2024 මාර්තු 09 වන සෙනසුරාදා

ඡන්ද භීතිකාව

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

ලංකාවට ජාතික මැතිවරණ දෙකක් ලැබෙන්නේ ජේ.ආර්. ගෙන ආ විධායක ජනාධිපති ව්‍යවස්ථාවත් සමඟිනි. ඒ වනතුරු 77 මහ මැතිවරණයත් ඇතුළුව තිබුණේ වසර 05කට වරක් පැවැත්වෙන මහ මැතිවරණය පමණි. ජේ.ආර්. 77 දී මහ මැතිවරණය දිනා ව්‍යවස්ථාව වෙනස් කර වසර 06 කට වරක් ජනාධිපතිවරණය ද වසර 05කට වරක් මහ මැතිවරණය ද පැවැත්වෙන ආකාරයට ජාතික මැතිවරණ සිතියම වෙනස් කළේය. ඉදිරි වසර දහය තුළදී මැතිවරණ සිතියම අකුලන බව ද ප්‍රකාශ කළේය.

ජේ.ආර්. එහෙම ව්‍යවස්ථාව වෙනස් කළත් 1982 පැවැත්විය යුතුව තිබූ මහ මැතිවරණය පැවැත්වූයේ නැත. එම වසරේ ඔක්තෝබරයේදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජය අරගෙන සිය දෙවැනි ධූර කාලය ආරම්භ කළ ජේ.ආර්. මහ මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් තබා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ විශාල කළු පැල්ලමක් ඇති කළේය. සටකපට මෙන්ම උපායශීලී කෘතහස්ත නායකයකු වශයෙන් දිනාගෙන තිබූ කීර්තිය ජේ.ආර්. කැත කර ගත්තේ ඔහු වටා සිටි සමීප කිහිප දෙනකුගේ උපදෙස් හේතුවෙනි. එයින් ඇතිවිය හැකි බරපතළ ප්‍රතිවිපාක ගැන ජේ.ආර්. නොසිතුවේ මන්ද යන්න මේ රටේ බොහොමයක් දේශපාලන විචාරකයන්ට තේරුම් ගත නොහැකි විය.

ජේ.ආර්. ගේ ඒ තීන්දුව යට තිබුණේ තමන්ගේ ජන ප්‍රසාදය ඉහළින්ම තිබියදී ලබා තිබූ බලය ඒ ආකාරයටම හැකි තරම් කාලයක් රඳවා තබා ගැනීම මිස වෙන කාරණයක් නොවේ. රටේ ආර්ථික පුනරුදයක් ඇති කිරීමට අවශ්‍ය වූ පියවර ගණනාවක් ගෙන යම්තාක් දුරට ආර්ථිකය තුළ ප්‍රබෝධයක් ඇති කළත් එය ආසියාවේ සෙසු රටවල් මෙන් තිරසාර නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු කිරීමට ඔහු උත්සාහයක් ගත්තේ නැත.

ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ මහවැලි ඇතුළු මහා ජලාශ 05ක් නිර්මාණය කර කෘෂිකර්මය අංශයෙන් ලොකු ගැම්මක් ගැනීමටත්, ලලිත් ඇතුළත්මුදලිගේ වෙළෙඳ ප්‍රතිපත්තිය තුළ විවෘත ආර්ථිකය ජනතාවගේ ආකර්ශනයට ලක්වන පරිදි හසුරුවා ගැනීමටත් ජේ.ආර්. සමත් වුණත් ඔහු වඩාත්ම ආකර්ශනය වූයේ රොනී ද මැල්ගේ ආර්ථිකය හැසිරවීමයි. ඒ හරහා රටට ආයෝජන මෙන්ම ණය ආධාර ද විශාල වශයෙන් ලැබුණි. එම ආධාර ද උදව්වට ගනිමින් එවකට හිටපු අගමැති ආර්. ප්‍රේමදාස ගම්උදාව සහ ජනසවිය වැඩපිළිවෙළ ද නිවාස සංවර්ධනය ද ඉදිරියට ගෙන ගියත් ජේ.ආර්. රට අභ්‍යන්තරයේත්, ජාත්‍යන්තරයේත් ගැටලුවලට මැදි විය. ඒ සමඟ ණය අරගෙන සුබසාධන පාලන ක්‍රමයකට රට ගෙන යාමේ පහසු ක්‍රමයට ජේ.ආර්. අනුගත විය.

