ගෝඨාභය රාජපක්ෂ ලියූ ‘කුමන්ත්‍රණය’ ග්‍රන්ථය දේශපාලන කරළියේත් සමාජ මාධ්‍යවලත් පොදුවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනා තුළත් රසට හැපෙන ‘කටගැස්මක්’ වී තිබේ. ජනාධිපති ධූරය අතහැර රට ද හැර යෑමට සිදුවූ වෙනත් රාජ්‍ය නායකයකු මෙරටේ නැතුවා සේම ධූරය අහිමි වී මේ තරම් කෙටි කාලයකින් තමන්ගේ ඉතාම කෙටි කාලයකට සීමා වූ පාලන කාලය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් ලියූ වෙනත් රාජ්‍ය නායකයෙක්ද ලංකාවේ සිටියේ නැත. අඩුම තරමින් රාජපක්ෂ පවුලේ වඩාත් කැපීපෙනෙන රාජ්‍ය නායකයා වූ මහින්දත් ධූරයෙන් බැහැර වී ලොකු කාලයක් ගෙවුණත් තවම ඒ ගැන පොතක් ලියා නැත. මැත ඉතිහාසයේ ජනාධිපති ධූරය ඉසිලූ චන්ද්‍රිකා හෝ එහෙම පොතක් ලිව්වේ නැත. ලංකාවේ පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර්. වුණත් ඔහුගේ ධූර කාලය පිළිබඳ පොතක් ලියැවුණේ පසු කාලයකදී වෙනත් පුද්ගලයන් අතිනි. එයින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයයි.
රටේ නායකයකුව සිට එම ධූර කාලය සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කිරීම දැලි පිහියෙන් කිරි කෑමක් වැනිය. බොහෝ දෙනකු ඒ කාලය ගැන පොතක් ලියන්න කැමැත්තක් දක්වන්නේ නැත. නායකයෝ බොහෝ විට ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ විවිධ අවස්ථා අනාවරණය කරමින් පොත් ලියා ඇති නමුත් ධූරය දැරෑ කාලය පිළිබඳ පොතක් ලිවීමට නොපෙළඹෙන්නේ ලියනවාට වඩා නොලියන කාරණා තිබෙන බව ඒ නායකයන් දැන සිටි බැවිනි. ගෝඨා මේ පොත ලිව්වාට වඩා නොලිව්වා නම් හොඳයි කියා සමහරුන් කියන්නේත් ඒ නිසා විය යුතුයි. නායකයන් තමන්ගේ කතාව තමන් නොලියා ඔහුට හෝ ඇයට සමීපව සිටි වෙනත් අයගේ නම්වලින් තමන්ට අවශ්‍ය දෑ ලියා පළකර ගන්නේ ද ඒ හේතුවෙනි. දැන් ගෝඨාගේ කතාව ‘කුමන්ත්‍රණය’ නමින් පළ කරන්නේ ගෝඨාම විසිනි. එය ලියන්නේ සැඟවුණු ලේඛකයකු වුණත් කතුවරයා ගෝඨාමය. එහි සඳහන් සියලු කාරණාවල වගකීම ඔහුටම දරාගැනීමට ඒ නිසා සිදුවෙයි.
ගෝඨා මේ පොත ලියන්නට හේතු වන්නේ ඔහුගේ පාලනය ගැන කතා කිරීමට වඩා ඔහුට ධූරය අතහැර යාමට සිදු වූ කතාව තමා තේරුම් ගත් ආකාරය විග්‍රහ කිරීමට බව පොත කියවීමේදී වැටහෙයි. ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය’ නමින් පොත නම් තැබීම ඒ ගැන පැහැදිලි ඉඟියක් ලබා දෙයි. ඒ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයේ පිටපත් තුන්දහසම දින දෙක තුනක් තුළදී අලෙවි වීම හේතුවෙන් ඊළඟ මුද්‍රණවලට ද එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ විජිතයාපා ප්‍රකාශකයෝ සූදානම් වෙති. ඒ ග්‍රන්ථය මිලදී ගත් බහුතරය දේශපාලනඥයන් බව ද සඳහන්ය. මේ වන විට එහි සම්පූර්ණ පිටු සංඛ්‍යාවම සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බැවින් එහි තොරතුරු පිළිබඳ බොහෝ දෙනා දැන සිටිති.
