රෝහිණී කවිරත්න - පාර්ලිමේන්තු මන්ත්රීනී සමගි ජනබලවේගය
►බොහොමයක් පක්ෂ කාන්තාවන්ට බෙදන්නේ වෙනම හැන්දකින්
►ජවිපෙ කරන්නේ ප්‍රශ්න කියන එකයි: අපි ඉන්නේ විසඳුම් දෙන තැනක
►මොන ඡන්දෙ තිබ්බත් අපි ඉන්නේ සූදානමෙන්
Q මේ මැතිවරණ වසරක්. කොහොමද සජබයේ සූදානම?
ඔව් මේ මැතිවරණ වර්ෂයක්. ඉස්සෙල්ලම තියෙන්නේ මහ මැතිවරණයක්ද, ජනාධිපතිවරණයක්ද කියන එක තියෙන්නේ ජනාධිපතිතුමාගේ අතේ. නමුත් අපි පක්ෂයක් හැටියට එම මැතිවරණ දෙකටම සූදානමින් ඉන්නේ. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පාක්ෂිකයන් දැනුවත් කිරීම් සිදුකරමින් යනවා. ප්‍රවර්ධන කටයුතුත් අපි සිදුකරමින් යනවා.
Q විශේෂයෙන් මැතිවරණ ජයග්‍රහණය සඳහා කාන්තාවගේ ඡන්දය හරිම වැදගත්. සජබයට එහෙම ඉල්ලුමක් කාන්තාවගෙන් තියෙනවද?
කාන්තාවන්ගේ ලොකූ කැමැත්තක් සජබය වෙනුවෙන් තියෙනවා. ඔබ දකින්න ඇති කාන්තා සමුළු රැසක් කළා. ඒ එකකදිවත් අපි පිටින් ගෙනාවේ නෑ. අදාළ දිස්ත්‍රික්කයේ කාන්තාවෝ තමා සහභාගි වුණේ. ඒ අය කැමැත්තෙන් ආවේ. කිසි දෙයක් දෙනවා කියලා නෙවෙයි. ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් ඒ අය ආවේ කැමැත්තෙන්. කාන්තාවෝ තමා මේ යුගයේ වැඩිම පීඩාවට ලක්වෙන පිරිස. මේ මැතිවරණයේදී තීරක ඡන්දය වෙන්නේ කාන්තාවෝ. මොකද කවුද ඉන්නේ කවුද ගෙදර යවන්නේ කියලා මේ පාර තීරණය කරන්නේ කාන්තාවෝ. මොකද ලොකූ පීඩාවක් කාන්තාවෝ විඳිනවා.
Q දැන් අපි දන්නවා ඔය වගේම වැඩිම කාන්තාවෝ පිරිසක් ජාතික ජනබලවේගයෙත් ඉන්නවා. ඇත්තටම කාන්තාවෝ ළං කරගන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන්නේ කොතැනද එතකොට?
මම ජාතික ජන බලවේගය විවේචනය කරනවා නෙවෙයි. නමුත් ඒ අය කරන්නේ ප්‍රශ්න කියන එක විතරයි. ප්‍රශ්න කියලා වැඩක් නෑ. කාන්තාවන්ට ඕනෑ ප්‍රශ්නවලට විසඳුමක්. අපි ඉන්නේ කාන්තාවන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් දෙන තැනක. ඒක අපි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා. ඒකයි අපේ වෙනස. අපි ප්‍රශ්න අල්ලගෙන බොරදියේ මාළු බෑමක් කරන්නේ නෑ. අපි කාන්තාවන්ට කියනවා ඔබේ තියෙන ප්රශ්නය මේකයි අපේ ආණ්ඩුවකදී මෙන්න මෙහෙම විසඳුම් ලබා දෙනවා කියලා. ඒ ගැන කාන්තාවෝ අවබෝධයෙන් ඉන්නේ.
Q කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට බොහෝ වෙලාවට ලොකු ඉඩක් ආණ්ඩුවකදි ලැබෙන්නේ නෑ. ඔබට අනුව ඔබේ ආණ්ඩුවකදි එහෙම තැනක් ලැබෙයිද?
