2024 මාර්තු 23 වන සෙනසුරාදා

දවස් 44ක් පුරා යන ඉන්දියාවේ මහ ඡන්දය

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

2024 වසර ආරම්භ වන්නේම ලොවේ සුපිරිම මැතිවරණ වසර වශයෙන් සැලකුම් ලබමිනි. ලොව ප්‍රධාන රටවල් 60කට අධික සංඛ්‍යාවක ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ මේ වසර තුළ පැවැත්වීමට නියමිතය. දැනටම ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ රුසියාව මැතිවරණ පවත්වා අවසන් කර ඇති අතර ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වශයෙන් සැලකෙන ඉන්දියාව ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ලබන අප්‍රේල් 19 වැනිදා ආරම්භ වෙන ඉන්දීය මහ මැතිවරණය සති 06ක් පුරා පැවැත්වෙයි. එය අදියර හතක් වශයෙන් ක්‍රියාත්මක වන අතර මෙවර ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව මිලියන 970 ඉක්මවා ගොස් තිබේ. එය සමස්ත ලෝක ජනගහනයෙන් 10% ඉක්මවා යන ජනගහණයකි. ඉදිරි පස් වසර සඳහා මන්ත්‍රීවරුන් 543 දෙනකු ඔවුන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගනු ඇත. ජූනි 01 වැනිදා ඡන්දය අවසන් වන අතර ජූනි 04 වැනිදා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ. විවිධ ප්‍රාන්ත සඳහා විවිධ කාලසටහන් අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවීමද අපූරු සිද්ධියකි.

ඉන්දියාවේ ඡන්ද ක්‍රමය අනුව මන්ත්‍රීවරුන් පත්වීම කේවළ ක්‍රමයට සිදුවන අතර ඉහළම ඡන්ද සංඛ්‍යාව ලබන්නා මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් වෙයි.

ඉන්දීය මහ මැතිවරණයට දින 44ක් ගතවෙන්නේ ඇයි? එයට ප්‍රධාන හේතු 02 කි. ඉන්දියාව භූමි ප්‍රමාණයෙන් ඉතා විශාල රටක් වීම එක් හේතුවකි. අනෙක් හේතුව ලොව වැඩිම ජනගහණයක් සිටින රට ද ඉන්දියාව වීමයි.

ඉන්දියාවේ ප්‍රථම මහ මැතිවරණය සම්පූර්ණ කිරීමට (1951 – 1952) මාස 04 ක් ගත වී  තිබේ. එම කාලසීමාව වරින් වර වෙනස් වූ අතර 2019 දී ඒ සඳහා දින 39ක් ගත වී තිබිණි. ඒ අනුව 2024 වසරේ පැවැත්වෙන්නේ ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝතම කාලයක් ගතවෙන මහ මැතිවරණයයි.

සාමාන්‍යයෙන් ඉන්දීය මැතිවරණ ප්‍රාන්තයක ජනගහණය යුරෝපා සංගමයේ ඒකාබද්ධ ජනගහණයට වඩා අධික බව සඳහන්ය. ඉන්දියාවේ ප්‍රාන්ත 28ක් සහ ෆෙඩරල් ප්‍රාදේශික 08ක් පවතින අතර අදියර 07 කදී ක්‍රියාත්මක මහ මැතිවරණයේදී අවසන් ඡන්දය ප්‍රකාශ කෙරෙන්නේ ජූනි 01 වැනිදායි. ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම එක් දිනක් තුළදී අවසන් වුවද ඇතැම් ප්‍රාන්තවල එය දින ගණනාවක් පුරා පැවැත්වෙයි. විශාලම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 200 කි. බ්‍රසීලය තරම් විශාල උත්තර් ප්‍රදේශ් හි ඡන්දය ප්‍රකාශ කිරීම දින 07ක් පුරා සිදුවෙයි.