ඒ වගේම ග්‍රන්ථයට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ද ලැබිණි. නමුත් ඒ ප්‍රසිද්ධිය යටින් තිබුණේ එහි ඇතුළත් කරුණු පිළිබඳ බරපතළ විවේචනයක් බව හඳුනාගත හැකි විය. කරුණු එකින් එක ගෙන ඇතැම් විචාරකයන් ඒ ගැන තම මත පළ කර තිබූ අතර සමහර කාරණා සත්‍යයෙන් තොර බව ඔවුන් පෙන්වා දී තිබිණි. එයින් වඩාත්ම කැපීපෙනෙන එක් කරුණක් වූයේ කාබනික පොහොර පිළිබඳව ගෝඨාභය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පොතේ සඳහන් බොහෝ කරුණු සත්‍යයෙන් දුරස් වීමය.
ගෝඨාගේ පාලනය අසාර්ථක වීම සම්බන්ධයෙන් කතා කරන විට කාබනික පොහොර පිළිබඳ තීන්දුව ඉතා තීරණාත්මක හැරවුම් ලක්ෂයක් විය. තම පොතෙන් ගෝඨාභය කියා තිබුණේ කාබනික කෘෂිකර්මයට මාරුවීම තම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති බවය. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ එය ක්‍රියාවට නැංවෙන්නේ ‘ඉදිරි දශකයක කාලය තුළදී’ බවය. එසේම ‘කාබනික පොහොර නිෂ්පාදනය එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වේගවත් කරනු ඇත.’ යනුවෙන්ද එහි සඳහන්ය. එහෙත් ගෝඨාභය එම තීන්දුව ක්‍රියාත්මක කළේ පැය 24 කින් රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමිනි. එම තීන්දුව ලෝකයේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ගනු ලැබූ ඉතා අඥානම තීන්දුවක් විය. එහි ව්‍යසනකාරී ප්‍රතිඵල සියලු පාර්ශ්වයන් විසින් පෙන්වා දුන්නත් ඔහු එම උපදෙස් පිළිපැදීමට සූදානම් නොවීය.
ඔහුගේ රජයේ සිටි දේශපාලන තීන්දු ගැනීමට උපකාරී වූ සියලු දෙනාගේ විරෝධය මැද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පෙන්වා දෙන ලද එම තීන්දුවේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳ අබමල් රේණුවක හෝ සැලකීමකින් තොරව ක්‍රියාත්මක කළ එම තීන්දුව රටේම කෘෂිකර්ම ක්ෂේත්‍රය බින්දුවටම බැස්සුවේය. කෘෂිකර්ම විශේෂඥයන්ගේ සියලු පුරෝකථන සත්‍ය වෙමින් මාස කිහිපයක් ඇතුළත රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නන්නත්තාර වූ අතර එයට මුහුණ දුන් ගොවි ජනතාවගේ හදගැස්ම තේරුම් ගැනීමට ගෝඨාභය රටේ නායකයා වශයෙන් අසමත් විය. තම පොතෙන් ගෝඨාභය අරගලය සම්බන්ධව කතා කිරීමේදී හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල බොහෝ සාමාජිකයන් අරගලයට සහාය දක්වන මානසිකත්වයෙන් පසු වූ බවට ඉඟි කර තිබිණි. නමුත් ගෝඨාභය එහිදී එම හමුදා සාමාජිකයන් බොහෝ දෙනකු මෙරට ගොවි ජනතාවගේ දූ දරුවන් බව අමතක කර තිබේ. තම මවුපියන්ගේ ප්‍රධාන ජීවනෝපය කඩාකප්පල් වී ඔවුන් පාරට බැස සිටින විට අරගලයට සහභාගි වී සිටි මහජනතාවට එරෙහිව ඔවුන් සටන් නොකරනු ඇතැයි යන්න තේරුම් නොගැනීමෙන් ගෝඨාභය තමන් ශක්තිමත් නායකයකු නොවන බව පෙන්නුම් කළේය.
