ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් 70% කින් පමණ වැඩිකර ගැනීම පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කරන තත්ත්වයකට ඇදී ගොස් තිබේ. කාලයකට පසුව ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන් මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතිකළ විවාදාත්මක තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්ද පැන නැගී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා මහ බැංකු නිලධාරීන් අසාධාරණ ලෙස සිදු කරගෙන ඇති වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් නොසන්සුන් වෙනවා නම් එදිනෙදා කන බොන දේ සිට සියලු දේ සම්බන්ධයෙන් ප්‍රශ්නවලට මුහුණදෙන සාමාන්‍ය ජනතාව කොතරම් නොසන්සුන් විය යුතුද? එසේ නොවීම ගැන මහ බැංකුවේ නිලධාරීන් සතුටු විය යුතුය.
මහ බැංකුවේ නිලධාරීන් මේ ආකාරයට අසාධාරණ ලෙස ඉහළ ප්‍රතිශතයකින් වැටුප් ඉහළ දමා ගැනීම මුල් වරට හෙළිදරව් කරනු ලැබුවේ අපගේ ''දේශය'' පුවත්පත මගිනි. ''රුපියල් ලක්ෂ 16ක මාසික වැටුපක් ගන්න ආණ්ඩුවේ ලොක්කෙක්'' යන සිරස්තලය යටතේ පසුගිය 11 වැනිදා පළ කළ එම පුවතේ මේ වසරේ ඔහුගේ වැටුප් වැඩි වීම ලක්ෂ 7ක් බවද සඳහන් විය. රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක ලේකම්වරයකු ලබාගත් එම ලක්ෂ 07 වැටුප් වර්ධකයට පසුව එම ලේකම්වරයා ද්විතියන පදනමකින් සේවය කරන මහ බැංකුවේ සෙසු නිලධාරීන්ද මෙසේ 70% කින් වැටුප් වැඩි කරගෙන තිබෙන බව පසුව දැනගන්නට ලැබිණි. එම කතාව පාර්ලිමේන්තුව ඇතුළේ පත්තු වුණේ 70% වැටුප් වර්ධකය පිළිබඳ එකී තොරතුරු හෙළිවීමෙන් පසුවය.
මේ පඩි වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ලබා දී තිබුණේ අපූරු පිළිතුරකි. මහ බැංකුවේ නිලධාරීන් 99 දෙනකු 2022 - 2023 කාලසීමාව තුළ රට හැරගොස් ඇති බවත් ආදේශ කළ නොහැකි නිලධාරීන් රුක ගැනීමට නම් ඔවුන්ට වැටුප් වැඩි කිරීම් ලබා දිය යුතු බවත් ඔහු කියයි. එම නිලධාරීන් අදාළ තනතුරුවල රඳවා ගැනීමට නම් ඇතැම් තනතුරු සඳහා වැටුප් වැඩිකර දිය යුතු බවත් ඒ පිළිතුරේ සඳහන්ය. ඒ අතර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා තිබුණේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් බැවින් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීම් සම්බන්ධයෙන් රජයට වගකීමක් නැති බවය.
මේ පිළිතුරු ලබාදීම් පෙන්නුම් කරන්නේ මහ බැංකුවේ නිලධාරීන් අසාධාරණ ලෙස සිදුකරගත් වැටුප් වැඩිකර ගැනීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ''හැංගිමුත්තම්'' ක්‍රීඩාවේ නිරත වන බවකි. මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීම නොව මෙතැන ප්‍රධාන ගැටලුව ඔවුන් අසීමිත ලෙස රටේ පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය නොසලකා හරිමින් විශාල ප්‍රතිශතයකින් වැටුප් ඉහළ දමා ගැනීමයි. රටේ පොදු මහජනතාවට තම රැකියාවල සුරක්ෂිත බව පවා විශ්වාසයක් නොමැති, එසේම තුන්වේල දෙවේලට බැස ඇති, පාසල් යන දරුවන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීම ඉතාම අවම මට්ටමකට පත්ව ඇති අවස්ථාවක ඒ සියල්ල නොතකා හරිමින් තමන්ගේ හැන්දෙන් තමන්ගේ පිඟානට හැකි තරම් බෙදා ගැනීම කොතරම් සාධාරණ දැයි මේ නිලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු නොවේද?
ජනතාව අද මේ දුකට පත්ව සිටින්නේ රටේ සමස්ත ආර්ථිකය බරපතළ අර්බුදයකට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියටය. එම අර්බුදය ඇතිවන තුරු මහ බැංකුවේ ''ආදේශ කළ නොහැකි'' නිලධාරීන් කළේ මොන කෙංගෙඩියක් දැයි ජනතාව ප්‍රශ්න කරන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. රටේ ආර්ථික අර්බුදයට මේ නිලධාරීන්ගේ තිබෙන වගකීමෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නැත. එසේ තිබියදීත් අසාධාරණ ලෙස වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ලජ්ජා විය යුතුය.
මහ බැංකුව ස්වාධීන ආයතනයක් වීම හේතුවෙන් එහි නිලධාරීන්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් නැතැයි ප්‍රකාශ කළ නොහැකි බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. රටේ මූල්‍ය පාලන බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් මහ බැංකුව තම නිලධාරීන්ගේ වැටුප් මෙතරම් විශාල ප්‍රතිශතයකින් වැඩිකර ගනිද්දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබිණි.
තවත් අතෙකින් ''ආදේශ කළ නොහැකි'' නිලධාරීන් සිටින්නේ මහ බැංකුව තුළ පමණ ද යන ගැටලුව ද පැන නගී. ඇතැම් විෂය ක්ෂේත්‍රවල විශේෂයෙන් වෛද්‍ය අංශයේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුද ''ආදේශ කළ නොහැකි'' නිලධාරීහු වෙති. ඔවුන්ද 70% කින් වැටුප් වැඩි කිරීමට ඉල්ලා සිටියොත් ආණ්ඩුවට ගත හැකි පියවර කුමක්ද?