අමෙරිකානු ඩොලරය ලංකාවේ ආර්ථිකයේ ප්‍රාණ නාළියයි. ඩොලරය හෙල්ලෙන විට රුපියල යකා නටයි. ඩොලරය නිහඬ වෙද්දී රුපියල ද සද්ද වහගනී. රටේ සියලු මිල වැඩිවීම් අඩුවීම් පමණක් නොව සංචිත සිඳී යාම් ගොඩනැගීම් මේ සියල්ල සිදුවන්නේද ඩොලරයේ මහිමයෙනි.
ලංකාවේ ආර්ථිකයේ බංකොළොත් බව ප්‍රකාශ කිරීමට හේතු වූයේද ඩොලර් සංචිත සිඳී යාම හේතුවෙනි. සංචිත සිඳී යන විටත් ඩොලරය රුපියලට එරෙහිව ලොකු සටනක යෙදී සිටියේය. රුපියල ඩොලරය හමුවේ දණින් වැටීම හේතුවෙන් රුපියල දිනෙන් දින බාල්දු වී ගියේය. එක ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 365 ගෙවීමට සිදුවන තරමට තත්ත්වය බැරූරුම් විය. ඒ සමඟම රටේ බඩු මිල ද සේවා ගාස්තු ද ඉහළ ගියේ රටේ ජනතාවගේ ආර්ථිකය බින්දුවට ඇද දමමිනි. පාන් ගෙඩිය රුපියල් 200 ද ඉක්මවා ගියේය. බත් පැකට් එකේ පටන් ඉඳිආප්පය දක්වා ආහාර මිල ගණන් නැග්ගේය. ජනතාවට සිදුවූයේ සෙසු අවශ්‍යතා පසෙක තබා ආහාර ටික සපයා ගැනීමට මුළු සේසතම දියකර හැරීමටය.
ඒ වගේම ඒ දිනවල බෙහෙතකටවත් ඩොලරයක් සොයා ගැනීම ලොකු ගැටලුවක් වී තිබිණි. අපනයන කටයුතුවලට සහ සංචාරක කර්මාන්තයට ද බාධා පැමිණ තිබීම හේතුවෙන් ද විදෙස් ශ්‍රමිකයන් විසින් එවන ලද ඩොලර් අඩුවෙමින් තිබීමද ඩොලර් හිඟයක් ඇතිවීමට හේතු විය. මේ නිසා රටේ මොනම අඩුපාඩුවක් ඒ දිනවල තිබුණත් එහි ලොකුම චූදිතයා වූයේ ඩොලරයයි. ආණ්ඩුවේත් මහ බැංකුවේත් ලොකු ලොක්කෝ දිගට හරහට ඩොලරයට බැට දුන්හ. ඔක්කොම කුණු සේදුණේ ඩොලරය මතිනි.
පසුකාලීනව රටේ ආර්ථිකය යහපත් අතට හැරුණි. ඒ සඳහා රටේ ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීන්දු තීරණ ද සංචාරක ව්‍යාපාරයේ වර්ධනය ද ඉන්දියාව විසින් ලබා දෙන ලද ඩොලර් බිලියන 04ක ණය ආධාර ද හේතු විය. ඒ හරහා රටේ ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවෙමින් පවතින බව පැහැදිලිව පෙනිණි. අයිඑම්එෆ් ණය ආධාරයේ පළමු වාරිකය ලැබීමෙන් එම තත්ත්වය තවදුරටත් ශක්තිමත් විය.
රටේ ආර්ථිකයේ පුනරුදය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා (06) පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය තුළ ද සඳහන් විය. 2022 සිට 2023 දෙවැනි කාර්තුව දක්වා දිගින් දිගටම හැකිලුණු ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්නට පටන්ගත් බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවට 2% ක 3% ක වර්ධනයක් ලබාගත හැකි බවට මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති බවත් ජනාධිපතිවරයා කියා තිබිණි. සියයට 70ක මට්ටමේ තිබූ උද්ධමනය 5.9% ක් දක්වා පහළ වැටී ඇති බවද 30% ඉක්මවූ පොලී අනුපාතිකය 10% කටත් වඩා අඩු වී ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 20 සිට ඩොලර් බිලියන 03 කට වඩා වැඩි වී ඇති බවද පෙන්වා දී තිබිණි. මේ වන විට රුපියල් ශක්තිමත් වී ඩොලරය රුපියල් 308ක් දක්වා අවප්‍රමාණ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඩොලරයට එරෙහිව රුපියල ඊටත් වඩා පසු දිනයේ ශක්තිමත් වී තිබිණි. මේ වනවිට එහි අගය රුපියල් 302ක් බවද සඳහන්ය. එසේ නම් තවදුරටත් රටේ ජනතාව රුපියල් 364 කට ඩොලරය ඉස්සී තිබූ කාලයේ මිල ගණන්වලටම භාණ්ඩ මිලදී ගත යුතුද? ඒ කාලයේ ඉහළ ගිය සේවා ගාස්තු තවමත් එසේම ගෙවිය යුතුද? ආර්ථිකය හැම අතින්ම පිබිදෙමින් තිබෙනවා නම් ඒ බව රටේ ජනතාවගේ ඇඟට දැනිය යුතු නොවේද?
රටේ ජනතාව ආර්ථිකයේ අමාරුකම් ගැන බණ දෙසමින් සියලු දෙනා කැපකිරීම් කළ යුතු යැයි ද පටි තද කරගත යුතු යැයි ද කියූ මහ බැංකුවේ නිලධාරීන්ද පසුගියදා තමන්ගේ වැටුප් 70% කින්ම වැඩිකර ගත්තේ රටේ ආර්ථිකය හොඳ වර්ධනයක් ඇතිකර ගැනීම නිසා විය යුතුය. එසේ නම් ජනතාව පමණක් තවදුරටත් පටි තද කරගත යුතු නැත. ඔවුන්ටද ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ලබා දිය යුතුය. නමුත් පසුගියදා සිදුකළ පෙට්රල්, ඩීසල් මිල සංශෝධනයේදීද ජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඔක්ටේන් 92 පෙට්රල් සහ සුපර් ඩීසල් මිල අඩු කළේ නැත.
සියයට 200කටත් වඩා ඉහළ දැමූ විදුලි බිල අඩුවෙන්නේ ද සියයට 20 ක තරම් ප්‍රමාණයකි. රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවකගේ විදුලිය බිල් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් විදුලිය විසන්ධි කළ බවද පසුගියදා වාර්තා විය. එසේම එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද තවමත් දැනෙන තරමට මිල බැස්මක් නැත. ජනතාවගේ අතට මිටට දැනෙන්නේ නැත්නම් ඩොලරය හමුවේ රුපියල කොතරම් ශක්තිමත් වුවත් පළක් නැත.