2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ඡන්ද කාලෙට එන විධායක වාදය

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

ජනාධිපතිවරණය පැවැත්වීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැති ප්‍රමුඛ වෙස්මිනිස්ටර් පාලන ක්‍රමයකට යාමත් සම්බන්ධයෙන් මේ දවස්වල දේශපාලන කරළිය තුළ කතා ගොඩකි. දැන්ම නැතිවුණත් ලබන අප්‍රේල් මාසයේදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට තම ස්ථාවරය පැවසීමට සිදුවීම වැළැක්විය නොහැක. මේ වෙනකොට බොහෝ දෙනකුට අමතකව තිබුණත් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ ජනාධිපති කොමිසමේ අන්තර්කාලීන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මාසයේදීය. හිටපු අගවිනිසුරුවරයකු වන ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම කමිටු වාර්තාවේ නිර්දේශ මොනවා වනු ඇතිදැයි දැන්ම කිව නොහැකිය.

ඒ කොහොම වුණත් මේ පිළිබඳ කරන විමසීම්වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ - පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් පසුගියදා අපූරු කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරණ ක්‍රමය අහෝසි කිරීම ගැන ''සන්ඩේ ටයිම්ස්'' කළ විමසුමකදී සාගර කියා තිබුණේ එය අහෝසි කිරීමට තම පක්ෂය සහාය දක්වන නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුව මුලින්ම ආමන්ත්‍රණය කළ යුතු බවය. තමන් කරන්න හදන දේ කුමක්දැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු බවත් ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අග්‍රාමාත්‍යවරයාගේ බලතල ඒ සමඟ ශක්තිමත් කළ යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් ඔහු කියා තිබිණි. ඒ වගේම එවැනි වෙනසකට යාමට කලින් ලංකාවේ මැතිවරණ ක්‍රමය පූර්ණ වෙනසකට භාජනය කිරීමත් මහ මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළත් එම පක්ෂයට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවන ආකාරයට එම මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

''පවතින දුර්වල මැතිවරණ ක්‍රමය යටතේ මහ මැතිවරණය පැවැත්වුවහොත් එය රට අරාජිකත්වය කරා යොමු කිරීමක් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දී නොතිබුණොත් සුළු පක්ෂවලට ආණ්ඩු තැනීමේ රජවරුන් බවට පත්වීමට ඉඩ සැලසෙනවා. මේ නිසා මැතිවරණ ප්‍රතිසංස්කරණ සංශෝධනයකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි සහාය දක්වන්නේ නෑ. වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව නැවෙන දුර්වල ආණ්ඩුවක් අපට අවශ්‍ය කරන්නෙ නෑ.''

ඒ වගේම අත්විය හැකි අවමන් සහගත පරාජයකට බියෙන් ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පොහොට්ටුව අකැමැත්තෙන් පසුවන බවට තිබෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ සාගර කාරියවසම් මෙහෙම කියා තිබිණි. ''බොහොමයක් දෙනා තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා බව ප්‍රකාශ කරමින් ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාර පටන් අරන් තිබෙනවා. අපි ඒ වගේ නොවේ. අපි අපේ පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ අන්තිම විනාඩියේ දී.''

වඩාත්ම වැදගත් වන්නේ සාගර ඊළඟට කළ සඳහනයි.

''මෑත කාලීන ඉතිහාසය පෙන්නුම් කර තිබෙනවා තරගයට අන්තිම මොහොතේ ඉදිරිපත් වෙන අපේක්ෂකයා තමයි ජය ගන්නෙ කියන එක. ඒක චන්ද්‍රිකාගේ සිට සිරිසේන දක්වා ගෝඨාභය දක්වා සත්‍යයක්. ගෝඨාභයගේ කේස් එක වුණේ පොහොට්ටුව ඔහුව ඉදිරිපත් කරන බව ජනතාව කිව්වත් අප ඔහුව අපේක්ෂකයා වශයෙන් තරගයට නිල වශයෙන් නම් කළේ පසුවයි. අවසන් මොහොතේ අපි අපේ හොඳම අපේක්ෂකයා තරගයට දානවා. ඔහු හොඳ ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා මේ ටික කිව්වේ දැඩි විශ්වාසයකින් බවද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණි. මේ කියන විදියට නම් විධායක ජනාධිපති ක්‍රමය ඡන්දයට පෙර අහෝසි කිරීමට පොහොට්ටුවේ සහාය ලැබෙනවා බොරුය. ඒ බව තවදුරටත් සනාථ වුණේ නාමල් රාජපක්ෂ කැලණි විහාරය වැඳ පුදා ගැනීමට ඇවිත් මාධ්‍යයට කළ ප්‍රකාශය නිසාය.

''ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුය. ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි. ඒ නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම. ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය නියමිත දිනයට පැවැත්වීමට. කවුරුන් කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කළත් අපි කලබල විය යුතු නැහැ. අපි සියලු දෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා.

