ආසියාවෙ රටවල දේශපාලනයත් බටහිර සහ යුරෝපීය රටවල දේශපාලනයත් එකිනෙකට වෙනස්ය. මේ හැම රටකම දේශපාලනයෙන් කෙරෙන්නේ රටකට අවශ්‍ය පාලකයන් තෝරාගැනීමත් රට ආර්ථිකව සහ සමාජයීය වශයෙන් දියුණුවට පත්කර ගැනීම සඳහා වැඩි දෙනකුට එකඟ විය හැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීමත්ය. හැබැයි දේශපාලනයේදී ආසියාවෙ රටවල් ක්‍රියා කරන විදියට බටහිර සහ යුරෝපයේ රටවල් ක්‍රියා කරන්නේ නැත. ආසියාව බොහෝ දුරට පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක නිරත වන අතර බටහිර සහ යුරෝපය ප්‍රතිපත්ති දේශපාලනයක නිරත වන බව බැලූ බැල්මට පෙනී යයි.
ඇතැම් යුරෝපීය රටවල මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හෝ පැවැත්වෙන දිනය සෙසු දිනවලින් වෙනස් වෙන්නේ නැත. ප්‍රචාරක ව්‍යාපාර නිශ්චිත කාලසීමාවකදී සිදුවෙන අතර ඡන්දයට ඉදිරිපත් වන නායකයන් අතර මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ සිදුකෙරෙන වාද විවාද මහජනතාවගේ අවධානයට යොමුවෙයි. පාලකයන් වෙනස් වීම ඒ රටවල ජනතාවගේ එදිනෙදා ජීවිත වෙනස් වීමට හේතු වන්නේ නැත.
ඒ රටවල එහෙම වුණත් ආසියාවේ රටවල තත්ත්වය ඊට වඩා වෙනස්ය. ආසියාවේ බොහොමයක් රටවල්වල දේශපාලනය රටේ ජනතාවගේ එදිනෙදා ජීවිත සමඟ දැඩි ලෙස බැඳී තිබේ. පූර්ව මැතිවරණ අවදියේදීත් පශ්චාත් මැතිවරණ අවදියේදී ගැටුම් කල කෝලාහල ඇතිවන්නේත් ඇතැම් අවස්ථාවල ඡන්දය පැවැත්වෙන දිනවලදී පවා ගැටුම් ඇතිවන්නේත් ඒ හේතුවෙනි. මැතිවරණ දූෂණ ක්‍රියා ආසියානු රටවල බහුලව සිදුවීමටත් එය හේතුවකි.
එහෙත් ආසියානු සහ යුරෝපීය රටවල්වලට අයත් වුණත් චීනය - රුසියාව සහ උතුරු කොරියාව වැනි රටවල බහු පාක්ෂික දේශපාලනයක් නැත. චීනයේත් උතුරු කොරියාවේත් එකම පාලක පක්ෂය හැමදාම රජ කරයි.
රුසියාවේ විපක්ෂ දේශපාලනයක් තිබුණත් පුටින් බලයට පත්වීමෙන් පසුව ගෙන යන්නේ දරදඬු පාලනයකි. විපක්ෂ නායකයා සිරගත කොට මැරෙන්න සලස්වා ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තහංචි පැනවීමට පවා පුටින්ගේ පාලනය ක්‍රියා කරමින් සිටියි. ඒ වගේම බටහිර සහ යුරෝපීය රටවල් යුක්‍රේන යුද්ධයට පටලවාගෙන තිබේ. මේ නිසා ඒ රටේ ද ඡන්දය පැවැත්වීම ගැන ජනතාවගේ උද්‍යෝගයක් හෝ උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. පුටින් විපක්ෂ ක්‍රියාකාරීන් සමූහ වශයෙන් මර්දනය නොකළත් විපක්ෂ නායකයා නිහඬ කරවීම තුළින් ප්‍රබල පණිවුඩයක් රටේ ජනතාවට ලබා දී තිබේ. තමන් විපක්ෂය නොඉවසන බවය.