ගෝඨාභය තමන් නෙරපීමේ ‘කුමන්ත්‍රණය’ සිංහල බෞද්ධ ජනතාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වශයෙන් අර්ථ ගැන්වීමට උත්සාහ කළත් රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහාය ලැබූ ජන අරගලයේ මුල් ගිනි පුපුරු දැල්වූයේ ‘කාබනික පොහොර පිළිබඳ ගනු ලැබූ අඥාන තීන්දුව’ බව පිළිගැනීමට අකමැති වීම බරපතළ අඩුපාඩුවකි. සිංහල බෞද්ධ සංකල්පය තුළින් තමන් ජනතාවගේ නායකයා වූ බවට ගෝඨාභය උදම් ඇනුවත් එම සංස්කෘතියේ ආර්ථිකය රඳා පවතින්නේ රටේ කෘෂිකර්මය තුළ බව යන ප්‍රධාන සාධකය අමතක කිරීමෙන් වසරක් ඇතුළත රට කනපිට පෙරළිණි. ඔහුට විරුද්ධව නැගී සිටියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් නොව තමන්ට ඡන්දය ලබා දුන් මෙරට ග්‍රාමීය සහ නාගරික ජනතාව බව තේරුම් ගැනීමට පවා ඔහු අසමත්ව සිටී. කවුරුන් හෝ උපදෙසක් දුන් එළියට කිසිදු විමසිලිමත් බවකින් තොරව විශේෂඥයන්ගේ උපදෙස් ලබා නොගෙන අඩුම තරමින් ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් හෝ ලබා නොගෙන තනි මතයට ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය තමන්ට විනාශය ගෙන දුන් බව ගෝඨාභය මේ ග්‍රන්ථයෙන් පිළි නොගැනීම අඩුපාඩුවකි.
ජාත්‍යන්තර අනුග්‍රහයෙන් වූ ‘රෙජීම් චේන්ජ්’ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හැල්ලු වූ හැටි යැයි ගෝඨාභය තම ග්‍රන්ථයේ හැඳින්වීමේ සඳහන් කර තිබේ. එම හැඳින්වීමේ තමන් බලයට පත්වූයේ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් ජනවාර්ගික හා ආගමික අනන්‍යතාවයන් අනුව බරපතළ ලෙස බෙදුණු ජනාධිපතිවරණයකින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දායකයන් වැඩි වශයෙන් සිටි ඡන්ද කොට්ඨාස තමන් පහසුවෙන් ජයග්‍රහණය කළ බවත් ජනවාර්ගික හෝ ආගමික සුළු ජන කොටස් වැඩි වශයෙන් සිටි ඡන්ද කොට්ඨාසවල තමන් එක්කෝ පරාජයට පත්වී නැත්නම් දුර්වල තත්ත්වයක සිටි බවත් ගෝඨාභය මුලින්ම කියයි. එහෙත් ගෝඨාභය අමතක කර තිබුණත් තමන්ගේ සමස්ත ඡන්ද ව්‍යාපාරයම කේන්ද්‍රගත කළේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දය බලාගෙනම බව මේ රටේ දේශපාලන ඉතිහාසය පිළිබඳ යම් දැනීමක් හෝ තිබෙන අයකුට පවා තේරුම් යයි. මේ ජනවාර්ගික සහ ආගම් මත පදනම් වූ දේශපාලන බෙදීම පිළිබඳ ප්‍රශ්නය මේ රටේ දේශපාලන කතිකාවේ ඉදිරියෙන්ම තිබිය යුතු මාතෘකාවක් බවද ගෝඨාභය ප්‍රකාශ කරයි. තමා ජනාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා ලැබූ අවස්ථාවේ සිට දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් විශාල කොටසක්, විදේශගත දෙමළ කණ්ඩායම්, විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශගත දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචි වී සිටින ඇතැම් රටවල් තමා ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනවාට විරුද්ධව පෙළ ගැසුණු බවත් තමා ජනාධිපති වූ පසුව රෝමානු කතෝලික පල්ලියේ ඇතුළු කොටස් ද මේ පෙළගැස්මට එකතු වූ බවත් මේ සියලු කණ්ඩායම් තමාව බලයෙන් නෙරපා හැරීමට අවස්ථාවක් එනතුරු බලා සිටීම අනිවාර්ය කරුණක් බවත් ගෝඨාභය සඳහන් කරයි.
