2017 ජුනි 17 වන සෙනසුරාදා

අපි අාණ්ඩු හැදුවේ බෙර ගගහා නටන්න නෙවෙයි

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග

ඔබ වරායේ භාරකරු වගේ හිටියේ. ඇයි මේ එකපාර වරායෙන් එළියට දැම්මේ?

ඒක ඔබ අහන්න ඕන ආණ්ඩුවෙන්. හැබැයි මම මගේ වැඩ ටික හොඳින් කළා. මම බාරගත්තේ 2015 දී. 2016 විශාල ලාබයක් ලැබුවා. රුපියල් බිලියන 11ක් වගේ. හොඳම දේ තමයි අපි හොරකම නතර කළා. තරාතිරම බලන්නේ නැතුව හොරකම් කරපු මිනිස්සු අපි අයින් කළා. දඬුවම් දුන්නා. විනයකුත් හැදුවා. ඒ වගේ කිසිම කප්පාදුවකින් තොරව බෝනස් පවා දුන්නා. මම හිතන හැටියට වරායේ තිබ්බ ප්‍රශ්න බොහොමයක් විසඳන්න අපිට හැකිවුණා. සමහර විට මාව එතනින් මෙතෙන්ට එවන්න ඇත්තේ එතන එච්චර වැඩ කොටසක් කරන්න නැති නිසා වෙන්න ඇති. දැන් පෙට්‍රෝලියම් එක ගත්තාම ඩොලර් බිලියන 2.5ක විතර සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න තියෙනවා. ඒක කරන්න නිසා වෙන්න ඇති ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාව මෙතෙන්ට එවන්න ඇත්තේ.

රවි ඇමැතිතුමා කිව්වා දූෂණය නතර කළ එතුමයි, වරාය බේරගත්ත අර්ජුනවයි, තෙල් ටැංකි බේරගන්න ගිය චන්දිමවයි මාරු කළා කියලා. ඒ කතාවෙන් කියවෙන්නේ වැඩකරපු අය එලෙව්වා වගේ දෙයක් නොවේද?

එහෙම හුඟ දෙනෙක් කියනවා. මටත් කියනවා ඇහිලා තියෙනවා. වරාය සුද්ද කරන්න ගිහිල්ලයි, හොරු අල්ලන්න ගිහිල්ලයි එහෙම වුණේ කියලා. හැබැයි මට ඒ ගැන කනගාටුවක් නෑ. මේ රට ජනතාව මට ඡන්දය දෙන්නේ හරි දේවල් කරන්න. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අමාත්‍යංශ දෙන්නේ හරි දේ කරන්න. මම හරි දේ කළා. ලාබ ලැබුවා. මට දැන් ලැබිලා තියෙන අමාත්‍යංශය විශාල අභියෝගයක්. වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ අභියෝගය වෙන්න ඇති මට බාරදෙන්නේ ඇත්තේ. හැබැයි මම මේකත් හදලා දෙනවා.

ලොතරැයි මණ්ඩලය විදේශ ඇමැතිට දීම ප්‍රශ්නයක්

ඔබ වරායේ වෘත්තීය සමිති නායකයෙක් ඉවත් කළා චෝදනාවලට. ඉහළින් කිව්වා ඔහුව නැවත ගන්න කියලා. ඔබ ගත්තේ නෑ. ඒ නිසා යන්න වුණා කියලා හිතෙන්නේ නැද්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියේ නායකයා 2013 ඉඳලා චෝදනාවලට පරීක්ෂණවලට ලක්වෙච්ච කෙනෙක්. චෝදනා තියෙනවා 08ක් 10ක් විතර. අධිකරණයේ නඩුවකදී තීන්දුවෙලා තියෙනවා ඔහු වැරදිකරු කියලා. ඒ පුද්ගලයා ගැන මට ජනාධිතිතුමාට කතා කළා. මම එතුමට ෆයිල් පිටින් අරගෙන ගිහින් පෙන්නුවා ඒ මනුස්සයා මොනවගේ කෙනෙක්ද කියලා. එදායින් පස්සේ ජනාධිපතිතුමා කිව්වේ නෑ ඔහුව ඇතුළට ගන්න කියලා. ඊට පස්සේ අලුත් ඇමැතිතුමා ඇවිල්ලා අලුත් සභාපතිතුමාගේ පළමු බෝඩ් පේපර් එකෙන් ඔහුව ඇතුළට අරගෙන. හතර දෙනෙක් අයින් කළා නඩු තීන්දුවකින්. ඒකෙන් තුන්දෙනෙක් ඇතුළට දානවා. ඒකෙන් පේනවා අලුතින් පත්වෙච්ච සභාපතිතුමා හොරු ආරක්ෂා කරනවද නැද්ද කියලා. හැබැයි දැන් මට එතන අදාළ නෑ. අලුත් තැනක් තියෙනවා. මම අනිත් ඇමැතිවරු වගේ නෙමෙයි. මට දේශපාලනය කියන්නේ දෙක. රට කියන්නේ එක. මම හොරකමට විරුද්ධයි. ඒ නිසා ඒ ගැන මට සතුටක් තියෙනවා. යහපාලන ඇමැතිවරයෙක් හැටියට මට එක දෙයක් හිතෙනවා හොරකම්වලට සම්බන්ධ අය ආයේ ගන්නවා නම් අපි හදපු දේ වතුරෙ ගියාදෝ කියලා දුකක්.