මේ මාසයේ 15 – 17 දිනවල රුසියානු ඡන්දය පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී ලැබෙන ප්‍රතිඵලය කල් තබාම කිව හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. කෙසේ වුවද ඒ සඳහා විවිධ පක්ෂවලින් ඉදිරිපත් වීමට අපේක්ෂකයන් කිහිප දෙනකුම නම් ලබා දී තිබෙන අතර ඒ සමහරුන් පුටින්ගේම තෝරා ගැනීම් බවද කියති. හැබැයි පුටින් ඉදිරිපත් වන්නේ දේශපාලන පක්ෂයකින් නොවේ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. තවත් අපේක්ෂකයන් ගණනාවකට ඡන්දයට ඉදිරිපත් වීමට පුටින්ගේ පාලනය ඉඩ දී නැති බවද සඳහන් වෙයි. ඒ අද රුසියාවේ දේශපාලනයේ හැටිය.
චීනයේ ක්‍රියාත්මක වන්නේ ඒකපාක්ෂික ක්‍රමයකි. ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයායි. වසර 05කට වරක් පවත්වන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ මහ සමුළුව ඉදිරි වසර පහට නායකයා තෝරයි. වත්මන් නායක ෂී ජිං පෙං පසුගිය වතාවේදී තමා යාවජීව නායකයා වශයෙන් පත්කර ගත්තේය. තමන්ට ඇතිවන දවස දක්වා ඔහු චීනයේ ජනාධිපති වශයෙන් ක්‍රියා කරනු ඇත.
උතුරු කොරියාවේ පක්ෂ දේශපාලනයක් ඇත්තේම නැත. එහි තිබෙන්නේ වත්මන් ජනපති කිම් ජොන් උන් සහ ඔහුගේ පවුලේ අයගේ පාලනයක් පමණි. කාලයෙන් කාලයට චීනයේ මෙන්ම උතුරු කොරියානු කොම්යුනිස්ට් පක්ෂයේ පැවැත්වෙන විශේෂ සමුළුවේදී ඔහු රටේ නායකයා වශයෙන් පත් කරගනු ලබයි. චීනය, රුසියාව සහ උතුරු කොරියාව නොනිල සන්ධානයක් වශයෙන් ජාත්‍යන්තර දේශපාලනයේ කැපී පෙනෙයි.
බටහිර සහ යුරෝපයේ සෙසු රටවල මැතිවරණ හොඳින් ක්‍රියාත්මක වන අතර පත්වෙන නායකයෝ තමන්ගේ රටේ ජනතාවට ඍජුවම වගකිව යුත්තෝ වෙති. ප්‍රතිපත්තිමය ගැටුම් ඇතිවීම පවා එම රටවල අගමැතිලා ජනාධිපතිලා ඉල්ලා අස්වී ගෙදර යාමට හේතු වෙයි. කිසියම් ගැටලුවක් මතු වූ විට එම රටවල නායකයන් ධූරය හැර දමා යාමට මොහොතක් හෝ පැකිලෙන්නේ නැත. එහෙම ගෙදර ගියා කියා ඔවුන්ට අහිමි වීමට දෙයක් ද නැත.
හැබැයි ආසියානු සෙසු බොහොමයක් රටවල කතාව මෙයට වඩා බොහෝ වෙනස්ය. ඒ ඇතැම් රටවල ඡන්ද කෙරුවාව ගැටුම්කාරී වෙයි. මැතිවරණ දූෂණ සම්බන්ධ චෝදනාවලද අවසානයක් නැත. මෑතකදී පැවැත්වූ බංග්ලාදේශ සහ පාකිස්තාන මැතිවරණ මේ තත්ත්වයට කදිම උදාහරණ දෙකකි. බංග්ලාදේශයේ මැතිවරණයේදී බරපතළ ලෙස දූෂණ ක්‍රියා සිදුවූ බවට චෝදනා එල්ල විය. පාකිස්තානයේ මැතිවරණය පැවැත්වූයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කර තබමිනි. ඔහුගේ පක්ෂය ද තහනම් කර තිබුණි. ඒත් වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට ඉම්රාන්ගේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ ස්වාධීන අපේක්ෂකයන්ට හැකියාව ලැබිණි. සෙසු පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවුවත් ඉම්රාන්ගේ දේශපාලනය ඔවුන්ට දිගින් දිගටම අභියෝගයක් වනු ඇත.
