ශ්‍රී ලන්කන් ආයතනය යළිත් පුවත් මවමින් සිටී. එහෙම මැවෙන පුවත් හොඳ නම් අප කාටත් ආඩම්බර විය හැක. එය අපේ ජාතික ගුවන් සේවය බැවිනි. නමුත් මැවෙන්නෙම නරක පුවත්ය. එය අප කාගෙත් කනගාටුවට හේතු වී තිබේ. ඒ කනගාටුව ගුවන් තොටුපළේ දී කෝපයක් බවටද පත්වෙයි. තමන් යා යුතු ගුවන් යානය පැය ගණන් ප්‍රමාද වන විට හෝ ඒවා කැන්සල් කෙරෙන විට ඒ යානාවල මගීන් අතින් ආයතනයේ ගුණ වැයෙන්නේ ශුද්ධ සිංහලයෙනි. ඒ බැණුම් කොතරම් දරුණු තත්ත්වයකට වැටී ඇතිදැයි කිවහොත් පහුගිය දවසක ශ්‍රී ලන්කන් සේවකයෝ තමන්ගේ වැඩවර්ජන ඉතිහාසයට තවත් වැඩවර්ජනයක් එක් කළහ. හේතුව එකී ඇණුම් බැණුම් ඉවසා ගත නොහැකි වීමයි.
මේ සටහන තබන දිනයට පෙර දිනයේත් ගුවන් ගමන් තුනක් අවලංගු කෙරී තිබිණි. තව ගමන් වාර හතක් ප්‍රමාද වූ බවත් වාර්තා විය. ඒ හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතා පිළිබඳව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම් සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා මගීන් වෙත සිය කනගාටුව පළ කළ බවද සඳහන්ය. ඒ කනගාටුව පළ කරන අතරේ සභාපතිවරයා ශ්‍රී ලන්කන් ආයතනයට වැළඳී තිබෙන අට අනූවක් රෝග අතුරින් කිහිපයක් පිළිබඳව ද සඳහන් කර තිබිණි. තාක්ෂණික ගැටලු, ගුවන් යානා සඳහා අමතර කොටස් හිඟය, සේවක හිඟය සහ ගැටලු ඒ අතරින් ප්‍රධාන වන බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
මේ අතරවාරයේ ශ්‍රී ලන්කන් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බවද වාර්තා විය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන පරිදි ලබන 06 වැනිදා දක්වා කාලය දීර්ඝ කර තිබේ. නමුත් පසුගිය දෙසැම්බරයේ දී ආරම්භ වූ දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් අභිලාශ කැඳවීම මේ වන විට 05 වතාවක් දීර්ඝ කර තිබෙන අතර එතෙක් නොපැමිණි ආයෝජකයන් මේ වතාවේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු තැබීම මිරිඟුවක් පමණි.
විෂය භාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලන්කන් වෘත්තීය සමිති ඇතුළු නියෝජිතයන් පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලන්කන් නිකම් දුන්නත් ගන්න ආයෝජකයකු සොයාගත නොහැකි බවය. එම තත්ත්වයට ආයතනය වට්ටා දැමීමට වගකිව යුතු බවට අමාත්‍යවරයා වෘත්තීය සමිති නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. ආයතනයේ වැඩවර්ජන සහ ගුවන් ගමන් වාර කැන්සල් කිරීම් හේතුවෙන් ශ්‍රී ලන්කන් ආයතනය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය බින්දුවට වැටී ඇතැයි ද ඔහුගෙන් ප්‍රකාශ විය.
එහෙත් අමාත්‍යවරයාගේ එම කතාවට වෘත්තීය සමිති නියෝජිතයන් ද පිළිතුරු දෙමින් කියා තිබුණේ ශ්‍රී ලන්කන් ආයතනය මේ තරමට විනාශ වීමට වගකිව යුත්තේ දේශපාලකයන් බවය. ආයතනයේ උග්‍ර නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් ගුවන් යානා සංඛ්‍යාව ද සීමිත තත්ත්වයකට පත්ව තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
අමාත්‍යවරයාත් වෘත්තීය සමිති නිලධාරීනුත් අතර ඇතිවූ එම සංවාදය ශ්‍රී ලන්කන් ආයතනය වර්තමානයේ මුහුණ දී තිබෙන ඛේදවාචකයේ තරම පෙන්වයි. ඉතා පැහැදිලිවම පෙනී යන්නේ ශ්‍රී ලන්කන් ආයතනය යළි ගොඩනැගීම මේ පවතින ආර්ථික තත්ත්වය තුළ සිහිනයක් පමණක් බවය. අපේ රටේ ජාතික ගුවන් සේවය මේ ඉරණමට මුහුණ දී ඇත්තේ රටේ ජනතාවගේ වරදක් හේතුවෙන් නොවේ. පාලකයන්ගේ වරදිනි. එහෙත් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. ඔවුහු වසරකට රුපියල් කෝටි 600කට අධික මුදලක් තමන් ගෙවන බදුවලින් ශ්‍රී ලන්කන් ආයතනය නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා වැය කරති. මේ මොන අපරාධයක්ද?
අපේ ජාතික ගුවන් සේවය කාලයක් ඉතා හොඳින් ලාබ ලබමින් ක්‍රියාත්මක වූ ජාතික සම්පතක් වී තිබිණි. එමිරේට්ස් ආයතනය සමඟ එක් වී ලොව පුරා නමක් දිනා ගනිමින් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකන් ආයතනය මේ රට පාලනය කළ දේශපාලකයන් ඔවුන්ගේ ඇතැම් ඇම්බැට්ටයන් විසින් ලබා දෙන ලද වැරදි තොරතුරු මත පදනම් වී ගනු ලැබූ අමනෝඥ තීරණ හේතුවෙන් බලා සිටියදී කඩා වැටුණේය. දරාගත නොහැකි වියදමකින් නව ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කෙරිණි. ආයතනයක් තබා පෙට්ටි කඩයක් හෝ පාලනය කරගත හැකි දැනුමක් නොතිබූ සමීප ඥාතීන්ට ආයතනයේ පාලනය බාර දෙනු ලැබීය.
ඊට පසුව පැමිණි ආණ්ඩු ද පත් කළ නිලධාරීන් කෝපි බොමින්, බොරු වාර්තා සකස් කරමින් කාලය කා දැමුවා මිස ආයතනය ගොඩ ගැනීමට හෝ එය රටට වාසි සහගත ආකාරයට පෞද්ගලීකරණය කිරීමට හෝ ක්‍රියාමාර්ග ගත්තේ නැත. මේ හැම ආණ්ඩුවකම නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ද කැබිනට් අමාත්‍යවරයෙක් වී සිටියේය. එසේ ක්‍රියා කරමින් ආයතන වැට්ටුවේ වෘත්තීය සමිතිකාරයන් කියා දොස් නගා ඔහුට අත සෝදාගත හැකිද? අපේ ජාතික ගුවන් සේවයට මේ ඉරණම අත්කර දීමට දායක වූ කිසිවකුටත් මේ රටේ ජනතාව නම් කිසිදා සමාව නොදෙනු ඇත.