විශේෂයෙන් හම්බන්තොට ඉඩම් ගැටලුවේදී ඔබ ආණ්ඩුවට හරහට හිටියේ. ඒකවත් බලපෑවා කියලා හිතෙන්නේ නැද්ද මේ මාරුවට?

මම කිව්ව එකම දේ තමයි ආයෝජකයෝ එන්න ඕන. එහෙත් රටේ බිම් දෙන්න බෑ කියන අදහසකයි මම හිටියේ. මම හිතන්නේ ඒක ආණ්ඩුවක් හැටියට හැමෝම එකඟ දෙයක්. හැම තිස්සෙම මම බැලුවේ අපේ ආයතනවලට වැඩි ලාබයක් ලබාගන්න. ආණ්ඩුව වැඩි මුදල් හොයාගන්න ඕන නිසා කරගෙන යන පැත්තේ නීතිමය තත්ත්වය බලපාන්නේ නෑ. ඒ නිසා මම ඒවා තේරුම් කරලා දුන්නා. අමාත්‍යවරයකු හැටියට නෙමෙයි මේ රටේ පුරවැසියකු හැටියට. මේ නිසා රජයේ දේපළ ආරක්ෂා කරගෙන ආයෝජකයොත් සමඟ ගිවිසුමක් ගහන්න කතා කළා. හෙට දවසේ මොනවා වෙයිද කියලා දන්නේ නෑ. හැබැයි මම නිසා ජනවාරි 9,10 අත්සන් කරන්න තිබ්බ ඒවා තව වෙනකල් අත්සන් කරන්න බැරිවෙලා තියෙනවා. ඒ අය ඉල්ලන හැමදේටම මට එකඟ වෙන්න බෑ. මොකද ජාතික ආරක්ෂාව කියන එක නොම්බර එකට මම පිළිගන්නවා. ඒ ගැන හිතලයි මම කැබිනට් එකේ කතා කළේ. කමිටුවක් තුළදී කතා කළා. නමුත් කමිටු වාර්තාව අද වෙනකල් ගියේ නෑ.

රවි ඇමැතිතුමා කියලා තිබ්බා එතුමගේ ඇමැතිකම මාරුකළේ පක්ෂයට පස්සෙ දොරෙන් ආපු පක්ෂයේම කෙනෙක් නිසා කියලා. ඔබටත් එහෙම කවුරු හරි ඉන්නවද?

නෑ එහෙම හිතන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා වෙන්න කලින් මගේ නමත් ඒ ලැයිස්තුවෙ තිබ්බා. හැබැයි එතුමා ආපුවම මම ගොඩක් කැමතිවුණා එතුමා ගැන දන්න කෙනෙක් නිසා. අපි එකතුවෙලා අලුත් ආණ්ඩුවක් හැදුවා. ඒ හැදුවේ පසුගිය ආණ්ඩුව කරගෙන ගිය දේවල් කරගෙන යන්න නෙමෙයි. මම තවමත් කැබිනට් එකේ වගේම එළියේදීත් කතා කරනවා ඒ ගැන. තවම හොරු අල්ලලා නෑ. චූටි චූටි හොරු ඇල්ලුවට මහ හොරැ එළියේ. ඒ ගැන මම කලකිරීමකින් ඉන්නේ. ඒ නිසා ඉදිරියේදී තීරණයක් ගන්න වෙනවා මේ ගැන. 

