පසුගිය දිනවල දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාව බවට පත්වී තිබුණු ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? ඡන්දයක් නොතියයිද? කියන කතා යටපත් කරගෙන දැන් උඩට මතු වී තිබෙන්නේ ශ්‍රීලනිපය මුහුණ දෙමින් සිටින තත්ත්වයයි. ශ්‍රීලනිපයේ සභාපති සහ නායකයාද වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට අද තම පක්ෂ මූලස්ථානයද අහිමි වී තිබේ. ඔහුට එරෙහිව අධිකරණය මගින් ලබා දෙන ලද වාරණ නියෝගය හේතුවෙන් පක්ෂ මූලස්ථානයට යාමට නොහැකිව තිබියදී ඔහු විසින් පක්ෂයෙන් එළවන ලද මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න, ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට ගොස් මාධ්‍ය සාකච්ඡා තබා සියලු ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එකතු වෙන්නැයි ආරාධනා කළහ.
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගය ලබාගන්නේ චන්ද්‍රිකා වීමයි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිකම් පවා දැරූ මෛත්‍රීපාලට එරෙහිව ඇය ක්‍රියාත්මක වීම ශ්‍රීලනිපය ඇතුළේ මහ කුණාටුවක් නිර්මාණය කර තිබේ. ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ දියණිය වන චන්ද්‍රිකා තම පියාගේ ඝාතනයෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත් තම මව පක්ෂය මෙහෙයවූ ආකාරය හොඳින්ම සමීපවම දැන සිටි දේශපාලන චරිතයකි. තම මව වූ සිරිමාවෝට එරෙහිව ජේ.ආර්ගේ ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අහිමිවූයේ පක්ෂ මූලස්ථානය පමණක් නොවේ. ඇයට ප්‍රජා අයිතියද අහිමිවීමෙන් වසර 06 ක කාලයකට සියලු දේශපාලන අයිතියද අහිමි විය. ඒ කතාව ටිකක් මතක් කරගැනීම ශ්‍රීලනිපයේ කාටත් හොඳය.
ජේ.ආර්. ජයවර්ධන '77 මැතිවරණයෙන් හයෙන් පහක ජයක් ලබාගෙන බලයට පැමිණීමෙන් පසුවත් පරාජය ලැබූ සිරිමාවෝ පසුපසින් දේශපාලන වශයෙන් සිදු කළ පැන්නීම ඒ කාලයේ කාටත් ප්‍රහේළිකාවක් වී තිබුණේය. එක හේතුවක් වශයෙන් සමහරුන් සඳහන් කළේ '71 කැරුල්ල සමයේදී කිසිදු හේතුවක් නොදක්වා ජේ.ආර්ගේ පුත් රවී ජයවර්ධන පැය 24 ක කාලයක් සිරගත කිරීමෙන් ඇතිවූ සිත් වේදනාව බවය. එයත් හේතුවක් වෙන්නට ඇත. නමුත් ඒ සමඟ තවත් දේශපාලන කාරණාවක්ද එයට මුල් විය.
දේශපාලනය තුළ ජයග්‍රහණ මෙන්ම පරාජයද සිදුවීම අහම්බයක් නොවන බවත් තමන්ගේ රජය අප්‍රසාදයට පත්වෙන විට ජනතාව නිසැකවම ආපසු සිරිමාවෝට ආකර්ශනය වීම නැවැත්විය නොහැකි බවත් ජේ.ආර්. දැන සිටියේය. ඉතා දරදඬු සහ උද්ධච්ඡ ආකාරයකට රට පාලනය කළ බවට සිරිමාවෝට විවේචන එල්ල වුවත් ඇයට එරෙහිව දූෂණ, වංචා චෝදනා නොවීය. එසේම රටට ගැලපෙන හොඳ විදේශ ප්‍රතිපත්තියක් ඇති කරගෙන තිබීම සම්බන්ධයෙන්ද සිරිමාවෝ පැසසුම් ලබා සිටියාය. ඇය ජනතාව අතරින් පිරිහීමට පත්වූයේ දැරිය නොහැකි ආර්ථික පීඩනයත් (හාල් පොලු, මිරිස් පොලු ඇතුළු) ජනතාව පීඩනයට පත්කෙරෙන අනවශ්‍ය සීමා පැනවීමත් (විදේශ විනිමය ඉපැයීමට බාධා, රුකියාවට එතෙර යාම වැළැක්වීම) හේතුවෙනි.