එසේ වුවත් තමන්ට එරෙහිව මේ කණ්ඩායම්වල පෙළගැස්ම පිළිබඳ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ගෝඨාභය ඉදිරිපත් කරන්නේ නැත. තමන්ට එරෙහිව 2021 දී රෝමානු කතෝලික පල්ලිය ක්‍රියාත්මක වනතුරු ඔවුන් තමන් සමඟ ඉතා විශිෂ්ට වූ සම්බන්ධතාවක් පැවැත්වූ බව ගෝඨාභය කිව්වත් කතෝලික ප්‍රජාව නියෝජනය කළ රෝමානු කතෝලික පල්ලිය පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ රටේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමඟ එහෙම විශිෂ්ට වූ සබඳතාවක් පැවැත්වූයේ නැති බව ප්‍රකාශිත කරුණකි. ඔවුන් ගෝඨාභය බලයට ඒමට පෙර ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය හමුවට ගෙන ඇවිත් කතෝලික ප්‍රජාවට සිදුවූ බරපතළ හානියට සාධාරණත්වය ඉටුකරන ලෙසටය. නමුත් ගෝඨාභය බලයට පැමිණීමෙන් පසුව දිගින් දිගටම ඒ පිළිබඳ තීන්දු ගැනීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් කතෝලික පල්ලිය ගෝඨාභය කෙරෙන් දුරස් වී ගියේය. 2021 වනතුරු විශිෂ්ට සම්බන්ධතාවක් පැවැත්වූ බවට කරන ප්‍රකාශය ගැටලු සහගතය. කතෝලික පල්ලියද ජන අරගලයට ක්‍රියාකාරීව සහාය දැක්වූ අතර එහිදී පවා ඔවුන්ගේ ඉල්ලීම් අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රබලව සටහන්ව තිබුණි.
තමන්ගේ පාලනයට එරෙහිව ඇරඹූ ජන අරගලය සිංහල බෞද්ධයන්ට එරෙහිව විදේශීය කුමන්ත්‍රණ හරහා ගොඩනැගුණු සංවිධානාත්මක බලවේගයක් හැටියට හුවා දැක්වීමට ද ගෝඨාභය උත්සාහ දරා තිබේ. &2022 අප්‍රේල් 09 වැනි දින ඊනියා අරගලය ගාලුමුවදොරදී ආරම්භ වී ගෝඨා ගෝ ගම නමින් විරෝධතාකරුවන්ගේ කූඩාරම් නගරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය තුළ ඇතැම් විචාරකයන් ප්‍රකාශ කළේ අරගලය විසින් සියලු ජන වර්ග සහ ආගම් එක් පොදු අරමුණක් වෙනුවෙන් එක්සත් කරවූ බවයි. මගේ රජයට එරෙහිව සියලු දෙනාම එකතු වී ජාතිවාදය පරාජය කළ බවද ඇතැම් අය කීහ. නමුත් ගාලුමුවදොර අරගලයට පැමිණ සිටියේ කවුරුන් ද යන්න සැබැවින්ම විග්‍රහ කර බැලුවොත් ඒ සියලු දෙනාම පාහේ මුල සිටම මට විරුද්ධ වූ පිරිසක් බව කාටත් පසක් වනු ඇත. අරගලය තුළ සුළු ජන ප්‍රජාවන් හොඳින් නියෝජනය වූයේ එක් එක් පාර්ශ්වයට අරගලයට එක්වීමට පොළඹවන සාධක තිබූ බැවිනි.'' (පිටුව 95)
