඍජුව වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම අපෙන් ඈත්වෙලා වැඩ කරන අයත් ඉන්නවා. කණ්ඩායම කොහොමත් එකතුවෙලා ඉන්නවා.

Q ජනතාවට සහනයක් නැතුව ඡන්ද දිනන්න පුළුවන් වෙයිද? ජනතාව සහනයක් ඉල්ලන්නේ?

ආණ්ඩුවත් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහනයක් දෙන්න. ඒ සඳහා තමයි පවුල් ලක්ෂ 8 කට සහනාධාරත්, පවුල් ලක්ෂ 24කට අස්වැසුමත් ලබා දෙන්න තීරණය කළේ. සමෘද්ධි ආධාර 15000 දක්වා වැඩි කළෙත් ඒ නිසා. ඒකයි පවුල් ලක්ෂ 20ක ඔප්පු දෙන්නත් පටන් ගත්තෙ. ඉතින් සංචිතය පිරුණට පස්සේ බදු අයකිරීම් අඩු කරන්න පුළුවන් වෙයි. හැබැයි මේ දේවල්වලට ජනාධිපතිතුමා වගකිව යුතු නෑ. ඒකට වගකිව යුතු අය වෙනම ඉන්නවා.

Q ඊළඟ මැතිවරණ ජයග්‍රහණයේ එජාපය මොන වගේ තැනකද ඉන්නේ?

අපි  ඉස්සර අමාරු තැනක හිටියේ. දැන් වර්ධනයක් තියෙනවා. ඒ සඳහා අපි දීපව්‍යාප්තව වැඩ කරගෙන යනවා. අපිත් එක්ක පක්ෂවල අය, සංවිධායකවරු ගොඩක් එකතු වෙන්න බලන් ඉන්නවා.

I ගයාන් ගාල්ලගේ