අපි දන්නවා ඉතිහාසයේ ඉඳලා ගත්තම එම අමාත්‍යංශයට ලොකු තැනක් ලැබුණේ නෑ. දැන් මේ වෙද්දි ඒ අමාත්‍යංශය තියෙන්නෙ ජනාධිපතිවරයා භාරයේ. මම පෞද්ගලිකවම කැමැතියි එහෙම ජනාධිපතිවරයා යටතට ගන්නවට. හැබැයි ප්‍රතිපාදන වෙන් කරනකොට ජනාධිපතිවරයගේ ප්‍රතිපාදනවලට වැටෙන්න බෑ. ඒකට විශේෂ ප්රතිපාදනයක් වෙන් වෙන්න ඕනෑ. මොකද ප්‍රතිපාදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ. සමස්ත අයවැයෙන් අඩුම ප්‍රතිශතයක් තමයි වෙන් කරන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට. ගොඩක් ඒවා ප්‍රාග්ධන නෙවෙයි, පුනරාවර්තන වියදම් තියෙන්නේ. කාන්තා හා ළමා කටයුතු කියන්නේ මේ රටෙන් 75% ක් නියෝජනය වෙන අමාත්‍යංශයක්.
Q දැන් මොන දේ කිව්වත් ඔබලා නියෝජනය කරන පක්ෂවල පවා කාන්තාවන්ට තියෙන ඉඩකඩ අඩුයිනේ?
රටේ 51.8% ක කාන්තාවෝ වගේම 56% ක වැඩිම ඡන්ද දායකයෝ ඉන්නෙත් කාන්තාවෝ. සක්‍රීය වැඩවල ඉන්නෙත් කාන්තාවෝ. ඒ විතරක් නෙවෙයි, උද්ඝෝෂණවලට කාන්තාවෝ අරගෙන ගියත් තනතුරු ලබාදෙනකොට අමුතු හැන්දකින් බෙදන්නේ. මොනම පක්ෂයකවත් ඉහළ නිලතල ලබා දෙන්නේ නෑනේ. ඕනෑම පක්ෂයක ප්‍රධාන නිලතල දෙන්න යනකොට ටිකක් මැලිකම් දක්වනවා. අපි පාර්ලිමේන්තු සංසදය හැටියට මේ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළා. කාන්තාවන්ට පක්ෂවල ඉඩ ගන්න වැඩි දේවල් අවශ්‍ය නෑ, පක්ෂ නායකයන්ට පුළුවන් ඒවා කරන්න.
Q දැන් ඔබලගේ පක්ෂයේ එහෙම ඉඩක් තියෙනවද?
ඔව් අපේ පක්ෂයේ කාන්තාවන්ට විශාල ඉඩක් ලබා දීලා තියෙනවා. තලතා අතුකෝරළ මහත්මිය, චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය, මම, පක්ෂයේ තනතුරු දරනවා. මම සහකාර ලේකම්වරියක්. ඒත් මොනම පක්ෂයකවත් ලොකු තනතුරු කාන්තාවන්ට ලබා දීලා නෑ.
Q කාන්තාවන්ගේ යම් යම් සිදුවීම් නිසා සමහර කාලවල ප්‍රශ්න ඇතිවුණා. මේ හරහා කාන්තාවන්ට තමන්ගේ තැන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා නේද?
ඒක ඉතින් පිරිමි අයගෙත් වුණානේ. ඒ අයත් වැරදි කරනවා. ඒත් අඩු පිරිසක් ඉන්නේ. කාන්තාවන් නිසා කැපිලා පේනවා ඒ දේවල්. ඔබටත් පේන්න ඇත්තේ එහෙම. කොහොම වුණත් කාන්තාවෝ විතරක් නෙවෙයි පිරිමි අයගේ හැසිරීමෙත් ප්‍රශ්න තියෙනවා.
I ගයාන් ගාල්ලගේ