ජනගහණය කොතරම් සිටියත් ඉන්දීය මැතිවරණ කොමිසම සෑම ඡන්ද දායකයකුම සිටින ස්ථානයේ සිට කිලෝමීටර් 02ක් තුළ ඡන්ද මධ්‍යස්ථානයක් තිබෙන බවට වගබලා ගනී. ''තනි ඡන්ද දායකයකුගේ ඡන්දය ලබාදීම සහතික කිරීම සඳහා මැතිවරණ නිලධාරීන් කුමන තරම් දුරකට හෝ යාමට සූදානමින් සිටී.'' යැයි මැතිවරණ නිරීක්ෂණය කරන සංවිධානයක් ප්‍රකාශ කරයි. ඒ සඳහා මැතිවරණ නිලධාරීන් මිලියන 15ක් ආරක්ෂක නිලධාරීන්ද සමඟ ඉන්දියාවේ කාන්තාර සහ කඳු පවා තරණය කරමින් රාජකාරියට යති. ඔවුන් ඇතැම්විට බෝට්ටුවලින් පයින් පමණක් නොව අශ්වයන්ගේ පිටේ පවා යන අවස්ථා ද තිබේ. ඒ සඳහා කදිම උදාහරණයක් පසුගිය 2019 මැතිවරණයේදී මතු වී පෙනිණි.

ඉන්දු - චීන දේශසීමාව අසල පිහිටි ඉතා දුරස්ථ ප්‍රාන්තයක් වන අරුණාචල් ප්‍රදේශ් හි පිහිටි හුදෙකලා වූ ඉතා කුඩා ගම්මානයක වෙසෙන එක් ඡන්ද දායකයකුගේ ඡන්දය ලබා දීම සහතික කිරීම සඳහා ඉන්දීය මැතිවරණ නිලධාරීන් කණ්ඩායමක් කිලෝමීටර් 480ක් (සැතපුම් 300ක්) දුර ගෙවමින් දවස් 04ක් තිස්සේ ඉතා වෙහෙසකර ගමනක යෙදී තිබිණි. එසේම එම වසරේදී හිමාලය කඳු ප්‍රදේශයේ අඩි 15,256ක් (මීටර් 4650ක්) ඉහළ පිහිටි ගම්මානයක ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමටද ඉන්දීය මැතිවරණ කොමිසම කටයුතු කර තිබිණි. එය මෙතෙක් ලොව ඉදිකර ඇති ඉහළම ස්ථානයක පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වශයෙන් සැලකෙයි. එසේම මෙවරද වනජීවී කලාපයක් ඇතුළේත් (කේරළ ප්‍රාන්තයේ) බටහිර ගුජරාට් ප්‍රාන්තයේ නැව් කන්ටේනරයක් ඇතුළේත් වැනි දුරස්ථ ස්ථානවලද මැතිවරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉන්දීය මැතිවරණ කොමිසම තදින්ම පියවර ගෙන තිබේ. මෙතරම් දවස් ගණනාවක් පුරා ඡන්දය පැවැත්වීම සඳහා ගතවන්නේත් ආරක්ෂක හේතූන් මත බවද සඳහන්ය. ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීමටත් ඡන්ද පෙට්ටි සහ මැතිවරණ නිලධාරීන් ප්‍රවාහනයටත් දැඩි ආරක්ෂාවක් යොදා තිබේ. ඒ සඳහා ඉන්දීය පොලිසියේ සහායට දේශසීමා ආරක්ෂක බලඇණි ද කැඳවා තිබේ.

ඇතැම් ප්‍රදේශවල - බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවෙයි. එහෙත් මේ වනවිට එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම බොහෝ දුරට අවම වී ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීමද සාමකාමීව සිදුවෙයි. එයට හේතු වී ඇත්තේ ආරක්ෂක විධිවිධාන පසුගිය කාලය මුළුල්ලේම තදින්ම ක්‍රියාත්මක කිරීම නිසා බවද සඳහන්ය.

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජීව් කුමාර් ප්‍රකාශ කරන්නේ සෑම ඡන්ද දායකයකුගේම අයිතිය රුකදීම සඳහා තම නිලධාරීන් සියලු බර කරට ගන්නා බැවින් ඡන්ද දායකයාට තම ඡන්දය නිදහසේ භාවිත කිරීමට වෙහෙස වීම අවශ්‍ය නැති බවයි.

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද? පසුගිය කාලසීමාව තුළදී පැවැත්වූ සියලු ජනමත සමීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි පහසු ජයක් ලබනු ඇති බවයි. 2019 පැවති මහ මැතිවරණයේදී මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය ආසන 303ක් ලබා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. 

 

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00