'77 දී බලයට පත්වී '78 දී විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සම්මත කරගත් ජේ.ආර්. ඊළඟට අතගැසුවේ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය. සිරිමාවෝට දේශපාලනය කිරීමේ අයිතිය ඒ සමඟ අහිමිවන නිසා එය ශ්‍රීලනිපය ඇතුළේ මහ ගැටුමකට හේතු වනු ඇති බවත් ශ්‍රීලනිප නායකත්වය අතහැරීමට සිරිමාවෝ අකැමැති වන නිසා ඊළඟ මැතිවරණවලදී ශ්‍රීලනිපය පහසුවෙන් පරාජය කිරීමට හැකිවනු ඇති බවත් ජේ.ආර්. ගේ ගණන් බැලීම විය.
ශ්‍රී ලංකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුම දිනය’ වශයෙන් සමහරුන් හැඳින්වූ 1980 ඔක්තෝබර් 16 වැනිදා සිරිමාවෝට පාර්ලිමේන්තුවේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එම තත්ත්වයට ඇය නිර්භීතව සහ උපේක්ෂා සහගතව මුහුණ දුන් බවත් මෙය තමන්ට එරෙහි ‘අසාධාරණ, අයුක්තිසහගත පළිගැනීමක්’ බවත් සඳහන් කරමින් ඇය එහිදී සිදු කළේ කෙටි සමුගැනීමේ කතාවක් බවත් ඉතිහාසයේ ලියැවී තිබේ. ඒ කතාවෙන් පසුව සිරිමාවෝට පාර්ලිමේන්තු සබා ගැබෙන් පිට වී යාමට සිදුවූයේ හතරවටේ සිටි ඇතැම් යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ගේ උසුළු විසුළු කතා මැද්දෙනි. එදින ශ්‍රීලනිප සෙසු මන්ත්‍රීන් 06 දෙනා පාර්ලිමේන්තුව වර්ජනය කර සිටි බැවින් තනිවම සබා ගැබෙන් ඇය පිට වී යද්දී විපක්ෂයේ සිටි ද්‍රඑවිපෙ මන්ත්‍රීවරු වූ එස්. සිවසිදම්බරම් සහ ඒ. අමිර්තලිංගම් දෙදෙනා සිය අසුන්වලින් නැගිට සිරිමාවෝ මැතිනිය සබා ගැබෙන් පිටතට යන තෙක් ඇය සමඟ ගමන් ගත්හ.
එය යූ.එන්.පිය පාර්ලිමේන්තුව තුළදී ලැබූ තාවකාලික ජයග්‍රහණයක් විය. ජේ.ආර්. බලාපොරොත්තු වූ පරිදිම ශ්‍රීලනිපය රියැදුරකු නැතිව ධාවනය වන වාහනයක් බවට පත්විය. ඊළඟ ජනාධිපතිවරණය ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ජයග්‍රහණය කරනවා දැකීමට සිරිමාවෝට සමීප කිසිවකුත් කැමැති වුණේ නැත. මේ නිසා ජේ.ආර්. පහසුවෙන් ඒ මැතිවරණය ජය ගත්තේය.
හැබැයි එදා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් ජේ.ආර්. ගේ කැබිනට් එකේ සිටි ගාමිණී දිසානායක, ආනන්ද තිස්ස ද අල්විස් සහ එස්. තොණ්ඩමන් තිදෙනාම කතා කර තිබිණි. ඔවුන් කියා තිබුණේ මේ අවස්ථාවේ ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නොකළ යුතු ක්‍රියාවක් බවය. ඒ වන විට 85 හැවිරිදි වියේ සිටි හිටපු යූ.එන්.පී අගමැතිවරයකු වූ සර් ජෝන් කොතලාවලද ලෙඩ ඇඳෙන් නැගිට ඇවිත් පෞද්ගලිකව ජේ.ආර්. මුණගැසී සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නැයි ඉල්ලා සිටි බවද සඳහන් වෙයි. ඒත් ජේ.ආර්. ඒ එකකටවත් කන් දුන්නේ නැත.