ආසියාවේ මැතිවරණවලට දූෂණ චෝදනා එල්ල වන්නේ ඒ ඇතැම් රටවල මැතිවරණ ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට ප්‍රමාණවත් බලතල ලබා නොතිබීම හේතුවෙනි. ඒ වගේම ඒ රටවල ජනතාවට උගත්කම අඩු වීමද විශාල බලපෑමක් ඇතිකර තිබේ. දේශපාලන සාක්ෂරතාව අඩුවෙන තරමට ඒ ඇතැම් රටවල්වල නායකයන් කැමැතිය. ඒ ජනතාව හැකි තරම් ආණ්ඩුවේ යැපෙන්නන් බවට පත්කර ගැනීමෙන් ඡන්දයක් කිට්ටුවෙන විට ඔවුන්ට යම් යම් දේ ලබාදීමෙන් ඔවුන්ගේ ඡන්දය ලබාගෙන බලයට පත්වීම එහි යටි අරමුණය. මේවා කාලයක් මුළුල්ලේ සිදුවුණු දේය. බඩගෝස්තරවාදී දේශපාලනයට පදනම වැටෙන්නේ මේ ක්‍රියාවලිය හරහායි. ජනතාවට කැරට් අල කවා බලයට පත්වී රටේ ජාතික ධනය කොල්ලකෑම බොහොමයක් ආසියානු රටවල දේශපාලනය තුළ මුල් බැසගෙන තිබේ.
කෙසේ වුවද උතුරු කොරියාව හැර රුසියාවත් චීනයත් ආර්ථික වශයෙන් ඉතා ඉහළ දියුණුවක් ලබා සිටී. පුටින් සැලකෙන්නේ වත්මන් ලෝකයේ ඉතාම ධනවත් රාජ්‍ය නායකයා වශයෙනි. නමුත් ඒ සමඟම රුසියානු ජනතාවගේ ආර්ථිකය ද ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට පුටින්ගේ පාලනය සමත් විය. ඔහු දරදඬු පාලනයක් ගෙන ගියත් රටේ ජනතාව එයට දැඩි ප්‍රතිරෝධයක් නොදැක්වීමට එය හේතුවකි. ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 7082 කි. චීනය ද මේ වන විට අංක එකේ ආර්ථික බලවතෙක් බවට පත්ව සිටී. එරට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 12,556 කි.
ඉදිරි වසර කිහිපය තුළදී චීනයේ ආර්ථිකය ලොවේ බලවත්ම ආර්ථිකය බවට අනාවැකි පළ කෙරෙයි. එසේම තාක්ෂණික වශයෙන් ඔවුන් ළඟා කරගෙන තිබෙන දියුණුව ඇදහිය නොහැකි තරම්ය. මෑත කාලයේදී චීනය තම රට දුප්පත්කමින් මිදී ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කළේය. අද ලොවේ සංචාරක කර්මාන්තයේ ඉහළම ප්‍රතිශතයක් චීන ජාතිකයන්ට හිමිව තිබේ. ඔවුහු ලොව පුරා සංචාරය කරති. කොහොම බැලුවත් චීනය අද සමෘද්ධිමත් රාජ්‍යයකි. ආර්ථිකයෙන්, තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් චීනය අද ලෝකයම ජය ගනිමින් සිටී.
හැබැයි චීනය මේ හාස්කම කළේ පැරණි කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව නොවේ. ඔවුන්ගේ කොමියුනිස්ට් ප්‍රතිපත්තිය දැන් බෝඩ් කෑල්ලකට සීමා වී තිබේ. කොමියුනිස්ට් ලේබලය ඔවුන්ට ප්‍රායෝජනවත් වන්නේ රටේ දේශපාලනය කිරීමට පමණකි.
