2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට ලොකු සූදානමක්

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 117
 
► එක්සත් ජාතික පක්ෂය
 
ජනාධිපතිවරණය කල් දැමීමේ වෑයමක් ඇති බවට බොහෝ අදහස් පළ වුවද ඒ අතර සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම ජනාධිපතිවරණයට සූදානම් වන බවට තොරතුරු ද හෙළි වෙයි. ජනාධිපති මාධ්‍ය අංශය මගින් ජනාධිපතිවරණය නියමිත දිනයේදී පැවැත්වෙන බවට නිකුත් වූ නිල ප්‍රකාශයට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමිටු රුස්වීමක් කැඳවා තිබිණි. එහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකට සමාජ මාධ්‍ය සබඳතා පවත්වාගෙන යාමේ වගකීම පවරනු ලැබීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ගොඩනැගෙන 'දැවැන්ත සන්ධානය' සඳහා සහාය ලබා දෙන සෙසු පක්ෂ සමඟ ඉදිරි කටයුතු කරගෙන යාමේ කාර්යය රවි කරුණානායකට පැවරිණි.
 
ඉන්පසුව දිනයක (15) ජනාධිපතිවරයා එජාප ජ්‍යෙෂ්ඨයන් සමඟ ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා ගණනාවක් පැවැත්වීය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මාර්තු මාසය අග වන විට සියලු දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කරන බවයි. එයින් 09 දෙනකුට නිශ්චිත කාර්යයන් සහ වගකීම් පවරා දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක, මනුෂ නානායක්කාර, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන, රවි කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් එසේ වගකීම් බාරදුන් අය අතර වෙති.
 
ඒ අතර පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානය ද යූ.එන්.පියේ ප්‍රචාරක ව්‍යාපාරය සිදු කරගෙන යමින් සිටියි. පොහොට්ටු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති රනිල්ගේ සහායට එකතු කර ගැනීම ලන්සාගේ සන්ධානයේ අරමුණ වුණත් තවමත් එය ඉටුකර ගැනීමට ඔවුන්ට හැකි වී නැත.
 
► සමගි ජන බලවේගය
 
මේ අතර සමගි ජන බලවේගය ද ජනාධිපතිවරණය සඳහා උපරිම සූදානමකින් කටයුතු කරයි. නායක සජිත් ප්‍රේමදාස පසුගිය සති කිහිපය තුළ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් ද ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් ද පක්ෂයට එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹුවේය. මේ හේතුවෙන් නායක සජිත් සහ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර විරසකයක් ද හටගෙන තිබේ. සරත් ෆොන්සේකා සජබට එකතු වූයේ එය පිහිටුවූ 2020 පෙබරවාරියේ දීය.
 
 
► ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පසුගිය සති කිහිපය තුළදී දිස්ත්‍රික් මට්ටමින් රුස්වීම් කිහිපයක් පැවැත්වීය. එසේම නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් 'දස බල සේනා' වැඩසටහන ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමින් සිදු කිරීමට ද පක්ෂය සැලසුම් කරමින් සිටී.
 
► ජාතික ජන බලවේගය
 
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ද මේ වන විට විශ්‍රාමික හමුදා නිලධාරින්ගෙන් සමන්විත අනු ඛණ්ඩයක් පිහිටුවා තිබෙන අතර ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් සිය කාර්යයන් අරඹා තිබේ. ඔවුන්ගේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඉන්දීය රජයෙන් ලැබූ නිල ආරාධනය හේතුවෙන් ඔහුට තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලැබීය. ඔහුට එහිදී වගකිව යුතු ප්‍රධානීන් හමුවීමට ඉඩ ලැබීම කැපී පෙනුණි.
 
එක්සත් ජනරජ පෙරමුණ
 
ඒ සමඟ එක්සත් ජනරජ පෙරමුණේ නායක/ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමේ සූදානමකින් සිටී. 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' හැටියට හඳුන්වමින් පොදු වැඩපිළිවෙළක් රටට හඳුන්වා දීමටද ඔහු කටයුතු කර තිබේ.
 
ඒ හැර සුප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටී.                  
  සන්ඩේ ටයිම්ස්