පහුගිය කාලෙ අරගලය කළෙත් ව්‍යවස්ථාවට පටහැණිව ගිහින්. අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයව පත් කළෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කළ දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදිත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල් දාන්න බලයක් දීලා නෑ.

ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට නියමිත දිනට බලය ලැබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කතා වෙනවා. මට දේශපාලනය මතක කාලෙ ඉඳන් මම ඔය විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තියෙනවා. අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදිම ඔය ගැන පොරොන්දු දීලා තිබෙනවා. තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ. රටට සුදුසු ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පුළුවන්. නමුත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දාන්න උත්සාහ කරනවා නම් එය වැරදියි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අවුරුදු 45කට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. එතුමාට තිබෙන ලොකුම ආශිර්වාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනවා කියලා එදා එතුමා අපේ තාත්තට පවා චෝදනා කළා.''

නාමල් සැලකෙන්නේ පොහොට්ටුවේ උරුමය ඉදිරියට අරගෙන යන තරුණ පරපුරේ රාජපක්ෂ හැටියටයි. ඒක කොයි තරම් දුරකට සාර්ථක වෙයිද කියන එක ඉදිරි කාලය තුළදී තීරණය වනු ඇත. නමුත් මේ කතාවෙන් නාමල් රනිල්ගේ දේශපාලනයට වගේම මහින්දගේ දේශපාලනයටත් පොඩි ෂොට් එකක් දී තිබෙන බව පෙනී යයි. ඒ කොහොම වුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඊළඟ ජනාධිපතිවරණයට කලින් නම් පොහොට්ටුවෙන් සහායක් නොලැබෙන බව මේ කතාවෙනුත් තහවුරු කරයි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් කුරුණගල දී පැවති රැස්වීමක දී ප්‍රකාශ කර තිබුණේ ''ජනාධිපතිවරණය පැවැත්වීම මග හැරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහයක් දැරුවොත් ඔහුට ඔහුගේ ධූර කාලසීමාවටත් කලින්ම ගෙදර යන්න වෙනවා.'' කියලයි. සජබ නායක සජිත් දිගටම කියන්නේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තම පක්ෂයේ ස්ථාවරය වුණත් එය කළ යුත්තේ මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව විධායක ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දු කිසිම ජනාධිපති කෙනෙක් මේ දක්වා ඉටුකර නැති පොරොන්දුවක් බව මේ ඔක්කොම කතාවලින් පැහැදිලි වෙයි. ඒ විදියට බැලුවොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්න හදන්නේ මීට කලින් ජනාධිපතිවරු කවුරුත් නොකළ හැබැයි ඒ ඔක්කොම පොරොන්දු වූ විධායක ක්‍රමය අහෝසි කිරීමට අත ගැසීමයි. ඒ වුණත් ඒ වැඩේට අත ගහන්න යන්නේ අවාසිදායක වටපිටාවක වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ලොකුම අභියෝගයයි.

ඒ ගැන කතා කළොත් මුලින්ම කියැවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් බලයට පත් නොවීම නිසා එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට යාමට ඔහුට ජනතාව බලය දී නැති බවය. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරයකින් ඔහු ජනාධිපති වුණත් ඔහුගේ වගකීම ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම බවත් ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්තිය වුණේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම නිසා එය වෙනස් කිරීමට රනිල් මහතාට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නැති බවත් මීට කලින් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද පෙන්වා දී තිබුණි. ඒ වගේම විධායකය අහෝසි කිරීම සඳහා ගතවෙන කාලය අවිනිශ්චිත බැවින් ඒ සඳහා මොන යෝජනා මොන මොන කොමිෂන් සභා සහ සංවිධාන ඔස්සේ ඉදිරිපත් වුණත් මැතිවරණ කොමිසම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති නියම කාලය තුළදී ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය නිකුත් කරනු ඇති බවත් පැහැදිලිය. ඒක වළක්වන්න පාර්ලිමේන්තුව හරහා පනතක් ගෙන ඒමට කිසියම් උත්සාහයක් දැරුවත් ඒකට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් හෝ නාමල් රාජපක්ෂ හෝ සහාය නොදක්වන තත්ත්වයක් තුළ එය සාර්ථක කර ගැනීමට හැකියාවක් නැත. එහෙම උත්සාහයක් හැඳින්විය හැක්කේ උඩුගං බලා පිහිනීමක් හැටියට පමණි.

ඒ එක්කම තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන් පසුගිය 22 වැනිදා කළ මේ ප්‍රකාශය ද රටටම ලොකු පණිවුඩයක් ලබා දී තිබේ.

''වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා.''

සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිරිසක් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ කළ මේ ප්‍රකාශයෙන් පසුවත් උඩුගං බලා පිහිනනවා දැයි බලා සිටිය යුතුය.

I ශශීන්ද්‍ර

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00