1978 දී ඩෙන් ෂියාඕ පෙං විසින් චීනයේ කොමියුනිස්ට් ආර්ථිකයේ බෝඩ් එක වමෙන් දකුණට මාරු කළේය. ඔහු චීනයේ නිර්මාතෘ මා ඕ සේතුං ගේ ස්වදේශීය චින්තනය, සමුපකාර ක්‍රමය, සමූහ ගොවිපළ ක්‍රමය සහ ඔක්කොම බිස්නස් චීනය තුළට සීමා කිරීම වැනි දැඩි වාමවාදී ප්‍රතිපත්ති සියල්ල වෙනස් කළේය. මා ඕ සේතුං ගේ නම වෙනුවට ඩෙන් ෂියාඕ පෙං ගේ නම අලුත් චීනයේ නිර්මාතෘ වශයෙන් වෙනස් විය. චීනය එදා ගත් ඒ ගැම්ම මේ වනතුරු තව තවත් දියුණු කර ගත්තා මිස ආපසු බැලුවේ නැත. අද චීනය ලොවේ ආර්ථික බලවතා වී ඇත්තේ කොමියුනිස්ට් ප්‍රතිපත්ති බදාගෙන ඒ මත ලැගගෙන සිටීමෙන් නොවේ. ධනවාදී එනම් ධනය ප්‍රමුඛ කරගත් ආර්ථික ප්‍රතිපත්ති බදා ගැනීම තුළිනි.
චීනය තුළ එතෙක් තිබූ ස්වදේශීය චින්තනය වෙනස් වී ලොව බලවත් රටවල ආයෝජකයන් රට තුළට කැඳවාගෙන ඒමට දොරටු විවෘත කෙරිණි. චීනයේ ප්‍රබලම දේශපාලන සතුරා වූ අමෙරිකාවට ද ඒ දොර වෙනසක් නැතිවම විවෘත විය. අද චීනයේ අමෙරිකානු මුළු ආයෝජනවල වත්කම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.25 කි. අමෙරිකාව තුළ චීනය ද ආයෝජන කර ඇත. 2022 වසරේදී පමණක් චීනයේ අමෙරිකානු ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 126.1ක් විය.
චීනය දිගටම මා ඕ සේතුං ගේ ප්‍රතිපත්ති බදාගෙන සිටියා නම් මේ එකම දියුණුවක්වත් ලබන්නේ නැත. කාලයට ගැලපෙන තාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීම මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන බව චීනය ප්‍රායෝගිකවම ලෝකය හමුවේ ඔප්පු කර තිබේ. එදා තමන්ගේ ප්‍රබලම සතුරා හැටියට අමෙරිකාව දුටු අමෙරිකාවේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ කුඩා රටවල් බිලිගන්නා ව්‍යාප්තවාදී ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ චීනය අද තම ආර්ථිකයේ ප්‍රධානම සහකරුවකු හැටියට අමෙරිකාවම තෝරාගෙන තිබේ. එහෙත් දෙරටේ දේශපාලන ප්‍රතිපත්තිවල වෙනස ද ඒ සමඟම පවත්වාගෙන යාමට ඒ දෙරටම ක්‍රියා කරන්නේ තම රටවල ආර්ථික ශක්තියට හානියක් නොවන පරිදිය.
ඉන්දියාව ද මේ ආකාරයටම වෙනස් විය. ඒ වෙනස ඇතිකළ නායකයන් අතර වත්මන් අගමැති මෝදි කැපී පෙනෙයි. ඔහු බලයට පත්වීමට පෙර සිටි කොංග්‍රස් ආණ්ඩුවේ අගමැති වූ ඒ වගේම බොහෝ කාලයක් එරට මුදල් අමාත්‍යවරයාව සිටි මන්මෝහන් සිං ඉන්දියාවේ පැරණි සුබසාධනය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තිවලින් බැහැර වී බාහිර ලෝකයේ ආර්ථිකය සමඟ ඉන්දියාවේ ආර්ථිකය සම්බන්ධ කළේය. එය ඉන්දියාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය විය. හින්දු ජාතිකත්වය මත පදනම් වෙමින් බලයට පත් අගමැති මෝදි 2014 සිට ඉන්දියාවේ පාලනය බාරගෙන ඒ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ගියේ නැත. ඔහු කළේ තවදුරටත් අමෙරිකානු ආයෝජන සඳහා ඉන්දියාවේ දොර විවෘත වීම පුළුල් කිරීමය. අද සියලු අමෙරිකානු ප්‍රධාන පෙළේ සමාගම් ඉන්දියාවේ ආයෝජනය කරමින් සිටී. ඉන්දියාව ඒ කාලයේ සෝවියට් රුසියා බල කඳවුරේ මිත්‍රයකු වී සිටිමින් අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළත් පසු කලෙක ඒ ප්‍රතිපත්ති අතහැර ලෝකය සමඟ ගනුදෙනු කිරීම ඇරඹීම ඉන්දියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයට හේතු විය. අද ලෝකයේ 05 වැනි බලවත් ආර්ථිකය වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ ආර්ථිකයයි.