මම වරාය හැදුවා: යන්න වුණේ ඒකද දන්නෙ නෑ

රාජපක්ෂ පවුල්වාදයට විරුද්ධ වෙච්චි ඔබ අන්තිමට වරාය සහෝදරයන්ගෙනුයි, ඥාතීන්ගෙනුයි පිරෙව්වා. ඒවා හරිද?

මම මුල දවස්වලදි දැම්මේ නෑ. නමුත් මට යනකොට තේරුණා කවුරු හරි මට ඉන්න ඕන කියලා. මාවත් ආරක්ෂා කරලා මගේ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පුළුවන් පුද්ගලයෝ ඉන්න ඕන කියලා. මම ඒකයි පවුල් පාලනයයි, පවුල් එකතුවෙලා විනාශ කරන එකයි දෙකක් කියලා විශ්වාස කරන්නේ. මම අදත් හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ගෝඨාභය රාජපක්ෂයි, චමල් රාජපක්ෂයි හිටියෙ නැත්තන් ඔය යුද්ධයයි, ඔච්චර කල් දුවන්නයි බැරිවෙන්න තිබ්බා කියලා. ඒ වගේම පවුල් පාලනය වැරදි පැත්තට ගියහම ඒකෙන් ඒ අය නැතිවෙන්න පුළුවන්. ඒක අපි දැක්කා. ඒ නිසා මම ධම්මික අයියට ආරාධනා කළා අමෙරිකාවේ කර කර හිටිය රස්සාව දාලා ඇවිත් මට අවුරුදු තුනක් කැපවීමක් කරන්න කියලා. ඔහු එය දාලා ආවේ. මෙතන සොච්චම් පඩි. නමුත් ඔහු කැපවීමක් කරගෙන ආවා. ඒ නිසා තමයි හම්බන්තොට වරාය ඔච්චර දුරක් ගෙනියන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් සභාපතිට අත්සන් කරන්න තිබ්බා ඕන විදිහට. ඒ නිසා මට විශ්වාසවන්ත අය ගෙනත් දැම්මා.

ඇයි මේ ආණ්ඩුව සාමූහික වගකීම කියන එක පැහැර හැරලා තියෙන්නේ? ඇමැතිවරු එක එක කතානේ කියන්නේ?

ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ආණ්ඩුවක් හැටියට අපි ඕනතරම් විවේචනය කරන්න දීලා තියෙනවා. අපි ආණ්ඩුව විවේචනය කරනවා නෙමෙයි සමහර ක්‍රියාකලාප ගැන විවේචනය කරනවා. සමහර තීන්දු ගැන මම එකඟ නොවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල අපි කැබිනට් එකට ගිහින් කතා කරන්න පුළුවන්. මම ගිහින් කියලා තියෙනවා ඒවා වලට පිළියම් යොදලා තියෙනවා. ඒ නිසා පහුගිය කාලයට වැඩියෙන් විශාල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා මම හිතනවා. අපිට කවුරුත් කටවහගෙන ඉන්න කියලා නෑ. මම වුණත් දෙයක් කරනකොට ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි බැනලා නෑ. ඒවා අහගෙන ඉඳලා පිළිතුරු දීලා තියෙනවා. ඒක තමයි විශාලම ජයග්‍රහණය.

ඒ කතා කරන නිදහස නිසාද ඇමැතිවරුන්ට තමන් කැමති අමාත්‍යංශ කටින් ඉල්ලන්න තරම් හැකිවෙලා තියෙන්නේ?

එව්ව නම් ඉතින් මම දන්නේ නෑ. සමහර විට මගේ ආයතනයෙන් මොනවා ගලවලා දාලාද කියලා මම දන්නේ නෑ තවම. ඒත් මම ක්‍රීඩා කරන කාලයෙත් මට දුන්න වැඩකොටස නිවැරදිව කරපු කෙනෙක් මම. දේශපාලනයෙත් එහෙමයි. මට දේවල් නැත්තන් මම ඉල්ලනවා. ඒ වගේම මට කවුරු හරි මේ වැඩේ හරියට කරන්න දෙන්නැත්තන් මේ තනතුරු මට වැඩකුත් නෑ.

