2024 මාර්තු 09 වන සෙනසුරාදා

අපි පක්ෂ 18ක සන්ධානයක් හදනවා: ඒකෙ නායකයා මමයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - දයාසිරි ජයසේකර

  • කේලම්කාරයෝ මෛත්‍රීපාල මහත්තයව නොමග යවලා
  • රාජපක්ෂවරු ජාමෙ බේරගන්න රනිල් මහත්තයා බලයට ගෙනාවා
  • කිසිම දේශපාලන පක්ෂයකට මම එකතු වෙන්නෙ නෑ

Q දයාසිරි ජයසේකර අපි පහුගිය ටිකේ දැක්කේ නෑ. සද්දයක් නෑ. මොකක් හරි කලකිරීමකද ඉන්නේ? දේශපාලනය එපා වෙලාද ඉන්නේ?

නෑ එපා වෙලා නෙවෙයි. යම් කලකිරීමක් තියෙනවා. නැත්තේ නෑ. ඇත්තටම ලංකාවේ හිටියේ නෑ කාලයක්. ඒකයි දේශපාලනයට සම්බන්ධ වෙන්න බැරිවුණේ.

Q ඒ කියන්නේ ලංකාවෙන් පිටත් වුණේ හිත හදාගෙන සැහැල්ලුවෙන් ඉඳලා එන්නද?

ඔව් ඇත්තටම මෙහේ හිටියා කියලා වැඩකුත් නෑනේ. නිකම් රණ්ඩු වෙන්නනේ තියෙන්නේ එක එක්කෙනා එක්ක. ඒ නිසා ටිකක් පාඩුවේ ඉන්නවා කියලා තමයි ලංකාවෙන් ටිකක් පිටත් වුණේ.

Q ඔබ පාඩුවේ ඉන්න හැදුවට ඉස්සරහට එන්නේ පාඩුවේ ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි. මැතිවරණ සමයක්. ඔබට දැන් ලංසු තියෙනවා ඇති ගොඩක් අය. කොහොමද ඉල්ලුම?

ඔව්. හැම කෙනාම වගේ කතා කරනවා. කිසිම තීරණයක් අරන් නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රුඳිලා ඉන්නවා. මම කොහෙවත් ගිහින් නෑ. කා එක්කවත් සම්බන්ධ වෙලත් නෑ. නමුත් අපි පක්ෂ 18 ක් එක්ක සන්ධානයක් හදාගෙන යනවා. ඒ පක්ෂත් එක්ක ගනුදෙනු කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒක ඉදිරියේ දී කරනවා.

Q ඒකට ශ්‍රීලනිපයත් සම්බන්ධ කරගන්නවද?

නෑ නෑ. ඒ අය සම්බන්ධ වෙලා නෑ. කුඩා පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ අයත් දේශපාලන වශයෙන් ශක්තියක් තියෙන අය. ඒ අය එක්ක ඉදිරියට යන සන්ධානයක් හදන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

Q ඒ සන්ධානයේ දයාසිරි ජයසේකරගේ භූමිකාව මොන වගේද?

ඒකේ නායකයා හැටියට ඔවුන් මාව පත්කර ගත්තා. ඉතින් ඒක ඉදිරියට ගෙන යන්න තමයි තියෙන්නේ.

Q මොකක්ද මේ සන්ධානය?

මානුෂීය ජනතා සන්ධානය කියන නමින් තමයි අපි හදන්න ලෑස්ති වෙන්නේ ඒ සන්ධානය. ඒක අපි ක්‍රියාත්මක කරනවා ඉතාම හොඳින්. දැනට සලකුණක් නෑ. ඒ ගැන මැතිවරණ කොමිසමත් එක්ක කතා කරනවා.

Q සන්ධානයක නායකත්වයක් කියන්නේ ලේසි නෑ. කරන්න පුළුවන්ද?  

ඒ අයගේ විශ්වාසයක් තිබුණා මට නායකත්වය දුන්නොත් ඒක ශක්තිමත් කරගන්න පුළුවන් කියලා. ඒ අයගේ ඉල්ලීම අනුව තමයි මම ඒ වැඩ ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ.

