පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය - තිස්ස අත්තනායක
Q ඔබලා කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඔහොම ගෙනාපු ගොඩක් විශ්වාසභංග යෝජනා ආණ්ඩුව පාරාජය කළා. මේකත් එහෙම වෙයිද?
විශ්වාසභංග යෝජනාවක් ගේන්නෙ ජයග්‍රහණය කරන්නම අපේක්ෂාවෙන් නෙවෙයි. අපි දන්නවා බහුතර විශ්වාසය තියෙන්නේ ආණ්ඩුවට කියලා. එහෙම තත්ත්වයක් උඩ එකේ ජයග්‍රහණයට වඩා අපි පෙන්නන්නේ අපේ අප්‍රසාදය. එහෙම නැත්නම් අපේ විරෝධය පෙන්නන්නයි අපි මේක ගෙනාවේ.
Q මොකක්ද මේ විශ්වාසභංගය ගේන්න හේතුව?
ඇත්තටම ඒකට මූලික හේතුව පසුගියදා ඔන්ලයින් පනත ගෙනාපු වෙලාවේ ඔහුගේ ක්‍රියා කලාපය. මොකද කතානායකවරයා එම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට සහ යෝජනාවලට පටහැණිව ගියා කියන එකයි අපේ මතය. ඒ යෝජනා කිසිවක් ගැන ගණන් නොගෙන එම පනත සම්මත කරන්න ක්‍රියා කළා විතරක් නෙවෙයි, ඊට අත්සනත් කතානායකවරයා යෙදුවා. ඉතින් එතුමා විපක්ෂයට ඇහුම්කන් නොදී ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කළා කියලයි අපේ චෝදනාව තියෙන්නේ.
Q පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු විපක්ෂයේ ස්වාධීනව ඉන්නවා. ඔවුනුත් මේ විශ්වාසභංගයට සහාය දෙනවද?
අනිවාර්යයෙන්ම ඔවුන්ගේ සහාය ලැබෙන බව අපිට විශ්වාසයි. ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තියෙනවා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දෙනවා කියලා. මොකද ඔවුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. කතානායකතුමාගේ හැසිරීම බොහෝ වෙලාවට පක්ෂග්රාහී කියලයි විපක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.
Q ජනාධිපතිවරයගේ මංගල රැලිය අද පැවැත්වෙනවා. මේක ඔහුගේ ජනාධිපතිවරණ මංගල රුලිය. ඒක ගැන මොකක්ද විපක්ෂයේ ඔබලගේ අදහස?
ජනාධිපතිවරයා උත්සාහ ගනිමින් ඉන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න. ඒක රහසක් නෙවෙයි. මොකද එතුමා දන්නවා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ සැණින් ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඒ නිසා ඔහු කැබිනට් අනුකමිටුවකුත් දාලා උත්සාහ කරමින් ඉන්නවා පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න. හැබැයි පොහොට්ටුව ඒක තවම තීරණය කරලා නෑ. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් පොහොට්ටුවේ නායකයා. ඔහු තමා දැන් පොහොට්ටුවට නායකත්වය දෙන්නේ. අනිත් සියල්ල යටත්. ඒ නිසා එතුමා උත්සාහ ගන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න. ඒත් පොහොට්ටුව මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා හුඟක් කල්.
Q ජනාධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද කියලා තවම නිශ්චිත නෑ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා. විපක්ෂය මහ මැතිවරණයකට ලෑස්ති වෙනවා. ඇත්තටම මොකක්ද ඉස්සෙල්ලා තියන්නේ?
නිල වශයෙන් නම් එන්න තියෙන්නේ ජනාධිපතිවරණය. මොකද අනිවාර්යයෙන්ම 2024 සැප්තැම්බර් ඔක්තෝබර් අතරේ ජනාධිපතිවරණය තියන්න ඕනෑ. මොකද අනික් මැතිවරණ වගේ කල් දාන්න බෑ. ඒත් ඔවුන් උත්සාහයක් ගන්නවා මේ ජනාධිපතිවරයා යටතේ නැවත බලය පිහිටුවන්න. මොකද ඒක ලේසි වෙයි කියලා ඔවුන් හිතනවා. හැබැයි මොන මැතිවරණය ආවත් ජනාධිපතිවරයා, පොහොට්ටුව සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. හැබැයි අපිට මැතිවරණය මොකක්ද කියලා අදාළ නෑ. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. අපිට ඕනෑ මැතිවරණය විතරයි.
Q පොහොට්ටුවේ නොනිල නායක බැසිල් රාජපක්ෂ මහත්තයා පහුගියදා ලංකාවට ආවා. ඒ ආපු ගමන ගැන ඔවුන්ගේ අදහස වෙන්නේ ජයග්‍රාහී ගමනක ආරම්භයක් කියලා. ඒක කොහොමද ඔබලට දැනෙන්නේ?
ඔව්. ඔහු නොනිල නායකයා, පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා. ඔහු ආවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයකට තමයි. ඒත් ඒක අපිට අදාළ නෑ. මොකද පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරය පහුගිය කාලයේ තදබල ලෙස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. ඒක බැසිල්ගේ ආගමනයෙන් වෙනස් වෙයි කියලා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්. මොකද බැසිල් සහ ඔහුගේ කණ්ඩායමේ පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒ නිසා ඔහු ආවා කියලා විශ්වකර්ම දේවල් කරන්න බෑ.
Q දැන් ඔබලට තියෙන ඊළඟ ප්රශ්නය තමා මේ පොලිස්පතිවරයා පත් කිරීම. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දැඩි ප්‍රකාශ සිද්ධ කරනවා. ඔබලගේ පාලනයක් ආවොත් මේ පොලිස්පතිවරයට වැඩ කරන්න දෙන්නේ නැද්ද?
ඇත්තටම ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව අනුගමනය කරපු විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක විපක්ෂ නායකතුමා පෙන්වලා දුන්නා. එදා කතානායකවරයා බහුතරය ගත්තේ නොපැමිණි මන්ත්‍රීවරු එක්ක. ඒ නිසා ඒ නිර්දේශය ජනාධිපතිවරයා වෙත කතානායකවරයා යොමු කළා. ජනාධිපතිවරයා පත්වීම කළේ ව්‍යවස්ථාදායක සභාවටත් අභියෝග කරලා. කොහොම වුණත් මේ වෙද්දි අධිකරණයේ නඩුවක් විභාග වෙමින් යන නිසා මම වැඩිය ඒ ගැන කියන්න කැමැති නෑ. අනාගතයේ අපි මොකක්ද කරන්නේ කියන එක පක්ෂයක් හැටියට තීන්දු කරනවා.
Q පක්ෂයේ සභාපතිවරයා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඉන්නේ දැඩි විරෝධයක. ඔහුත් කියනවා ඔහුව ඉවත් කරන්න යනවා කියලා. ඒ සියලු ප්‍රශ්න අතරතුරේ තමයි එතුමා මහර රුස්වීමේ වාඩි වෙන්නේ. දැන් මොකද ඒ ප්රශ්නය?
එතුමගේ සභාපතිත්වය ඉවත් කරන්න යනවා කියලා දැන් අධිකරණයට ගිහින්නේ එතුමා ඉන්නේ. ඒ නඩුවේ පාර්ශ්වකරුවෙක් හැටියට මමත් ඉන්නවා. එතැනදී මම අදහස් පළ කරන එක නරකයි කියලා මම හිතනවා.
I ගයාන් ගාල්ලගේ