ඔබලා රාජපක්ෂ යුගයේ අවුල් ගැන කතා කළා. මේ වෙනකොට ලොතරැයි මණ්ඩලය විදේශ ඇමැතිට දීලා. මෙහෙම අමාත්‍යංශ හදන්න පුළුවන්ද?

මම දකිනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් දකින්නේ මේවා තීරණය කරන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි. හැබැයි අපිට අමතක වෙලා තියෙනවා බැසිල් ඇමැතිවරය හැම ඇමැතිවරයගේම දේවල් පාවිච්චි කළා කියලා. මෙම තීරණය ජනාධිපතිතුමන් අගමැතිතුමයි මොකක් හරි කාරණාවක් නිසා ගන්න ඇති.

පොදු අපේක්ෂකයා හැටියට මගේ නමත් තිබුණා

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රශ්නය නිසා වෘත්තීය සමිති මහා වෘත්තීය අරගලයකට ගියා. ඔවුන් කිව්වේ තෙල් ටැංකි විකුණන්න එපා කියලා. දැන් ඔබ ඒ තෙල් ටැංකි රැකගන්නවද?

තෙල් ටැංකි ටික අවුරුදු ගාණක් ඔතන තිබුණා. කිසිම සංවර්ධන වැඩ පිළිවෙළක් කළේ නෑ. සමහර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒවා නිත්‍යනුකූලද නැද්ද කියන එක හොයන්න ඕන. තවම මම ඇවිත් සුමානයයි. හැබැයි එක දෙයක් තියෙනවා. මේ රටේ භූමියක් පිටරටට දෙනවට අකමැති කෙනෙක් මම. ආයෝජකයෙක් ඇවිත් සංවර්ධනය කරලා කවදා හරි අපිට බාරදීලා යනවා නම් පාඩු නොවී ඒක කමක් නෑ. ඒ ගැන අපි වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කළා. මෙතන ඉන්න වෘත්තීය සමිති තවමත් එයාලගේ දේවල් කියලා නෑ. ඒත් මේ දේවල් ආරක්ෂා කරන්න කියලා තියෙනවා. ඒ අදහසේ මාත් ඉන්නවා.

ඔබේ දේශපාලනය ගැන කතා කළොත් ඇයි මේ පක්ෂ මාරුකර කර යන්නේ?

මම කරන්නේ රටට අවශ්‍ය දේශපාලනය. මම විශ්වාස කරන දේශපාලන නායකයෙක් ඉන්නවා නම් එයාලා එක්ක කරනවා. මම ඒක චන්ද්‍රිකා මැතිනිය එක්ක කළා, මහින්ද රාජපක්ෂ එක්ක කාලයක් කළා. සරත් ෆොන්සේකා මහත්තයත් එක්කත් කළා. එතනදිත් තේරුණා මේක හරි ගමනක් නෙමෙයි කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැන විශ්වාසයක් තියෙනවා. මට එදා ඉඳලා දැක්මක් තිබ්බා මේ රට හදන්නෙ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙන්න ඕන කියලා. ඒක දේශපාලනයට එන්න කලින් ඉඳලා තිබ්බ දෙයක්. සමහර අය එකඟ නොවෙන්න පුළුවන්. මම වෛරය ගැන හිත හිත ඉන්න කෙනෙක් නෙමෙයි. රටේ අනාගත දරුවන්ටයි මේ තැන හදන්න ඕන. බලන්න එක්සත් ජාතික පෙරමුණ පළවෙනි වතාවට ගම්පහ දිස්ත්‍රික්කය දින්නේ. ඒ මමත් චන්ද්‍රිකා මැතිනියත් ශ්‍රීලනිපයට උදව් නොකළ නිසා. ඒ නිසා මට හෙට හිතුණොත් මේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි කරන දේ හරි නෑ කියලා මං ඒ අය එක්ක ඉන්නෙත් නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා වෙන්න ඇති මම යන යන තැන පක්ෂය මොනවද කියලා බලන්නේ නැතුව පාර්ලිමේන්තු යවන්නේ. ඒ විශ්වාසය මට දේශපාලන නායකයන්ගෙන් වැඩක් නෑ. අවශ්‍ය මිනිස්සුන්ගෙන්.

