2024 මාර්තු 02 වන සෙනසුරාදා

ආර්ථික විප්ලව ගැන කතා කරන අයට රට කරන්න බෑ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 71

ගීතා කුමාරසිංහ - ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය

► තිබුණට වඩා හොඳ තැනකට ජනාධිපතිතුමා රට ගෙනාවා
► අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන්ට මාසෙකට අපි රු. 4500ක් දෙනවා
► කන බොන කෑමවල මිල අඩුවෙන්න ඕනෑ

Q ඔබ දැන් දේශපාලනයේ කාලයක් ඉන්නවා. ඔබට අනුව ගතවුණු සමය සහ වර්තමාන කාලය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

මම අතීතයේ ඉඳලා දේශපාලනයේ වෙච්ච හොඳ නරක බොහෝ දේවල් දැක්ක කෙනෙක්. නරක දේවල් සහ හොඳ දේවල් කොහොම වුණත් ඒ හැමදේකම ප්‍රතිලාභ විඳින්න වෙන්නේ ජනතාවට. ඒ අතරතුර තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ගෙනාවේ. එතුමා වෙනුවෙන් වැඩ කළා. මම පෞද්ගලිකව එතුමව දන්නේ හොඳ නිවිච්ච කෙනෙක් හැටියට. ඔහු සාධාරණ ජනාධිපතිවරයෙක්. ඒත් ඔහුගේ සමයේදී වැරදි ගොඩක් වුණා. ඒ වුණේ ඔහුගේ ළඟ ඉන්න අය නිසා. විශේෂයෙන් පොහොර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය වගේ දේවල් නිසා ඒ ආණ්ඩුව ලොකු ප්‍රශ්නවලට මුහුණ පෑවා. ඒකේ ප්‍රතිඵල විඳින්න වුණේ ජනාධිපතිවරයට. ඒ නිසා එතුමා ඉල්ලා අස්වුණා. ගොඩක් අයට කිව්වා මේක බාරගන්න කියලා. ඒත් කවුරුත් ආවේ නෑ. අවසානයේ වර්තමාන ජනාධිපතිතුමා මේක බාරගත්තා. ඔහුගෙන් පස්සේ තමයි මේ රට යම් ස්ථාවරයකට ආවේ.

Q ඔබ හිතනවද එය සාර්ථකයි කියලා?

මම හිතන්නේ නෑ 100% ක් ඒක සාර්ථකයි කියලා. මේ කාලයෙත් යම් යම් ප්‍රශ්න ආවා. විශේෂයෙන් එළවළු ප්‍රශ්නය වගේ. ඒත් ජනතාවට එදා විඳින්න වුණු ප්‍රශ්න ගොඩක් අඩුවුණා.

Q දැන් ඔබ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය. කාන්තාවෝ එහෙම අද තත්ත්වය ගැන සතුටෙන්ද ඉන්නේ?

මෙහෙමයි. මේ හැම තත්ත්වයක් නිසාම රටේ ඉන්න 54% ක් පමණ කාන්තාවෝ තමා විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණ පෑවේ. අපිට ගොඩක් දේවල් ලැබෙමින් තියෙන යුගයක තමයි සියල්ල නැතිවුණේ. ඒ නිසා අපි මේ යන යහපත් තත්ත්වය තවත් යහපත් තත්ත්වයක් වෙනුවෙන් ගෙනියන්න තමයි උත්සාහ කරන්න ඕනෑ.

Q ඔබ මේ ආණ්ඩුව ගැන තෘප්තිමත් නේද?

මෙහෙමයි. මේ ආණ්ඩුව ගැන මම තෘප්තිමත් විය යුතුයි. මම කියන්නේ මම විතරක් නෙවෙයි, රටේ ජනතාවත් ආණ්ඩුව ගැන තෘප්තිමත් වෙන්න ඕනෑ. ඒ කියන්නේ අපි මේ ඉතාම සතුටු වෙන්න ඕනෑ කාරණයක් නෙවෙයි. තිබුණට වඩා හොඳ තැනකට ආවනේ. ඒකයි මම කියන්නේ.

Q වර්තමාන ජනාධිපතිවරයා මේ රට යම් තැනකට ගෙනාව නිසා ඔහුට තව අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා ආණ්ඩු පක්ෂයේ ගොඩක් අය කියනවා. ඔබත් ඒ මතයෙම ඉන්නවද?