හැබැයි ජේ.ආර්. ජනමත විචාරණය වෙනුවට මහ මැතිවරණයක් තබා රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ශක්තිමත් වන ආකාරයට වැඩ කළා නම් ඔහු ධූරය අත්හැර යන අවස්ථාව වන විට ලංකාව ආර්ථික වශයෙන් ඉහළ තැනකට යන්නට හොඳටම ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුට ඉතිරි වූයේ විධායක බලතලත්, යුද්ධයත් සහ ත්‍රස්තවාදයෙන් ගිනිගත් රටකි. ඒ තත්ත්වය ඊළඟට බලයට පැමිණි සියලු නායකයන්ගේ පාලනයට අඩු වැඩි වශයෙන් බලපෑම් ඇති කළේය. ඒ සියලුම නායක නායිකාවන් ණය අරගෙන රටේ ජනතාව කෙටිකාලීනව සනසා තබාගෙන වැඩි මහන්සියක් නොවී ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ පාලනයට ඉතා වැඩි අවධානයකුත්, නිෂ්පාදන ආර්ථිකයකට අනුගත වී මහන්සි වී වැඩ කර ආර්ථික සමෘද්ධියක් උදාකර ගැනීමේ පාලනයට ඉතා අඩු අවධානයකුත් වෙන් කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය දිගින් දිගටම දුර්වල විය. ලබාගත් ණය ගෙවීමට තව තවත් ණය ගැනීම හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වය පහත වැටෙද්දී ගෙවීමට ඇති ණය ප්‍රමාණය තවත් ඉහළ ගියේය. මීට වසර දෙකකට පෙර රටේ ජනතාව අත්වින්දේ රටේ නායකයන්ගේ එම ක්‍රියාවලියේ ප්‍රතිවිපාකයි.

මේ ප්‍රතිවිපාක වලින් ගොඩ ඒමේ වගකීම අභියෝගයක් හැටියට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයි.එම්.එෆ්. එකේ ආධාරය සහ ඉන්දීය ​ඩොලර් බිලියන 4ක ආධාරයක් ලබා ගනිමින් තීන්දු ගෙන රටට වෙන්න ගිය බරපතළ අනතුර අඩු කර ගත්තේය. එහෙත් එසේ වූ පමණින් රටේ සියලු ගැටලු විසඳෙන්නේ නැත. ඒ සඳහා අද ලෝකයට ගැලපෙන අලුත් ක්‍රම සහ විධි තෝරා ගනිමින් ඒ වෙනුවෙන් කැප විය යුතුය. නමුත් ඒ ක්‍රියාමාර්ගය ඔහු අනුගමනය කළේ නැත. තවමත් තිබෙන්නේ හැමදාම දැක පුරුදු පරණ දේශපාලන කතා ටිකම යළි යළිත් ඇසෙන ඒ ගැන බණ දෙසන තත්ත්වයකි. ඒ සමඟ ගෝඨාභයගේ පාලනයෙන් පසුව රටේ බහුතරයක් ජනතාවට රටේ එම සම්ප්‍රදායික දේශපාලනය තිත්ත වෙමින් පවතින බව ද පැහැදිලිය. ඔවුන්ට රටේ දේශපාලනය තුළ පැහැදිලි ලොකු වෙනසක් සිදුවීම අවශ්‍ය විය.