ප්‍රජා අයිතිය අහිමි වී යාමෙන් පසුව ශ්‍රීලනිපය සීසීකඩව ගියේය. අනුර එක පැත්තකින්ද චන්ද්‍රිකා තවත් පැත්තකින්ද බලපෑම් කරද්දී ශ්‍රීලනිපය ඇතුළේ පිල් ගණනාවක් බිහි විය. නමුත් සිරිමාවෝ පක්ෂ නායකත්වය අතහැරියේ නැත. තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසිවීමේ කාලසීමාව ඉක්ම යාමෙන් පසුව චන්ද්‍රිකාද එකතු කරගෙන 1994 දී තම පක්ෂය ප්‍රමුඛ සන්ධානයට යළිත් රටේ පාලන බලය අත්කර දීමට කැප වූවාය.
මොනම දේශපාලන පක්ෂයකට වුවද බලයේ සිටියදී මෙන් නොව විපක්ෂයේ සිටියදී මෙවැනි දේශපාලන හෙයියම්මාරුවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙම වෙන්නේ බලයට එන ආණ්ඩුවට විපක්ෂයේ වඩාත්ම ආකර්ශනයට ලක්විය හැකි නායකයා ඊළඟට තියෙන මැතිවරණයේදී බලයට පත්වීමට තිබෙන ඉඩකඩ නැතිකර දැමීමේ අවශ්‍යතාව හේතුවෙනි. එහෙම වුණත් අද මෛත්‍රීපාලට සිදුවී ඇත්තේ එදා සිරිමාවෝට වුණා වගේ බලවත් ආණ්ඩු පක්ෂ නායකයකුගේ පළිගැනීමට ලක්වීමට නොවේ. තමාගේම පක්ෂය ඇතුළේ කැරුල්ලකට මුහුණ දීමටය.
ඒ කැරුල්ලත් ඉබේ පැමිණි එකක් නොව මෛත්‍රීපාලම හදාගත් එකකි. එදා සිරිමාවෝ ජේ.ආර්. ගේ දැඩි මර්දනයටත් දේශපාලන පළිගැනීම්වලටත් නොබියව මුහුණ දුන්නාය. ශ්‍රීලනිපය කැඩී බිදී ගියත් රට ඇතුළේ පාක්ෂිකයන්ගේ විශ්වාසය යම් පමණකට හෝ රුක ගැනීමටද ඇයට හැකි විය. 1988 පැවැති ජනාධිපතිවරණයේදී ආර්. ප්‍රේමදාසට එරෙහිව තරග කළ සිරිමාවෝ පරාජය වුණේ යන්තමිනි. එම පරාජයටද වඩාත්ම හේතු වූයේ රට ඇතුළේ ඒ වන විට ඇති වී තිබූ භීෂණකාරී වාතාවරණයයි. නමුත් ඊට වසර 06 කට පසුව 1994 වන විට යුරෝපයේ සිටි තම දියණිය චන්ද්‍රිකා ආපසු ලංකාවට ගෙන්වාගෙන ජනාධිපතිවරණ අපේක්ෂිකාව කර තමන්ගේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට යළි බලය ලබා දීමට සිරිමාවෝට හැකි විය. ඇය එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයද දරා ඊළඟට පැවැති මහ මැතිවරණය දවසේ අභාවප්‍රාප්ත වූවාය. මවගෙන් ලබාගත් පන්නරය සමඟ චන්ද්‍රිකා ධූර කාල දෙකක්ම බලයේ සිට ජනාධිපති ධූරයට සමු දී සක්‍රීය දේශපාලනයට සමු දුන්නාය.
අද ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගයක් අධිකරණය හරහා ලබාගත්තේ එදා එහෙම කරපු චන්ද්‍රිකාය. 2015 දී පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම්ව සිටි මෛත්‍රීපාලව එම පක්ෂයෙන් ගලවාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා කර ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමේ මෙහෙයුමේ තිරය පසුපස සිට ප්‍රධාන භූමිකාවකට පණ පෙවූ චන්ද්‍රිකා අද ඒ මෛත්‍රීපාලටම පක්ෂයේ සභාපතිකම තාවකාලිකව හෝ අහිමි කිරීමට පියවර ගැනීම දෛවයේ සරදමකි.