චීනයේත් ඉන්දියාවේත් බල අරගලය කලාපීය ගැටලුවක් වී තිබුණත් මේ දෙරටම ආර්ථිකය වර්ධනය කර ගැනීමේදී බොහෝ දුරට අනුගමනය කරන්නේ එක ප්‍රතිපත්තියකි. එසේම මේ දෙරටම දැඩි ලෙස ඉහළ මට්ටමින් දේශපාලනික සහ නිලධාරී මට්ටමින් සිදුකෙරෙන වංචාවට සහ දූෂණයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම ද ආර්ථික ජයග්‍රහණවලට ශක්තියක් වී තිබේ.
දැන් අපේ රට ද තීරණාත්මක ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටී. මේ හේතුවෙන් එක් එක් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති දැන් රටේ ජනතාව අතරේ පොදු ජනප්‍රියම මාතෘකාව බවට පත්ව තිබේ. මීට පෙර ජනාධිපතිවරණවලදී යොදාගත් ජනප්‍රිය සටන් පාඨවලට මෙවර ලොකු ඉඩක් නැති බව ජනතාවගේ කතාබහට කන් දීමෙන් හොඳින්ම වටහා ගත හැකිය.
අපේ රට ආසියාවේ සෙසු රටවල් සමඟ සසඳන විට ආර්ථික මට්ටමින් ඉන්නේ බින්දුවේය. ඒ වගේම අයි.එම්.එෆ්. කියන ආකාරයට ලංකාව දූෂණය සහ වංචාව ඉහවහා ගිය රටකි. රටේ ජනතාවගේ පොදු මතයක් වී ඇත්තේ මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති බරපතළ ප්‍රතිසංස්කරණවලට භාජනය විය යුතු බවත් දූෂණ සහ වංචා නැවැත්විය යුතු බවත්ය. එසේ නොකර පරණ ප්‍රතිපත්ති ගැනම කතා කරමින් වංචනික සහ දූෂිත නායකයන්ම යළි බලයට පත්කිරීමට කටයුතු කරන්නේ නම් රට කවදාවත් ඉදිරියට නොයනු ඇතැයි බහුතරයකගේ මතය වී තිබේ.
මේ රටට තවදුරටත් '56 දී ගෙනා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැත. ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පමණක් නොව ජේ.ආර්. ගේත් ප්‍රතිපත්ති දැන් බොහෝ යල් පැන ඒවායේ කාලය ඉකුත් වී ගොසිනි. ප්‍රේමදාසගේ පමණක් නොව චන්ද්‍රිකාගේත් ප්‍රතිපත්තිවලින් අද ලංකාව ගොඩගත නොහැකිය. ඒවා හොඳටම පරණය. රෝහණ විජේවීරගේ එදා තිබූ ප්‍රතිපත්ති අදට නොගැලපෙන බවත් අප යා යුත්තේ අලුත් පාරක බවත් ජවිපෙ තේරුම් ගනිමින් සිටී. ඔවුන් ජවිපෙන් එන්.පී.පී. එකට මාරු වී සීනුව වෙනුවට මාලිමාව තෝරාගෙන එදා එපා වූ ජාත්‍යන්තරයට අත දිගු කරමින් සිටී. අනෙක් දේශපාලන පක්ෂත් ඒ විදියට වෙනස් වුණොත් මෙවර ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක් වන බව නම් සිකුරටම කිව හැක. ඒ එක්කම කිව යුත්තේ එහෙම දෙයක් විය හැකි බවට කිසිම සලකුණක්වත් නැති බවයි.
I ශශීන්ද්‍ර