මේ රටේ දේශපාලනය තුළ වෙනසක් සිදුවිය හැක්කේ මැතිවරණයකින් පමණි. එහෙම නැතුව මේ දේශපාලනය වෙනස් කිරීමට උත්සාහ දැරෑ සියලු දෙනාට සිදුවූයේ විනාශය වැළඳ ගැනීමටය. මේ නිසා රටේ පැවැත්විය යුතු ජාතික මැතිවරණ ඒ පිළිවෙළට පැවැත්වීම වගකීමෙන් මිදීමට නායකයා වන ජනපති රනිල්ට හැකියාවක් නැත. ඡන්ද සිතියම අකුලන්න කතා කර මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පවත්වා තමන්ගේ දේශපාලන අනාගතයත්, රටේ ආර්ථිකයත් දෙකම විනාශය කරා යොමු කළ ජේ.ආර්. ගේ දර්ශනය අද දවසේ ක්‍රියාත්මක කළ නොහැකි බව වඩාත්ම තේරුම් ගත යුත්තේ රනිල්ය. ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබියදී එයට වංගු ගැසීමත් ජනතාව රුවටීමේ කතා කීමත් පළක් නැත. තවදුරටත් ඒ කතාවලට රුවටෙන ජනතාවක් රටේ සිටිනු ඇතැයි සිතිය නොහැක.

මේ ව්‍යවස්ථාවට අනුව මේ වසරේ පැවැත්විය යුතුව ඇත්තේ ජනාධිපතිවරණයයි. එය මෙරට පැවැත්වෙන 09 වැනි ජනාධිපතිවරණය වන අතර, මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එම ජනාධිපතිවරණය නියමිත කාලසීමාව වන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද අතර දිනයකදී පැවැත්වෙන බවයි. එහෙම ප්‍රකාශ වුණත් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් බලධාරීන්ගෙන් ප්‍රකාශ කෙරෙන්නේ ඡන්දයක් පැවැත්වීම අවශ්‍යම කාරණාවක් හැටියට නොසලකන බවකි. රටේ ආර්ථික ගැටලු හොඳටම විසඳා ඇති බව එක් අතකින් ප්‍රකාශ වෙද්දී මැතිවරණ පැවැත්වීම අවශ්‍යම නැති බවට අදහස් පළ කිරීම තුළ ඇත්තේ එකම හේතුවක් පමණි. ඒ මැතිවරණයකදී අත්විය හැකි පරාජය පිළිබඳ ඇති සැකයයි. ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා ජනාධිපති ක්‍රමය වෙනස් කරන කතා හෝ ඡන්ද ක්‍රමය වෙනස් කරන කතා හෝ කියා ඡන්දය කල් දැමීමට සූදානම් වන හැම පක්ෂයක් තුළම ඇත්තේ ඒ පරාජය පිළිබඳ සැකයයි.

දැන් අලුත් කතාව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන බවකි. සාමාන්‍යයෙන් අපේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයට පසුවය. එයින් ලැබෙන දේශපාලන වාසිය ඉතා ඉහළ බැවිනි. ජනාධිපතිවරණය ජයගන්නා පක්ෂය ඊළඟ මහ මැතිවරණයේදී සෙසු දේශපාලන පක්ෂ සෝදාහරින බවට ඇති විශ්වාසය එයට හේතුවයි.

මහ මැතිවරණයක් එන කතාවට තටු ලැබුණේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට ආපසු ශ්‍රී ලංකාවට ආපු දවසේ කළ කතාව හේතුවෙනි. බැසිල් ආපසු ලංකාවට එන කතාවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් විසින් ලොකු ප්‍රසිද්ධියක් දෙනු ලැබීය. එය මාධ්‍ය හරහා ද විශාල ප්‍රවෘත්තියක් වූ අතර, එදින බැසිල් කටුනායක ගුවන් තොටුපළේදී පිළිගෙන කොළඹට පෙරහරකින් කැඳවාගෙන එන බවට ද කතා පැවතිණි. එහෙත් ගුවන් තොටුපළට එහෙම විශාල පිරිසක් බැසිල් පිළිගැනීම සඳහා ගොස් සිටියේ නැත. නමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සෑහෙන පිරිසක් බැසිල් පිළිගැනීමට කටුනායකට පැමිණ තිබිණි. පෙරහරකින් කොළඹට කැඳවාගෙන ඒමක් ද සිදු නොවීය. රටේ සාමාන්‍ය පොදු ජනතාවට බැසිල්ගේ පැමිණීම ලොකුවට දැනී නොතිබුණු බවට එය ලකුණක් විය.

