එකම කතාව හෝද හෝදා මඩේ දැමීම ඇතැම් මැති ඇමැතින්ට හොඳට පුරුදුය. ඒ වගේම එකම දේ යළි යළිත් ප්‍රකාශ කර එයම සත්‍යය බවට ඒත්තු ගැන්වීමටද මේ අය දක්ෂයෝ වෙති. නමුත් මේ කියන කතා මොනර නැටුමකට දෙවැනි නැත. කතාව ලස්සන වුණත් තිත්ත ඇත්ත අනෙක් පැත්තෙන් ඉතාම කැතට පෙනේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාගේ 5% රඳවා ගැනීමේ බද්ද අහෝසි කිරීමේ කතාව මෙයට කදිම උදාහරණයකි.
ස්ථාවර තැන්පතුවලට ලැබෙන පොලී මුදලින් බැංකු කපා ගන්නා 5% ක රඳවා ගැනීමේ බද්ද අඩුම තරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලින් හෝ කපා නොගන්නැයි සිදුකෙරුණු ඉල්ලීම තවමත් ඉටුවී නැත. මෙසේ රඳවා ගැනීමේ බද්දක් කපා ගැනීම පොලී මුදලින් ජීවත්වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මහත් අසාධාරණයක් බැවින් එය ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඊයේ පෙරේදාද ඔහු පාර්ලිමේන්තුවේදී ඒ කතාවම කිව්වේය. එහෙත් තවමත් සියලුම බැංකු මේ රඳවා ගැනීමේ බද්ද එලෙසින්ම කපා ගනියි. ඒ ගැන ප්‍රශ්න කරන විට රාජ්‍ය අමාත්‍යවරයා කරන්නේ එය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග විස්තර කිරීමය. බැංකුවලින් විමසූ විට ඔවුන් ප්‍රකාශ කරන්නේ රඳවා ගැනීමේ බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් කපා නොගන්නැයි මහ බැංකුවෙන් හෝ මුදල් අමාත්යාංශයෙන්හෝ තමන්ට කිසිම උපදෙසක් ලැබී නැති බවය. රාජ්‍ය ඇමැතිවරයා කුමක් කීවත් බැංකු වැඩ කරන්නේ තමන්ට ලැබෙන නීත්‍යානුකූල උපදෙස් මත පමණක් බව සත්‍ය තත්ත්වයයි.
මේ ආකාරයට සිදුනොවන දෙයක් සිදුවෙන්නාක් සේ පෙන්වා දීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා කුමක් අදහස් කරන්නේද යන්න ප්රහේළිකාවකි. මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෝඩයන් පිරිසක් යැයි ඔහු සිතනවා විය යුතුය. නැතහොත් මේ තරම් දුරකට ජනතාව රුවටීමට හැකියාවක් තිබිය නොහැක.
රටේ පොලී අනුපාත ඉහළ ගිය අවස්ථාවේ රඳවා ගැනීමේ 5% බද්ද ලොකු ගැටලුවක් වී නොතිබිණි. පොලී අනුපාතය සියයට 18, 20 තරමට ඉහළ ගිය අතර ඇතැම් වාණිජ බැංකු එයටත් වඩා වැඩි පොලියක් තැන්පතුවලට ලබාදීමට ක්‍රියා කළේය. ඒ අවස්ථාවේදී පවා රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන්නැයි ඉල්ලීම් කළත් එය ඉටු නොවීය. වර්තමානය වනවිට බැංකු පොලී අනුපාතිකය අඩුවෙමින් පවතින අතර මේ වනවිට ස්ථාවර තැන්පතු සඳහා ගෙවන මාසික පොලියද සියයට 8ක් හෝ ඊටත් වඩා පහළට දමා තිබේ. එවිට ලැබෙන ක්ෂය වී ගොස් ඇති පොලී මුදලින්ද 5% ක් කපා ගැනීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දකින්නේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටීමක් හැටියටය. තමන්ගේ හඬට කන් නොදීම ගැන ඔවුන්ට ඇතිවන්නේ බලවත් වේදනාවකි.
මේ ආකාරයටම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවලට ගෙවන ලද 15% ක පොලිය යළි හඳුන්වා දීමට පියවර නොගැනීමද බලවත් අසාධාරණයකි. සෑම පුද්ගලයකුටම රුපියල් ලක්ෂ 15ක් සඳහා බැගින් මේ විශේෂ පොලියට හිමිකම් තිබූ අතර එය මේ වනවිට අහෝසි වී තිබේ. පොලී අනුපාතිකය ඉහළ ගිය අවස්ථාවේ රටේ සියලු දෙනාගේ තැන්පතුවලට සීමාවකින් තොරවම ඉහළ පොලියක් ලබා දෙනු ලැබූ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලටද ඒ ආකාරයටම ඉහළ පොලියක් ලැබිණි. මේ නිසා ලක්ෂ 15කට 15% ක පොලියක් ගෙවීම තවදුරටත් අවශ්‍ය නොවීය. නමුත් ගැටලුව ආරම්භ වූයේ පොලී අනුපාතිකය දිගින් දිගටම පහළ දැමීම හේතුවෙනි.
රටේ ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් පොලී අනුපාතිකය මේ ආකාරයට පහළ දමන බව රජය ප්‍රකාශ කළ අතර එය රටට වාසියක් වීම ගැන සියලු දෙනාටම සතුටු විය හැකිය. නමුත් එහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවෙන අවාසිය රජය මගින් නොසලකා හැරීමෙන් ඔවුන් වැටී සිටින්නේ බලවත් අසීරුවකටය. තමන් ලබාගත යුතු අත්‍යාවශ්‍යම ඖෂධවලට පමණක් නොව ගෙවිය යුතු විදුලිය, ජලය ඇතුළු සියලු ගාස්තුද වැඩි වී ඇති තත්ත්වයක් තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී තිබෙන මේ අසාධාරණය කෙරෙහි රජය අවධානය යොමු නොකිරීමෙන් ඔවුහු කබලෙන් ළිපට වැටී සිටිති. ඒ අතරට 5% රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් කරන බොරුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගින්දරටම තල්ලු කරන බවද කිව යුතුය.