2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මේ රටේ දැන් තිබෙන්නේ දේශපාලන අච්චාරුවක්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

ඩිලාන් පෙරේරා - පාර්ලිමේන්තු මන්ත්‍රී - නිදහස ජනතා සභාවේ සාමාජික

  • පොහොට්ටුව අද රාජපක්ෂ පවුලේ බූදලයක් වෙලා
  • ලංකාවේ පළමු වතාවට විපක්ෂයේ පක්ෂ දෙකක් අතර බලය ගන්න තරගයක්
  • සජබ වටා ගොඩනැගෙන සන්ධානයකට රට හදාගන්න පුළුවන්

Q ඔබ දේශපාලනයේ අරගලකාරී කෙනෙක්. නමුත් අපි දැක්කා පහුගිය කාලෙ ඔබ වෙනස් දේශපාලන මතයක් දරන්න ගත්තා මැද මාවතේ. මොකක්ද මේකෙ අරමුණ?

මේ වෙද්දි අපේ රටේ තියෙන්නෙ දේශපාලන අච්චාරුවක්. මේ රටේ වමේ දේශපාලනය නියෝජනය කරන්නෙ රතු පාට. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි වමේ මැද මාවතට ආවෙ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පින් සිද්ධ වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටිලා පොහොට්ටුව කියලා තවත් පක්ෂයක් හැදුණා. ඒ වගේම තමයි අන්ත දක්ෂිණාංශිකය නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය. මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂය බිඳ වැටිලා මැද මාවතට සමගි ජන බලවේගය පත්වෙලා තියෙනවා. අන්තිමේ මේ අච්චාරුව තවත් ලොකු අච්චාරුවක් බවට පත්වුණා 2022 දි පොහොට්ටුවෙ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා බවට පත්වීමත් එක්ක. ඒ වගේම තමයි වමේ මැද මාවතට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා ජවිපෙ වෙනුවට මාලිමාව නිර්මාණය කරලා. 

Q දැන් මේ ඔක්කොම අච්චාරුවක් නම් මේ රටට අවශ්‍ය වෙලා තියෙන දේශපාලන ධාරාව මොකක්ද?

ඇත්තටම ඔබට මතක ඇති බණ්ඩාරනායක මහත්තයා එජාපය කඩාගෙන හදපු මැද මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ මැද මාවතේ පක්ෂයක් මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නෙ වමට හෝ දකුණට අන්තගාමී නොවන පක්ෂයක්. ඒ නිසා මේ රටේ හදාගන්න පුළුවන් කියලා පක්ෂයක් හැටියට අපිට පේන්නෙ සමගි ජන බලවේගය වටා ගොඩනැගෙන සන්ධානයක්. 

Q ඒ කියන්නෙ ඔබලා වගේ අයට එකම තැන සමගි ජන බලවේගය?

නෑ අපි වගේ අයට සාමාජිකත්වය අරගෙන යන්න බැරිවෙයි. ඒත් සන්ධානයක් තුළ යම් අරමුණක් වෙනුවෙන් අපිට යන්න පුළුවන්. එදා මැද මාවතේ හිටිය කට්ටියටත්, ඒ වගේම මැද මාවතක් හොයන කට්ටියටත් සමගි ජන බලවේගය හොඳ වෙයි. 

Q සමගි ජන බලවේගය හොඳ වෙන්නෙ කොහොමද?

සමගි ජන බලවේගයේ නායකයා නිර්ප්‍රභූ පැළැන්තියෙන් බිහිවුණු නායකයෙක්. රණසිංහ ප්‍රේමදාස මහත්තයගේ දේශපාලන ක්‍රමවේදය එක්ක මට එකඟතාවයක් නැති වුණත් මේ රටේ නිර්ප්‍රභූ පන්තියෙන් බිහිවුණු එකම නායකයා රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියලා පිළිගන්න වෙනවා. මොකද පාලක කුලක පැළැන්තියෙන් බැහැරව බිහිවුණු එකම නායකයා එතුමා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ රටක අරගලයකින්. හැබැයි අපේ රටේ ජනතාව තමයි එතුමා තෝරගත්තෙ. 

Q හරි ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්. ඇත්තටම පොහොට්ටුවට මොකද වුණේ?

පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ දේශපාලන මතිමතාන්තරවලින් නෙවෙයි බිහිවුණේ. ඒක බිහිවුණේ විශාල දේශපාලන පවුල් පසුබිමකින්. ඒක රාජපක්ෂ පවුලට අයිති පක්ෂයක් වුණා.

Q ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරලත් ඔය කතාවම කිව්වා?

ඔව් එහෙම කතා කිව්වා. නමුත් පසුකාලීනව ඒක ජනතාවගේ පක්ෂයක් බවට පත්වුණා. ඒත් පොහොට්ටුව තවම රාජපක්ෂවරුන්ගෙ පක්ෂයක්. ඒ තුළ විශාල ඥාති සංග්‍රහයක් පවතිනවා. ඊටත් වඩා බරපතළ කාරණය විශාල ජාතිවාදයක් මේ පක්ෂය හරහා ගොඩනැගුණා. ඒ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රික්තකය පුරවන්න ආවට අද වෙනකම් ඒ දේ කරගන්න පුළුවන් වෙලා නෑ. රාජපක්ෂවරුන්ගේ පවුලේ බූදලයක් වෙලා තියෙනවා. 

Q ඉතින් රාජපක්ෂවරුන් එක්ක වැඩ කළේ ඔබලනෙ. ඔබලට ඒක තේරුණේ නැද්ද?

ඇත්තම කිව්වොත් රාජපක්ෂවරුන් සම්බන්ධව මට දේශපාලන වෛරයක් හෝ භීතිකාවක් නෑ. හැබැයි මහින්ද රාජපක්ෂගෙ නාමය විනාශ කළේ ජනතාවත් කවුරුත් නෙවෙයි පවුලෙම අයයි. මොකද රාජපක්ෂවරු යම් වැඩ කොටසක් මේ රටට සිද්ධ කළා. 

Q අපි දන්නවා මේ වෙද්දි විශාල සටනක් තියෙනවා සජබය සහ ජාතික ජන බලවේගය අතර. මාලිමාවෙ අය කියන්නෙ ඔය ඔක්කොම එකයි බලය අපිට දෙන්න කියලා?

මෙහෙමයි. ලංකාවෙ පළවෙනි වතාවට දේශපාලන තරගය ඇවිල්ලා තියෙන්නෙ විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර නෙවෙයි. විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර. ඒ නිසා මේ පක්ෂ දෙක අතර තියෙන තරගකාරීත්වය ආණ්ඩුවෙ අය තමන්ගෙ වාසියට ගන්න පුළුවන්. පසුගිය දවස්වලත් සංවාද කරන්න ලෑස්ති වුණා. ඇත්තටම ඒවා ආණ්ඩුවට වාසි සහගත තැන්. ඒ නිසා උනුත් එකයි මුනුත් එකයි නෙවෙයි දෙගොල්ලොම එකතුවෙලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරන්න ඕනෑ.

I ගයාන් ගාල්ලගේ