2024 මාර්තු 16 වන සෙනසුරාදා

අපේ ආණ්ඩුවකදි අයි.එම්.එෆ්. එක්ක සංශෝධනවලට යනවා

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජනබලවේගය

  • ජනාධිපති එක්ක එකට වාඩිවෙලා කතා කරන්න ඔහුට ජනවරමක් නෑ
  • පළාත් පාලන ඡන්දෙට සල්ලි නෑ කියපු අය දැන් මැතිවරණ දෙකක් එක ළඟ තියන්න යනවා
  • ඔය විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රටට වාසියට වඩා හොරකමට හදාගත්ත එකක්

Q ඔබලා පසුගියදා අයි.එම්.එෆ්. එක්ක මුහුණට මුහුණ සාකච්ඡවක් තිබ්බා. සමහර අය මේක විවේචනය කරනවා. සමහර අය මේක අගය කරනවා. මොකක්ද වුණේ?

කවුද දැන් කියන්නේ අයි.එම්.එෆ්. එක අපිට හම්බවෙන්න බෑ කියලා. මොකක්ද හේතුව? අපිට මේ රටේ පිළිගත් පක්ෂයක් හැටියට ඔවුන් එක්ක සාකච්ඡා කරන්න අයිතියක් තියෙනවා. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එකේ යෝජනා කියලා ජනතාවට දෙන පීඩනය, සිදු කරන බොරුව සම්බන්ධයෙන් අපිට ඇත්ත දැනගන්න අයිතිය තියෙනවා. ඉතින් අපි ඔවුන් එක්ක සාකච්ඡා කළා. දැන් බලන්න අපේ රට 17 වතාවක් අයි.එම්.එෆ්. එක්ක ගනුදෙනු කරලා තියෙනවා. 6 වතාවක් මේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය භාවිත කරලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? වෙච්ච දෙයක් නෑ. එන්න එන්න රට කඩා වැටුණු එක විතරයි වෙලා තියෙන්නේ. ඉතින් අපේ ආණ්ඩුවකදි මොකක්ද කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්නයි අපි මේ සාකච්ඡාව සිද්ධ කළේ.

Q මේ සාකච්ඡාව ඉල්ලලා ගත්ත එකක්ද?

නෑ කිසිසේත් නෑ. ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඉල්ලීමක් කළා. අපි ඒ සඳහා ඉඩකඩ දුන්නා. එහෙම නැතුව අපි ඔවුන්ගෙන් සාකච්ඡා ඉල්ලන්න ගියේ නෑ.

Q ජනාධිපතිවරයත් අයි.එම්.එෆ්. එක්ක සාකච්ඡාවක් සඳහා සියලු පක්ෂවලට ආරාධනා කළා. ඇයි ඔබලා ගියේ නැත්තේ?

ඇයි අපි යන්නේ. රනිල් වික්‍රමසිංහට ඕනෑ දේවල් කරලා අයි.එම්.එෆ්. එකට පේන්න සාකච්ඡා කරන්න අපිව ගෙන්නගන්න හදනවා. ඕක ලෑස්ති කළේ රනිල් වික්‍රමසිංහයි හර්ෂ ද සිල්වායි. අපිට එන්න කිව්වට අයි.එම්.එෆ්. එකට ආරාධනා කරලත් නෑ. ඒ නිසා ඒ තනිකරම ෂෝ එකට කරපු වැඩක්. ඉතින් ඒ වගේ දේවල්වලට අපි යන්නේ මොකටද? අනික රනිල් වික්‍රමසිංහ එක්ක එකට වාඩිවෙලා සාකච්ඡා කරන්න ඔහුට ජනවරමක් ලැබිලා නෑ.

Q ඔබලගේ ආණ්ඩුවකදි අයි.එම්.එෆ්. යෝජනා සංශෝධනයක් සිද්ධ කරනවද?

රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ අටවාගත්ත ආණ්ඩුව කිසිම ජනවරමක් නැති ආණ්ඩුවක්. ඔවුන් අයි.එම්.එෆ්. යෝජනා සඳහා එකඟවෙලා තියෙන්නේ ඒ ජනවරම නැති නිසා. මොකද ආණ්ඩුව වුණත් ජනතාව විසින් පන්නපු පිරිසක්. කොහොම වුණත් මේ ආයතන පෞද්ගලීකරණය කරන එක ගැන අපි තව හොයලා බලන්න ඕනෑ. මොකද සමහර දේවල් කළ යුතුම දේවල් නෙවෙයි. ඒවා ඔවුන්ගේ වාසියට කරන දේවල්. කොහොම වුණත් කියන්න තියෙන්නේ අපේ ආණ්ඩුවකදි අයි.එම්.එෆ්. එකත් එක්ක යම් යම් සංශෝධනවලට යනවා.

Q ඒ කියන්නේ ඔබලගේ ආණ්ඩුවකදි පෞද්ගලීකරණය නතර කරනවා?

මෙහෙම‍යි. හොයලා බලන්න ඕනෑ ඇත්තටම මේ පෞද්ගලීකරණය කිරීමෙන් මොකක්ද මේ රටට ලැබුණු ආර්ථික සහාය කියලා. එහෙම නැතුව නිකම් මේවා විකුණලා දාන එක නෙවෙයි උත්තරේ.