චූටි චූටි හොරු ඇල්ලුවට මහ හොරු තවම එළියේ

හැබැයි ඔබේ පියා මොන ප්‍රශ්න ආවත් ශ්‍රීලනිපය අතඇරියේ නෑ. පක්ෂ මාරු කළේ නෑ. ඇයි ඒ ප්‍රතිපත්තිය ඔබට නැත්තේ? මිනිස්සු විශ්වාස කරයිද?

මම කොළඹ දෙපාරක් ඉල්ලලා දින්නා. කළුතර ඉල්ලලත් දින්නා. ගම්පහට ගිහිනුත් දින්නා. ඒකෙන්ම පේනවා ජනතාවට විශ්වාසයක් තියෙනවා කියලා. තාත්තා ශ්‍රීලනිපය ආරක්ෂා කළ කෙනෙක්. මමත් පංච මහා බලවේගයත් සමඟ හැදිච්ච කෙනෙක්. හැබැයි මම ඊට එහා ගිහින් බලන කෙනෙක්. 

ඔය ක්‍රමවේදය ඇතුළේ හොරු අල්ලනව කිව්වා. ඒත් තවම නෑ. ඔබලා වටේ ඉන්න සිවිල් සංවිධාන ඉච්චාභංගත්වයට පත්වෙලා ආණ්ඩුව ගැන.

අනිවාර්යයෙන්ම තියෙනවා. අපිටත් කනස්සල්ල තියෙනවා. මම දූෂණයට විරුද්ධව කෑගහන කෙනෙක්. සමහර පහුගිය ආණ්ඩුවේ වැරදි කරපු අය මේ ආණ්ඩුවේ අය අල්ලගෙන බේරෙනවා. පොඩි මිනිස්සු තමයි ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. ලොකු හොරු බේරිලා. ඒ කාරණා වෙනස් නොවුණොත් මැතිවරණවලදී තීරණ වෙනස් වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි. මිනිස්සු කෑම බීම වල ගණන් අඩුකරන්න කීවේ නෑ. කිව්වේ දූෂණ වංචාව නතර කරන්න, හොරු අල්ලන්න, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය නම් ඕනවට වැඩිය තියෙනවා. හොරැ දූෂිතයෝ නම් අල්ලලා නෑ. අනෙක් ඒවා ගැනත් මට විශාල කලකිරීමක් තියෙනවා. මම ඇතුළු ඇමැතිවරු පිරිසක් ඒවාවලට කෑගහනවා.

මේ රටේ භූමියේ කොටස් පිටරටට දෙනවාට මම විරුද්ධයි

එතකොට ඔබතුගේ ඉවසීමේ සීමාව නතර වෙන්නේ කොතනින්ද?

මේ ආණ්ඩුව අපි හැදුවේ එක එක්කෙනාට බෙර ගගහා නටන්න නෙමෙයි. හරි දේ කරන්නේ නැත්නම් අවශ්‍ය වෙලාවට මම තීරණය ගන්නවා. මට ඇමැතිවරයෙක් වෙලා හිටිය කියලා ලාබයක් නෑ. පාඩුවක් වෙනවා මිසක්. මට මුදලට වඩා අවශ්‍ය රටට හරියන ක්‍රමවේදයක් හදන්න. ඒක මිනිස්සුන්ගේ විශ්වාසයක්.

ඔබට කලකිරීමක් නැද්ද මේ දේශපාලනය නිසා පවුලේ සහෝදරයොත් තරහා වුණා කියලා?