Q ඔබට ලොකු ඉල්ලුමක් තිබුණා සමගි ජනබලවේගයට එකතු වෙන්න. ඇයි ඔබ ඒක තෝරගත්තේ නැත්තේ?

ඒ පක්ෂයේ සාමාජිකත්වය අරගෙන ඒ පක්ෂයට එකතු වෙන්න මට උවමනාවක් නෑ. කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නෑනේ?

මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙන්න කැමැත්තක් නෑ. මම තවම ඒ පක්ෂයේ ඉන්නේ. මට ආපු ආරාධනා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. හැබැයි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ කටයුතුවලදී සමගි ජන බලවේගය එක්ක කටයුතු කරනවා. ඒ වගේම වමේ ප්‍රගතිශීලි කණ්ඩායම එක්ක මම උපරිම කටයුතු කරනවා. ප්‍රගතිශීලි කඳවුරට නායකයෙක් නැතුව ඉන්නේ. ඒ නිසා තමයි දක්ෂිණාංශික නායකයෝ දෙන්නෙක්ගෙන් කවුද අපි තෝරගන්නේ කියලා තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒකට අකැමැති මිනිස්සු ගොඩක් ජාතික ජනබලවේගයට ඇදිලා යනවා.

Q මොකක්ද ඒකට හේතුව?

ඒකට හේතුව රාජපක්ෂවරු ජාමේ බේරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගෙනාවා. ඒකෙන් මේක ඇතිවුණේ. මේ නිසා වාමාංශික ප්‍රගතිශීලි ජනතාව අන්ත අසරණ වුණා.

Q ඔබ එන්න යන්නේ ඒ ජනතාවගේ හිඩැස පුරවන්නද?

ඔව්. මම ඒ ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා. අපි ඒ වෙනුවෙන් වමේ පක්ෂ වගේම ප්‍රගතිශීලි කණ්ඩායම් එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. ඩිව් ඇමැතිතුමා, ඩලස් ඇමැතිතුමාලා, විමල් වීරවංශ ඇමැතිතුමාලා විතරක් නෙවෙයි චම්පික ඇමැතිතුමාලත් එක්කත් අපි කතා කරලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ වාමාංශික ප්‍රගතිශීලි වැඩපිළිවෙළකට යන්න. ඔවුන් හැමෝම ඉන්නේ එක මතකයක. අපි වමේ බලවේගයක් ගොඩනගමු කියලා.

Q ගොඩක් අය කියන්නේ වර්තමාන ජනාධිපතිවරයට තව අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා. ඔබ හිතන්නේ කොහොමද?

යම් සාර්ථකත්වයක් තියෙනවා. ඒත් මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය ගැන මිනිස්සු පැහැදීමක නෑ. මේ බදු එකතු කිරීම ගැන ජනතාව ඉන්නේ කනගාටුවෙන්. ඒ නිසා මේ ක්‍රියාදාමය වෙනස් කරන්න ඕනෑ. ඒක ගැන මට විරෝධයක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව සම්බන්ධයෙන් කරන ගනුදෙනු ඉතාම තීරණාත්මකයි. ඉන්දියාවේ අදානිට දෙයක් ගන්න ටෙන්ඩර් දාන්න ඕනෑ. ඒත් අපේ රටේ අදානිට ටෙන්ඩර් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්.

Q අවසාන වශයෙන් අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඉන්නේ වෙනම මාර්ගයක. ඔබ ඒ මාර්ගය ගැන දරන අනාවැකිය මොකක්ද?

අද වෙනකොට පක්ෂය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මට ගහලා එළෙව්වට පස්සේ ගොඩක් ග්‍රාමීය අය ඉවත් වුණා. දැන හෝ නොදැන කට්ටිය ගමන් කරමින් ඉන්නවා. ඒ අය ගොඩක් ජාතික ජන බලවේගයට එකතු වෙමින් ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට දෙන්නෙක් තුන්දෙනෙක් කියන කේලම් නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.

I ගයාන් ගාල්ලගේ