හර්ෂණ රාජකරුණා - සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී
Q ඔබලා කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒත් ඒක පරාජය වුණා. කතානායකවරයත් කිව්වා සල්ලි නාස්ති කළේ අපරාදේ කියලා. ඇයි බහුතරය ඉන්නේ අනික් පැත්තේ කියලා දැන දැන මේ විශ්වාසභංගය ගෙනාවේ?
අපි විශ්වාසභංගය ගෙනාව හේතුව මේ වෙද්දි සමාජගත වෙලා ඉවරයි. මේ ගැන අවබෝධයක් නැති අයට කියන්න පුළුවන් මේවා තේරුමක් නෑ කියලා. ඒත් ඔබ දන්නවා කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයට ගෙනාපු විශ්වාසභංගය අපි පරාජය වුණත් පසුව නීතිය හමුවේ ඒ චෝදනා ඇත්ත වෙමින් යනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ අපි පරාජය වුණත් එළියේ ජනතාව ඉදිරියේ අපි දිනුම්.
Q ඔබලා හිතන්නෙ විශ්වාසභංගය හරහා නියෝජනය කළේ ජනතා මතය කියලද?
පැහැදිලිවම ජනතාවගේ මතය තමයි අපි නියෝජනය කළේ. ජනතාවගේ මතය තමයි ඒක. විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය නිතර නියෝජනය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න සහ ජනතාව. ජනතාවගේ ප්‍රශ්න මිසක් විපක්ෂය තමන්ගේ පෞද්ගලික දේවල් අරගෙන ඇවිත් කතා කරලා නෑ.
Q අපි දන්නවා මේ වෙද්දි ජනාධිපතිවරයත් බැසිල් රාජපක්ෂ මහත්තයත් සාකච්ඡා පවත්වනවා, ඉස්සෙල්ලා මොන ඡන්දය ද කියලා. මේක ඔබලට ප්‍රශ්නයක් නෙවෙයිද?
දැන් ඒ අය ඇයි මැතිවරණය තෝරන්නේ. මොකක්ද හේතුව පළාත් පාලන ඡන්දය කල් දාන්න. මේ හැමදේම ඒ අයගේ බලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒ අය දන්නවා තව ටික කාලයයි කියලා. මොකද ඒ අය පරාජය වෙනවා ඊළඟ ඡන්දයෙන්. දැන් බලනවා ඒ අයට වාසි ඡන්දය මොකක්ද කියලා. කොහොම වුණත් සමගි ජනබලවේගයට නම් ඕනෑ ඡන්දයක් එකයි. අපි බය නෑ. මොකද අපිට ඕනෑ කොහොම හරි ඡන්දයක්. ජනතාවටත් ඕනෑ ඉක්මන් ඡන්දයක් ආණ්ඩුවට පාඩමක් උගන්නන්න.
Q ඔබලට වාසි මොන ඡන්දයද? ඇත්ත කතා කරමු?
ඇත්තටම අපිට මොන ඡන්දය ආවත් එකයි. අපි ගම් මට්ටමේ ඉඳලා ශාඛා සමිති හදලා මැතිවරණයකට සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඕනෑම මැතිවරණයක් තියන්න කියන්න. අපිටත් ඕනෑ මැතිවරණයක්. ආණ්ඩුවයි රාජපක්ෂ කණ්ඩායමයි ඡන්දවලට බය වුණාට අපි බය නෑ.
Q ඔබලට පොහොට්ටුවෙන් ආරාධනා කළේ නැද්ද යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුව විසුරුවන්න?
එහෙම සාකච්ඡාවක් තිබුණා. ඒත් ඒක සාකච්ඡාවක් විතරයි. එකඟත්වයක් නෑ.
Q කෝප් කමිටුවේ සභාපතිවරයාට විරුද්ධව සාමාජිකයෝ ඉල්ලා අස්වුණා. ඒත් ඝන පූර්ණය 5ක් නිසා ඒ පිරිස ආණ්ඩුවේ ඉන්නවා. ඒ අය එක්ක කමිටුව අරන් යනවා?
අපි අයින් වුණේ සභාපතිවරයා සම්බන්ධයෙන් තියෙන විරෝධයට. ඒකට අවශ්‍ය විරෝධය පෙන්නුවා. ආණ්ඩුවට සදාචාරයක් තියෙනවා නම් කමිටුව පවත්වාගෙන යන්නේ නෑ. කොහොම වුණත් ඒකේ හිටියත් මේක තමා ඇත්ත දේ. ආණ්ඩුවට ඕනෑ විදිහට මේක ක්‍රියාත්මක කරන්නේ.
Q ඔබලා පසුගියදා අයි.එම්.එෆ්. එක එක්ක සාකච්ඡාවක් කළා. ඔබලා කියනවා ඔබලගේ ආණ්ඩුවකදි අයි.එම්.එෆ්. සමහර යෝජනා වෙනස් කරනවා කියලා. ඒ බව ඒ අයට කිව්වද?
අපෝ ඔව්. අපි කී වතාවක් කිව්වද? අපේ ආණ්ඩුවකදි අපේ ආර්ථික ප්‍රතිපත්තිය එක්ක සමහර යෝජනා වෙනස් කරනවා. මොකද ජනතාවට පීඩාවක් දෙන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන් සංශෝධන ගේනවා.
Q ඔබලට ලොකුම අභියෝගය දැන් ජාතික ජන බලවේගය නේද?
අනේ නෑ. අපි ඒ අයට ආරාධනා කරනවා අපි එක්ක සංවාදයකට එන්න කියලා අපේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකත් අරගෙන. අන්න එදාට ජනතාවට තේරුම් ගන්න පුළුවන් ඇත්ත මොකක්ද කියලා. ඒ නිසා එයාලා අපිට අභියෝගයක් නෙවෙයි. එයාලට ඡන්දය දුන්නොත් ජනතාවට ජීවිතේ නම් අභියෝගයක් වෙනවා ජීවත් වෙන්න අමාරු වෙලා.
I ගයාන් ගාල්ලගේ