අපේ පවුලේ අය අමුතු අමුතු විදිහට දේශපාලනය කරන්නේ. රැවන් මල්ලිව මම දකින්නේ ඔහු දේශපාලනය කරන්නේ තාත්තා වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නායකයත් එක්ක එයා වැටීගෙන ආරක්ෂා කරනවා. ප්‍රසන්න මල්ලිගේ තියෙන්නේ වෙනම දෙයක්. ප්‍රසන්න මල්ලි මහින්ද මහත්තයා එක්ක එයා යන ගමන එයා යනවා. මට තියෙන්නේ පුද්ගලයෝ එක්කවත්, පක්ෂ එක්කවත් දේශපාලනයක් නෙමෙයි. රටේ අවශ්‍යතාවය හඳුනගෙන හොඳ පුද්ගලයොත් එක්ක දේශපාලනය කරන්න. හැබැයි මම තෝරගත්ත හොඳ පුද්ගලයා වැරදි කියලා දැනිච්ච ගමන් මම අයින් වෙනවා. මම දේශපාලනයට එන්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි අවුරුදු 15ක් දේශපාලනයේ තියාගත්තේ මිනිස්සු. ඔය දේශපාලන නායකයොත් කිසිකෙනෙක් තියා ගත්තේ නෑ. මම ඇමැතිකම් දාලා ගිහින් තියෙනවා. ලොකු ලොකු අය එක්ක කෑගහගෙන තියෙනවා. මහජනතාවගේ විශ්වාස නැති වෙච්ච දවසට මම ගෙදර යනවා. හැබැයි ඒ විශ්වාසය නැති කරගන්න සූදානම් නෑ.

ඔබේ මල්ලි ප්‍රසන්නට නම් ජ්‍යොතිෂවේදීන් කියලා තිබ්බා රටේ ඉහළ තැනකට යනවා කියලා. ඔබට එවැනි රාජයෝග නැද්ද?

ක්‍රිකට් ගහන කාලෙදිවත් මම නායකයෙක් වෙනවා කියලා කවුරුත් කිව්වේ නෑ. වෙලාව ආපුවම ගියා. මම ලෝක කුසලානයක් දින්නා. හොඳ කණ්ඩායමක් ලැබුණා. එව්වා වෙන්න තියෙනවා නම් එව්වා වෙයි. ඔය සාස්තරකාරයෝ කියන දේවල් ගැන හිතලා ඔළුව නරක් කරගෙන පිස්සු නටන මිනිහෙක් නෙමෙයි. මම ඕවා ගැන හිතන්න අවශ්‍යතාවයක් නෑ. මම ජනාධිපති අපේක්ෂකයෙක් කියලා සෝභිත හාමුදුරුවන්ගෙත් අදහසක් තිබ්බා. මාව ගේන්නත් දැඟලුවා. ඒත් මම දැඟලුවේ නෑ. මට ඒවා අවශ්‍ය නෑ. අපිට දේශපාලනය කරන්න ඕන නායකත්වය ගන්න නෙමෙයි රටට හරිදේ කරන්න. මල්ලිගේ ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මමත් කැමතියි පවුලේ කෙනෙක් ජනාධිපති හරි අගමැති හරි වෙනවා නම්. හැබැයි මේ රටේ සමහර දේශපාලන නායකයෝ රණතුංග පවුලේ කෙනෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. ඒක අපේ සමහර සහෝදරයෝ තේරුම් ගත්තේ නෑ. ඒක අභාග්‍යයක්. නමුත් මට තේරිලා තියෙනවා.

අද රටේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබෙනවා

ඔබෙන් අවසාන වශයෙන් අහන්නේ ආණ්ඩුවට කොයි හරි තැනක වැරදීමක් වුණාද?

ආණ්ඩුවට තවම වැරදිලා නෑ. මම කියන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දේශපාලනය පැත්තකින් තියලා තීරණය ගන්න පුළුවන් වුණ නිසා තමයි මෙච්චර ගමනක් ආවේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙගොල්ලෝ එක්කෙනෙකුට බහුතර බලයක් දුන්නේ නෑ. ඒකෙන්ම පේනවා දෙගොල්ලෝ එකතුවෙලා මේ ගමන යන්න යයි කියලා පිළිගත්ත බව. එනිසා ඒ ගමන නොගියොත් ඊළඟ මැතිවරණයේදී තීරණයක් ගනී. මම හිතනවා ආණ්ඩුව මීට වඩා තීරණය ගත යුතුයි. කැරකි කැරකි ඉන්නේ නැතුව. හොඳ පුද්ගලයෝ ආරක්ෂා කරන්න ඕන වැරදි පුද්ගලයන්ට දඬුවම් දෙන්න ඕන. තමන්ට උදව් කරන ඕනම හොරෙක් ආරක්ෂා කරන්න නරකයි. ඒ නිසා මම හරි දේ කරනවා. මහජනතාව කිව්වොත් යන්න කියලා එදාට මම ගෙදර යනවා.

ගයාන් ගාල්ලගේ