මමත් ඒ මතයෙම ඉන්නවා. මම ඉන්නේ ළමා හා කාන්තා කටයුතු බාර රාජ්‍ය ඇමැතිවරිය හැටියට. එතුමා මේ ළමයි සහ කාන්තාවෝ වෙනුවෙන් ලොකු වැඩපිළිවෙළක් සිදු කරල තියෙනවා. දැන් බලන්න එතුමා ගේන්න යන අලුත් පනත්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවයෙන් තිබිය යුතුයි කියන පනත ගේන්න යන්නේ. ඒක ඉක්මනින් අපි පාර්ලිමේන්තුවට ගේනවා. දරුවන්ට උදෑසන ආහාර දෙන්න තීරණය කරලා තියෙනවා.

Q එහෙම කරන්න වෙනවනේ. දරුවන්ට මන්දපෝෂණය කියලා කියනවනේ?

කැඳ උගුරක්වත් දුන්න නැති කෙනෙක්ට ඕක කියන්න ලේසියි. වතුර ෆිල්ටරයක් තියා වතුර උගුරක්වත් දීලා නෑ. ඒ නිසා අපි ඒක නැති කරන්න වැඩ පටන් ගත්තා. ගර්භනී මාතාවන් පෝෂණය කරලා ආරක්ෂා කරන්න වැඩක් පටන් ගන්නවා. ඒ අනුව මාස දහයටම එක් මාසයක් ගාණේ අපි 4500 බැගින් දෙනවා. අඩු ආදායම්ලාභී දුප්පත් අයට අපි දෙන්නේ. ඒ අයට අස්වැසුමත් හම්බවෙනවා. ළමයා හම්බවුණාම මාස හයක කිරි දෙන සමයටත් ඒ 4500 දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම අපි පෙර පාසල් සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කළා. ඒ අයට කන්න දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. මොකද සමහර ළමයි  ඉගෙන ගන්න එන්නේ රස කෑම කන්න. ඒක හොඳ දෙයක්. මොකද ඉගෙන ගන්න එන එකට උද්‍යෝගයක් වෙනවා.

Q දැන් ඔය දේවල් කරනවා වගේම ළමයින්ට සිදුවෙන අපයෝජනත් එන්න එන්න වැඩි වෙනවනේ?

අපිට මේක කොටස් තුනකට ගන්න පුළුවන්. අවුරුදු 5ට වඩා අඩු අය, 5ත් 16ත් අතර අය සහ 16ත් 18ත් අතර අය. පොඩිම ළමයින්ට ප්‍රශ්නය තමයි ඒ අයගේ මව්වරු ඔවුන් දාලා රට යනවා. අවුරුදු දෙකට වැඩි දරුවෝ ඉන්නවා නම් විදෙස්ගත වෙන්න අවසර දුන්නා. මේක තමයි ප්‍රශ්නය. ඒත් අපි දැන් මේක වෙනස් කරන්න යන්නේ. අවුරුදු පහ දක්වා දීර්ඝ කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ වගේම මේ වැරදිකරුවන්ට දෙන්න ඕනෑ දඬුවම් මදි. ඒ නිසා දඬුවම් වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වගේම නඩු කටයුතු දීර්ඝ ලෙස ඇදිලා යනවා. මේවා තමා ප්‍රශ්න. ඒ වගේම තව නීති ප්‍රශ්නයක් තියෙනවා 16ට වැඩි නම් ලිංගිකව හැසිරෙන්න පුළුවන් කියලා. හැබැයි 18 වෙනකල් විවාහ වෙන්න බෑ. මොකක්ද ඒකේ තේරුම. ඒ සිද්ධිය නිසා පිරිමි ළමයි බාල අපරාධකාරයෝ හැටියට හිරේ යනවා. ඒ වගේම ඒ පැමිණිලි තියෙන්නේ කැමැත්තෙන් අතවරයට ලක්වුණා කියලා. මොකක්ද මේ කතා. මෙන්න මේ දේවල් වෙනස් කරන්න ඕනෑ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා.

Q අවසාන වශයෙන් අහන්නේ ඔබ කාන්තාව නියෝජනය කරන කරන ඇමැතිවරියක්. ඒත් කාන්තාවන්ට මේ ජීවන අරගලය කරගෙන යන්න ලේසිද?

බෑ. කිසිසේත් ලේසි නෑ. ඒ නිසා කන බොන කෑමවල මිල අඩු වෙන්න ඕනෑ. ජනතාවට සහනයක් තියෙන්න ඕනෑ. ඒක මම පිළිගන්නවා. ඔය එක එක ආර්ථික විප්ලව කරන්නම් කියලා කියන අයට මේක කරන්න බෑ. එහෙම දෙයක් තියෙනවා නම් දැන් ආණ්ඩුවට කියන්න පුළුවන්නේ ඒක කරන්න කියලා. ඒත් කරන්න බෑ. ඒ නිසා මේක දැන් ටික ටික හරි තැනට වැටීගෙන යන්නේ.

I ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00