Q ඒ කියන්නේ පාඩු ලැබුවත් විකුණන්නේ නෑ?

ඒක තමා බලන්න ඕනෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ආණ්ඩුව හැමදේම කරනවා කියලා. ආණ්ඩුව ව්‍යාපාරවලට මැදිහත් වෙනවා කියලා. මේක පැහැදිලිවම ලියන්න. අපි මේ ලුණු ගෙන්නන එකයි, පිටි ගෙන්නන එකයි, බදු වැඩි කරන එකයි තීරණය කරන්නේ නෑ. අපි ඒවා අධීක්ෂණය කරනවා. සීනි බද්ද රුපියල් 50 තියලා ශත 25ට අඩු කරන්න අපි යන්නේ නෑ. ඔය විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඇත්තටම රටට වාසියට වඩා හොරකමට හදාගත්ත එකක්. මොකද ඒකෙන් තමයි ගාණ හොයාගන්නේ කට්ටිය. ඒ නිසා අපේ ආණ්ඩුවකදි ඒවා ගැන සලකලා බලනවා.

Q පසුගියදා කුලියාපිටිය රුස්වීමේදී ජනාධිපතිවරයා ඔබලගේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කළා තිරයක් දාලා පෙන්නලම, ඔබලට සැලැසුමක් නෑ කියලා?

මඩ නොගහ එහෙම කළ එක නම් හොඳයි. මොකද ඒ අය දන්නේ මඩ ගහන්නනේ. අනික රනිල් වික්‍රමසිංහ මහත්තයා එතැනදි එකක් පිළිගත්තා එයා විනාශ කරලා ගිය ආර්ථිකය අපේ ප්‍රතිපත්තිවලිනුත් ගොඩගන්න අමරුයි කියලා. මොකද එයාලා 2015 ඉඳලා හොඳටම කරලනේ ගියේ. ඒ නිසා ඒ කතාව ඇත්ත, එයා කාපු ආර්ථිකය හදන්න අපේ ඒවා මදි. ඊළඟ කාරණය එයා මේ පෙන්නුවේ 2019 ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒක වර්තමානයට ගැලපෙන්නේ නෑ. අපි එදා ඒක හැදුවේ ඒ මොහොතේ මහ බැංකු වාර්තා පදනම් කරගෙන. ඒත් එයයි ගෝඨාභයයි ආර්ථිකයට කරලා ගිය හානිය එක්ක ඒක ගැන කතා කරලා තේරුමක් නෑ. අනික ඕනෑ පොඩි ළමයෙක්ට තේරෙනවනේ 2019 ප්‍රකාශනයක් වර්තමානය එක්ක සසඳන එක තේරුමක් නැති වැඩක් කියලා. ඔය වැඩ හොඳයි ගැලරිය පිනවන්න. රටට වැඩක් නෑ.

Q ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ගේන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඔබලා සහාය දෙනවද?

ඔව්. එහෙම යෝජනාවක් ගේන්නත් පුළුවන්. ඕනෑ නම් ජනාධිපතිවරයටත් පුළුවන් විසුරුවන්න. දැන් පළාත් පාලන මැතිවරණය තියන්න බෑ, සල්ලි නෑ කිව්ව අය අද මැතිවරණ දෙකක් එක ළඟ තියන්න යන්නේ ඒ අයගේ වාසියට. මහ මැතිවරණය කොහොම තිබ්බත් සැප්තැම්බර් ඔක්තෝබර් අතර ජනාධිපතිවරණය තියන්න එපැයි. ඒ නිසා මොන දේ කළත් ජාතික ජන බලවේගය මැතිවරණයකට සූදානම්.

Q ආණ්ඩුවක් අරගෙන ඔබලට කරන්න බෑ කියලයි හැමෝම කියන්නේ නේද?

ඵල ඇති රුකටයි ගල් ගහන්නේ. ඒ නිසා ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ඒත් අපිට හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ජනතාව පිළිගන්න වැඩපිළිවෙළක්.

Q ඔබලට පාර්ලිමේන්තු ආසන 3 ඉඳලා 113 ක් ගන්න එක හීනයක් කියලා කියන්නේ ආණ්ඩුවේ විපක්ෂයේ අය?

රටේ ජනතාවගේ කැමැත්ත අවබෝධය කොතැනද තියෙන්නේ කියලා අපි දන්නවා. ජනතාව මේ මොහොතේ ඉන්නේ මේ දූෂණ පාලන ක්‍රමය බිඳ දමන්න. ඒ නිසා සැබෑ ජනමතය තියෙන්නේ ජාතික ජනබලවේගය වටා.

Q ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තිබුණු ජන රැල්ලම ඔබලට තියෙන නිසා මේ රුල්ලත් ඒ රුල්ල වගේ වෙයිද?

නෑ මේක රුල්ලක් නෙවෙයි. මේක අවබෝධයෙන් කැපවීමෙන් අරමුණක් වෙනුවෙන් කරන බල පෙරුළියක්.

I ගයාන් ගාල්ලගේ

 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00