මෛත්‍රීපාලට වැරදුණේ ජනාධිපති ධූරයෙන් සමුගැනීමෙන් පසුව පක්ෂයේ අනාගතයට වඩා තම දේශපාලන අනාගතය ගැන සිතා කටයුතු කිරීම හේතුවෙනි. ඔහු තමන්ගේ පක්ෂයේ පිරිසක් අරගලයෙන් පසුව හැදූ ආණ්ඩුවේ අමාත්‍ය ධූර ගන්නා විට ඒ ගැන දැඩි පියවරක් ගත්තේ නැත. ඊට පස්සේ මෛත්‍රීපාලත් උත්සාහ කළේ රනිල් ජනාධිපති වූ ආණ්ඩුවේ කොටස්කාරයකු වීමට වුණත් ඒක හරි ගියේ නැත. ඊළඟට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයක් හදාගෙන ඉදිරි ඡන්දයට ඉදිරිපත් වීමට සැලසුම් කළත් ඒ වන විට ඔහු සමඟ විරසකව සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හේතුවෙන් එයටද බාධා පැමිනුණි. පක්ෂ ලේකම් දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළත් එයට වෙනත් විකල්ප බලවත් චරිතයක් උඩට ගැනීමට මෛත්‍රීපාලට නොහැකි විය. ඒ එක්කම මෙම හදන සන්ධානය ආණ්ඩුවට හේත්තු කිරීමේ වෑයමක් තිබූ බවට තොරතුරු පළවන විට චන්ද්‍රිකා එම සන්ධානයට එකතු වීම ප්‍රතික්ෂේප කළාය. මෛත්‍රීපාල ඒ හේතුවෙන් තවදුරටත් තනි විය. මෙතැන් සිට ඔහු ඉදිරියට යා යුත්තේ කා සමඟද? කවුරුන් වෙනුවෙන්ද?
එදා සිරිමාවෝ ප්‍රජා අයිතිය අහිමි කරගෙන පක්ෂය ඇතුළේ නායකත්වය රුක ගැනීමටත් රට පුරා සිටින පාක්ෂිකයන් දිගටම තබා ගැනීමටත් දුන්නේ මාර සටනකි. ඒ සඳහා ඇයට ලොකුම ශක්තිය වුණේ රට ඇතුළේ බණ්ඩාරනායක පවුලේ දේශපාලනයට තිබූ ආකර්ශනයයි. ජේ.ආර්. හැම තුරුම්පුවම ගැහැව්වේ ඒ ආකර්ශනය කඩා බිඳ දැමීමටයි. එහෙත් ඒක හරි ගියේ තාවකාලිකව පමණි. සිරිමාවෝ තම පක්ෂය වූ ශ්‍රීලනිපයද සමඟ යළි දේශපාලනයෙන් නැගිට්ටාය. රටේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධූර දෙකම තම පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ලබා දීමට ක්‍රියා කළාය.
මෛත්‍රීපාලට එහෙම කරන්න හැකියාවක් නැත. ඔහුගේ දේශපාලනය බණ්ඩාරනායකලාගේ මෙන් රට පුරා විහිදී ගිය එකක් නොවේ. පොළොන්නරුව කේන්ද්‍රගත වූවක් පමණි. ඔහුට මැදිරිගිරියේ තිබෙන පිළිගැනීම කොළඹදී හෝ මාතරදී හෝ නැත. දයාසිරිව පක්ෂයෙන් එළවූ දා පටන් ශ්‍රීලනිපය ඇතුළේ රුල්ල කැරකුණේ තමන්ට එරෙහිව බව තේරුම් ගන්නට තරම් හැකියාවක් මෛත්‍රීපාලට නොතිබිණි. දැන් ඔහු එළියේය. ඔහු එළවූ පිරිස ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡා පවත්වති. ඒ මදිවාට පාස්කු ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ යැයි කියූ කතාවද මෛත්‍රීපාලට දේශපාලන පාරා වළල්ලක් වී තිබේ. අද ඔහුට රට ඇතුළේ වගේම ජාත්‍යන්තරයේත් ප්‍රශ්නය. මෙහෙම දේශපාලනය කිරීමට උපදෙස් දෙන්නේ කවුද කියන එක ලොකුම ගැටලුවකි.
ශ්‍රීලනිපය මේ රටේ තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්ව තිබුණි. අවසන් වරට තිබූ මහ මැතිවරණයේදීද සියයට 13 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඒ පක්ෂයට හැකි විය. ආසන 14ක්ද ලබා ගත්තේය. මෛත්‍රීපාල දැන් මේ පක්ෂය හසුරුවන ආකාරයෙන් පෙනෙන්නේ ඒ ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාලගෙන් බොහෝ දුරට ඈත් වී තිබෙන බවය. ඒක තේරුම් නොගන්නා තෙක් මෛත්‍රීපාලට රටේ ඉදිරි දේශපාලනයක් ගැන හිතන්නත් බැරිය.
- ශෂීන්ද්‍ර