එහෙත් ගෝඨාභය මෙහිදී අමතක කර ඇත්තේ මේ අරගලයට උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වූයේ ඉතා සුළු මට්ටමින් බවය. එම ප්‍රදේශවල අරගලයට සහාය දක්වන ක්‍රියා සිදුවූයේ නොගිනිය හැකි මට්ටමකිනි. උතුරේ නම් කිසිවක් නොසිදුවූ තරම්ය. එසේම මුල සිටම මෙරට ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වය ද අරගලයට ලැබුණි. ඇතැම් විහාරස්ථානවල භික්ෂූන් පවා මහා මාර්ගයට බැස අරගලයට සහාය දැක්වීම එකල සුලබ දසුනක් විය. රෝමානු කතෝලික පල්ලිවල කන්‍යා සොයුරියෝද පෙළපාළි ගියහ. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටම්වලින් ඡන්දයට කැම්පේන් කළ තරුණ ප්‍රජාවද අරගලයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ පුද්ගලයන් අතර සිටියහ. එසේම තමන්ට ඡන්දය භාවිත කිරීම සඳහා විරුද්ධ රටවල සිටි පිරිස පවා ශ්‍රී ලංකාවට පැමිණි බව කියන ගෝඨාභය ඒ පිරිස් විසින්ම ඒ ඒ රටවල දී අරගලයට සහාය දක්වා විරෝධතා පැවැත්වූ බව අමතක කරයි. ඇතැම් පිරිස් අරගලයට සහභාගි වීම සඳහා ඒ රටවල සිට මෙරටට පැමිණි බව ද ඒ දිනවල මාධ්‍ය වාර්තාවල සඳහන් විය. නමුත් ඒ රටවල ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරාව නම් ගෝඨාභයට එරෙහි අරගලයට සහාය දක්වා විරෝධතා පැවැත්වූ බවට සාක්ෂි නැත.
ගෝඨාභයගේ ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය’ පොත කියවාගෙන යන විට දැනෙන්නේ ඔහුගේ පාලන කාලය තුළදී සිදුවූ යහපත් කරුණු පිළිබඳ ලකුණු තමන්ට ලැබෙන්නත් සෙසු සියලු අසාර්ථක වීම් අනෙක් අයගේ ගිණුම්වලට බැරවන මෙන් කරුණු දක්වා ඇති බවය. තමන්ට එරෙහි ජන අරගලය සිංහල බෞද්ධ විරෝධී ජනතාවගේ කුමන්ත්‍රණයක් වශයෙන් හුවා දැක්වීමට දැරෑ උත්සාහය අසාර්ථක වී තිබේ. අරගලයේ ඇරඹුම ගම්බද ගොවි ජනතාවගේ ගැටලුව බවද උවමනාවෙන්ම අමතක කර තිබේ. පොතේ ඇති ගෝඨාභයට සම්බන්ධ එකම ‘ප්ලස්’ පොයින්ට් එක කොවිඩ් අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේ ජනාධිපති වශයෙන් ඔහු ගනු ලැබූ තීන්දු සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඔහු දැක්වූ කාර්යක්ෂම බවයි.
කෙසේ වුවද කවදා හෝ මේ ග්‍රන්ථය දෙස ආපසු හැරී බලන විට ‘මේ පොත මම ලිව්වාට වඩා හොඳයි නොලියා හිටියා නම්’ කියා ගෝඨාභයටම සිතුණොත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැත.
I ශෂීන්ද්‍ර