හැබැයි බැසිල් ගුවන් තොටේදී ‘‘ජනාධිපතිවරණය කොහොමත් තියන්න ඕනි. අවශ්‍ය නම් මහ මැතිවරණයක් තියන්න වුණත් පුළුවන්. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවන්න කියල ඉල්ලීමක් කළොත්’’ කියා කියූ කතාවට රටේම අවධානය යොමු විය. පොහොට්ටුව වඩාත් කැමැති මහ මැතිවරණයකට යාමට බවට වන පණිවුඩයක් බැසිල්ගේ කතාවෙන් ලබා දී තිබීම එයට හේතුව විය. එහෙම වුණොත් ජාතික මැතිවරණ දෙකක් එක ළඟ තියන්න පුළුවන් වෙයිද?
මහ මැතිවරණය කලින් එනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සරල බහුතරයකින් සම්මත කළ යුතුය. ඒ සඳහා පොහොට්ටුව ඉදිරිපත් වන්නේ නම් මැතිවරණ අවශ්‍ය බව හැමදාම කියන සෙසු පක්ෂවලටද එයට එකඟ නොවී සිටිය නොහැක. ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුවකින් හැකිවන බව ද සඳහන්ය.

බැසිල්ගේ එම කතාවෙන් පස්සේ තවදුරටත් ජාතික මැතිවරණයක් පිළිබඳ සැකයක් ඇතිවන පරිද්දෙන් ආණ්ඩුවේ මොනම පාර්ශ්වයකට හෝ මින් ඉදිරියට කටයුතු කළ හැකි වන්නේ නැත. ඒ අනුව හොඳටම ඉඩ ඇත්තේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි. එහෙම වුණොත් ජූලි මාසයේදී බොහෝ දුරට මහ මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබේ. ඉන් පසුව ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය ද පැවැත්විය යුතුය.

මොන මැතිවරණයක් තිබුණත් මෙවර එක දෙයක් පැහැදිලි වෙමින් තිබේ. මීට පෙර අවස්ථාවලදී මෙන් බොරු පොරොන්දු, ඇස්බැන්දුම් කතා, සහන පැකේජ වැනි සිල්ලර කරුණුවලට ජනතාව රවටා ගැනීම ඉතා අපහසු වන බවය. ඡන්දය පැවැත්වීමට කකුලෙන් අදින වැඩ සිදුවන විට ඒ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වීමට ද ඉඩ තිබේ. කුමන ඡන්දයක් තැබුවත් මෙවර ජනතාව තමන්ගේ සිතට විශ්වාසය ඇති කළ හැකි ආර්ථික ප්‍රතිපත්ති ද, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහාත් දූෂණය සහ වංචාව මුලිනුපුටා දැමීමටත් කැපවෙන ප්‍රතිපත්ති ද ඇති පක්ෂයකට හෝ සන්ධානයකට හෝ කැමැත්ත ප්‍රකාශ කරනු ඇතැයි සිතිය හැකිය.

එහෙම බලනකොට එදා ජේ.ආර්. මැතිවරණ සිතියම අකුලන්න කතා කර තිබිය යුතු මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයකට ගොස් ඇති කරගත් අවුල ගැන හොඳින්ම දන්නා රනිල් මේ වෙලාවේ ඡන්දය නොපවත්වා අමාරුවේ වැටෙනු ඇතැයි කියලා නම් හිතන්න අමාරුය.

I ශශින්ද්‍ර

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00